සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.3.8. තතිය අනාථපිණ්ඩික සුත්තං

11.3.8. අනාථපිණ්ඩික ගෘහපතියාට වදාළ තෙවෙනි දෙසුම

එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපති හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා හට යම් විටෙක භය වෛර ඇතිවෙන කරුණු පහ ද සංසිඳී ඇද්ද, සෝතාපත්ති අංග සතරින් ද යුක්ත වෙයි ද, ඔහු තුළ ප්‍රඥාවෙන් මැනැවින් දකින ලද, මැනැවින් අවබෝධ කරන ලද ආර්ය න්‍යාය ද ඇත්තේ, ඔහු කැමති නම්, තමා ගැන මෙසේ පැවසිය හැකිය. ‘නිරයෙන් මිදුණු කෙනෙක්මි. තිරිසන් අපායෙන් මිදුණු කෙනෙක්මි. ප්‍රේත විෂයෙන් මිදුණු කෙනෙක්මි. අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණු කෙනෙක්මි. අපායට නොවැටෙන සුළු වූයේ, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති සෝවාන් වූ කෙනෙක්මි’ යි.

සංසිඳුණා වූ ඒ භය වෛර ඇතිවන කරුණු පහ මොනවාද?

ගෘහපතිය, ප්‍රාණඝාතය කරන්නෙක්, ප්‍රාණඝාතය හේතුවෙන් මෙලොව දී ද යම් භයක් හා වෛරයක් උපදවා ගනියි ද, පරලොව දී ද යම් භයක් හා වෛරයක් උපදවා ගනියි ද, සිතින් ද දුක් දොම්නස් විඳියි ද, ප්‍රාණඝාතයෙන් වැළකී සිටින්නා හට මේ භය හා වෛර සංසිඳුණේ වෙයි.

ගෘහපතිය, නුදුන් දේ සොරකම් කරනා තැනැත්තා ….(පෙ)…. කාමයන්හි අනාචාරී ව හැසිරෙන්නා ….(පෙ)…. අසත්‍ය දේ පවසන්නා ….(පෙ)…. ගෘහපතිය, මත් වීමට ත්, ප්‍රමාදයට ත් හේතුවෙන සුරාමේරය පානය කරන්නෙක්, මත් වීමට ත්, ප්‍රමාදයට ත් හේතුවෙන සුරාමේරය හේතුවෙන් මෙලොව දී ද යම් භයක් හා වෛරයක් උපදවා ගනියි ද, පරලොව දී ද යම් භයක් හා වෛරයක් උපදවා ගනියි ද, සිතින් ද දුක් දොම්නස් විඳියි ද, මත් වීමට ත්, ප්‍රමාදයට ත් හේතුවෙන සුරාමේරයෙන් වැළකී සිටින්නා හට මේ භය හා වෛර සංසිඳුණේ වෙයි. මෙම භය වෛර ඇතිවන පස් කරුණ සංසිඳුණේ වෙයි.

කවර වූ සෝතාපත්ති අංග සතරකින් සමන්විත වෙයිද?

ගෘහපතිය, මෙහිලා ආර්ය ශ්‍රාවකයා බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි. එනම් ‘මේ මේ කරුණින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක’යි.

ධර්මය පිළිබඳ ව නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි. එනම්

‘භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත වන සේක. සන්දිට්ඨික වන සේක. අකාලික වන සේක. ඒහිපස්සික වන සේක. ඕපනයික වන සේක. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වන සේක’ යි.

ශ්‍රාවක සංඝයා පිළිබඳ ව ද නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි. එනම් ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය උජුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ඤායපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සාමීචිපටිපන්න වන සේක. පුරුෂ යුගල සතරකින් යුතු වන සේක. පුරුෂ පුද්ගල අට දෙනෙකුගෙන් යුතු වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ආහුන්‍යෙය වන සේක. පාහුන්‍යෙය වන සේක. දක්ඛිණ්‍යෙය වන සේක. අංජලිකරණීය වන සේක. ලොවෙහි අනුත්තර පින්කෙත වන සේක’යි.

