එසමයෙහි අනාථපිණ්ඩික ගෘහපති තෙමේ රෝගී වූයේ, කායික දුකට පත් වූයේ, බලවත් ව ගිලන් වූයේ වෙයි. එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ එක්තරා පුරුෂයෙකු ඇමතුවේ ය.
“එම්බා පුරුෂය, එව. ඔබ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත එළඹෙව. එළැඹ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ ශ්‍රී පාදයන් මාගේ වචනයෙන් සිරස තබා වඳුව. ….(පෙ)…. ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අනුකම්පාව උපදවා අනාථපිණ්ඩික ගෘහපතියාගේ නිවස වෙත එළැඹෙන සේක් නම් ඉතා මැනැවි” යි.
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ නිශ්ශබ්ද ව වැඩසිටීමෙන් එම ඇරයුම පිළිගත් සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන අනාථපිණ්ඩික ගෘහපතියාගේ නිවසට පැමිණියහ. පැමිණ පණවන ලද අසුනෙහි වැඩහුන්හ. වැඩහුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතියාට මෙය පැවසුවේ ය.
“කිම? ගෘහපතියෙනි, ඔබට ඉවසිය හැක්කේ ද? කිම? යැපිය හැක්කේ ද? කිම? දුක් වේදනාවෝ අඩු වෙත් ද? වැඩි නොවෙත් ද? අඩු වීමක් ම පෙනෙයි ද? වැඩි වීමක් නොපෙනෙයි ද?”
“ස්වාමීනී, මට ඉවසිය නොහැක්කේ ය. යැපිය නොහැක්කේ ය. මාගේ කායික දුක් වේදනාවෝ බලවත් ය. වැඩිවී යති. අඩු නොවෙති. වැඩිවීමක් ම පෙනෙයි. අඩුවීමක් නොපෙනෙයි.”
“ගෘහපතියෙනි, සතර ධර්මයකින් යුක්ත වූ අශ්‍රැතවත් පෘථග්ජනයාට මහත් තැති ගැනීමක් ඇතිවෙයි. බියෙන් සැලීමකට පත්වෙයි. පරලොව යෑමට හේතුවන මරණ භයට පත්වෙයි. ඒ කවර සතරකින් ද යත්;
ගෘහපතියෙනි, මෙහිලා අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ බුදුරජුන් කෙරෙහි අප්‍රසාදයෙන් යුක්ත වෙයි. බුදුරජුන් කෙරෙහි වූ ඒ අප්‍රසාදය තමා තුළ දකින්නට ලැබෙන ඔහුට මහත් තැති ගැනීමක් ඇතිවෙයි. බියෙන් සැලීමකට පත්වෙයි. පරලොව යෑමට හේතුවන මරණ භයට පත්වෙයි.
තව ද ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ ධර්මය කෙරෙහි අප්‍රසාදයෙන් යුක්ත වෙයි. ධර්මය කෙරෙහි වූ ඒ අප්‍රසාදය තමා තුළ දකින්නට ලැබෙන ඔහුට මහත් තැති ගැනීමක් ඇතිවෙයි. බියෙන් සැලීමකට පත්වෙයි. පරලොව යෑමට හේතුවන මරණ භයට පත්වෙයි.
තව ද ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ ආර්ය සංඝයා කෙරෙහි අප්‍රසාදයෙන් යුක්ත වෙයි. ආර්ය සංඝයා කෙරෙහි වූ ඒ අප්‍රසාදය තමා තුළ දකින්නට ලැබෙන ඔහුට මහත් තැති ගැනීමක් ඇතිවෙයි. බියෙන් සැලීමකට පත්වෙයි. පරලොව යෑමට හේතුවන මරණ භයට පත්වෙයි.
තව ද ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ දුස්සීල බවෙන් යුක්ත වෙයි. ඒ දුස්සීල බව තමා තුළ දකින්නට ලැබෙන ඔහුට මහත් තැති ගැනීමක් ඇතිවෙයි. බියෙන් සැලීමකට පත්වෙයි. පරලොව යෑමට හේතුවන මරණ භයට පත්වෙයි.
ගෘහපතියෙනි, මේ සතර ධර්මයෙන් යුක්ත වූ අශ්‍රැතවත් පෘථග්ජනයාට මහත් තැති ගැනීමක් ඇතිවෙයි. බියෙන් සැලීමකට පත්වෙයි. පරලොව යෑමට හේතුවන මරණ භයට පත්වෙයි.
ගෘහපතියෙනි, සතර ධර්මයකින් යුක්ත වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට කිසි තැති ගැනීමක් ඇති නොවෙයි. බියෙන් සැලීමකට පත් නොවෙයි. පරලොව යෑමට හේතුවන මරණ භයට පත් නොවෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;
ගෘහපතියෙනි, මෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි. ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙවි මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. බුදුරජුන් කෙරෙහි ඇති ඒ නොසෙල්වෙන ප්‍රසාදය තමා තුළ තිබෙනු දකිනා ඔහුට කිසි තැති ගැනීමක් ඇති නොවෙයි. බියෙන් සැලීමකට පත් නොවෙයි. පරලොව යෑමට හේතුවන මරණ භයට පත් නොවෙයි.
තව ද ගෘහපතියෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. නොකැඩුණු ….(පෙ)…. සමාධිය පිණිස පවතින්නා වූ ආර්යකාන්ත සීලයකින් යුක්ත වූයේ වෙයි. තමා තුළ තිබෙන්නා වූ ඒ ආර්යකාන්ත සීලය දකිනා ඔහුට කිසි තැති ගැනීමක් ඇති නොවෙයි. බියෙන් සැලීමකට පත් නොවෙයි. පරලොව යෑමට හේතුවන මරණ භයට පත් නොවෙයි.
ගෘහපතියෙනි, මේ සතර ධර්මයෙන් යුක්ත වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට කිසි තැති ගැනීමක් ඇති නොවෙයි. බියෙන් සැලීමකට පත් නොවෙයි. පරලොව යෑමට හේතුවන මරණ භයට පත් නොවෙයි.”
“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, මම භය නොවෙමි. මම කුමකට භය වන්නෙම් ද? ස්වාමීනී, මම් වනාහී බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්ත ව සිටිමි. එනම් ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙවි මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් ගිහියන් හට රැකගැනීම පිණිස පණවන ලද්දා වූ යම් මේ සිල්පදයෝ වෙත් ද, ඒ සිල්පද වලින් කැඩී ගිය කිසිවක් මම ත් මා තුළ නොදකිමි.”
“ගෘහපතිය, ඔබට ලාභයකි! ගෘහපතිය ඔබට මනා වූ ලාභයකි! ගෘහපතිය, ඔබ විසින් සෝවාන් ඵලය පවසන ලද්දේ ය.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය අනාථපිණ්ඩික සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M