ආර්යකාන්ත සීලයෙන් ද යුක්ත වෙයි. එනම්, නොබිඳුණු, සිදුරු රහිත වූ, පැල්ලම් නැති, කැලැල් නැති, ණය නැති, නුවණැත්තන් විසින් පසසනු ලබන, මිසදිටු මත ස්පර්ශ නොකළ, සමාධිය පිණිස හිත වූ සීලයකින් යුක්ත වෙයි. මෙම සෝතාපත්ති අංග සතරෙන් සමන්විත වූයේ වෙයි.

ඔහු තුළ ප්‍රඥාවෙන් මැනැවින් දකින ලද, මැනැවින් අවබෝධ කරන ලද කවර නම් ආර්ය න්‍යායක් ඇත්තේ ද? ගෘහපතිය, මෙහිලා ආර්ය ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදය මනාකොට නුවණින් මෙනෙහි කරයි. ‘මෙසේ මෙය ඇති කල්හී මෙය වෙයි. මෙසේ මෙය උපදින විට මෙය උපදියි. මෙය නැති කල්හී මෙය නොවෙයි. මෙය නිරුද්ධ වන කල්හී මෙය නිරුද්ධ වෙයි’ යනුවෙනි. එනම් අවිද්‍යාව හේතුවෙන් සංස්කාර හටගනියි. සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය හටගනියි. විඤ්ඤාණය හේතුවෙන් නාමරූප හටගනියි. නාමරූප හේතුවෙන් ආයතන හය හටගනියි. ආයතන හය හේතුවෙන් ස්පර්ශය හටගනියි. ස්පර්ශය හේතුවෙන් විඳීම් හටගනියි. විඳීම් හේතුවෙන් තෘෂ්ණාව හටගනියි. තෘෂ්ණාව හේතුවෙන් ග්‍රහණය වෙයි. ග්‍රහණය වීම හේතුවෙන් උපතක් පිණිස කර්ම සකස් වෙයි. උපතක් පිණිස කර්ම සකස් වීම හේතුවෙන් උපදියි. ඉපදීම හේතුවෙන් ජරා, මරණ, සෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් ආදිය හටගනියි. මේ අයුරින් මේ මුළු මහත් දුක්ඛස්කන්ධය ම හටගන්නේ වෙයි.

අවිද්‍යාව ම ඉතිරියක් නොතබා නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙයි. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙයි. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙයි. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙයි. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙයි. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම් නිරුද්ධ වෙයි. විඳීම් නිරුද්ධ වීමෙන් තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් ග්‍රහණයට හසුවීම නිරුද්ධ වෙයි. ග්‍රහණයට හසුවීම නිරුද්ධ වීමෙන් උපතක් පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙයි. උපතක් පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙයි. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා, මරණ, සෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් ආදිය නිරුද්ධ වෙයි. මේ අයුරින් මේ මුළු මහත් දුක්ඛස්කන්ධය ම නිරුද්ධ වන්නේ වෙයි. ඔහු තුළ ප්‍රඥාවෙන් මැනැවින් දකින ලද, මැනැවින් අවබෝධ කරන ලද ආර්ය න්‍යාය මෙය යි.

ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා හට යම් විටෙක භය වෛර ඇතිවෙන මේ කරුණු පහ සංසිඳී ඇද්ද, මේ සෝතාපත්ති අංග සතරින් යුක්ත වෙයි ද, ඔහු තුළ ප්‍රඥාවෙන් මැනැවින් දකින ලද, මැනැවින් අවබෝධ කරන ලද මේ ආර්ය න්‍යාය ඇත්තේ ද, ඔහු කැමති නම්, තමා ගැන මෙසේ පැවසිය හැකිය. ‘නිරයෙන් මිදුණු කෙනෙක්මි. තිරිසන් අපායෙන් මිදුණු කෙනෙක්මි. ප්‍රේත විෂයෙන් මිදුණු කෙනෙක්මි. අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණු කෙනෙක්මි. සතර අපායට නොවැටෙන සුළු වූයේ, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති සෝවාන් වූ කෙනෙක්මි’ යි.

සාදු! සාදු!! සාදු!!!

තතිය අනාථපිණ්ඩික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M