සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.3.6. අනාථපිණ්ඩික සුත්තං

11.3.6. අනාථපිණ්ඩික ගෘහපතියාට වදාළ දෙසුම

එසමයෙහි අනාථපිණ්ඩික ගෘහපති තෙමේ රෝගී වූයේ, කායික දුකට පත් වූයේ, බලවත් ව ගිලන් වූයේ වෙයි. එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ එක්තරා පුරුෂයෙකු ඇමතුවේ ය.

“එම්බා පුරුෂය, එව. ඔබ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වෙත එළඹෙව. එළැඹ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ ශ්‍රී පාදයන් මාගේ වචනයෙන් සිරස තබා වඳුව. ‘ස්වාමීනී, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ රෝගී වූයේ, කායික දුකට පත් වූයේ, බලවත් ව ගිලන් වූයේ වෙයි. ඔහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ ශ්‍රී පාදයන් සිරස තබා වඳියි. මෙසේ ත් කියව. ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අනුකම්පාව උපදවා අනාථපිණ්ඩික ගෘහපතියාගේ නිවස වෙත එළැඹෙන සේක් නම් ඉතා මැනැවි’ යි.”

“එසේ ය, හිමියනි” යි ඒ පුරුෂයා අනාථපිණ්ඩික ගෘහපතියාට පිළිවදන් දී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ පුරුෂයා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ රෝගී වූයේ, කායික දුකට පත් වූයේ, බලවත් ව ගිලන් වූයේ ය. ඔහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ ශ්‍රී පාදයන් සිරස තබා වඳියි. මෙසේ ත් කියයි. ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අනුකම්පාව උපදවා අනාථපිණ්ඩික ගෘහපතියාගේ නිවස වෙත එළැඹෙන සේක් නම් ඉතා මැනැවි” යි.

ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ නිශ්ශබ්ද ව වැඩසිටීමෙන් එම ඇරයුම පිළිගත් සේක. එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පසු ශ්‍රමණයා වශයෙන් ගෙන, අනාථපිණ්ඩික ගෘහපතියාගේ නිවසට පැමිණියහ. පැමිණ පණවන ලද අසුනෙහි වැඩහුන්හ. වැඩහුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතියාට මෙය පැවසුවේ ය.

“කිම? ගෘහපතියෙනි, ඔබට ඉවසිය හැක්කේ ද? කිම? යැපිය හැක්කේ ද? කිම? දුක් වේදනාවෝ අඩු වෙත් ද? වැඩි නොවෙත් ද? අඩු වීමක් ම පෙනෙයි ද? වැඩි වීමක් නොපෙනෙයි ද?”

“ස්වාමීනී, මට ඉවසිය නොහැක්කේ ය. යැපිය නොහැක්කේ ය. මාගේ කායික දුක් වේදනාවෝ බලවත් ය. වැඩිවී යති. අඩු නොවෙති. වැඩිවීමක් ම පෙනෙයි. අඩුවීමක් නොපෙනෙයි.”

“ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා බුදුරජුන් කෙරෙහි යම්බඳු වූ අපැහැදීමකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, බුදුරජුන් කෙරෙහි එබඳු වූ අප්‍රසාදයක් ඔබ තුළ නැත්තේ ය. ගෘහපතියෙනි, ඔබ තුළ බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ම ඇත්තේ ය. එනම්; ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. තමා තුළ ඒ බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය තිබෙනු දකින්නා වූ ඔබගේ වේදනාවෝ සැණෙකින් සංසිඳී යන්නාහු ය.

ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා ධර්මය කෙරෙහි යම්බඳු වූ අපැහැදීමකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, ධර්මය කෙරෙහි එබඳු වූ අප්‍රසාදයක් ඔබ තුළ නැත්තේය.

ගෘහපතියෙනි, ඔබ තුළ ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ම ඇත්තේ ය. එනම්; ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද බැවින් ධර්මය ස්වාක්ඛාත වෙයි. සන්දිට්ඨික වෙයි. අකාලික වෙයි. ඒහිපස්සික වෙයි. ඕපනයික වෙයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වෙයි’ යනුවෙනි. තමා තුළ ඒ ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය තිබෙනු දකින්නා වූ ඔබගේ වේදනාවෝ සැණෙකින් සංසිඳී යන්නාහු ය.

ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා ආර්ය සංඝයා කෙරෙහි යම්බඳු වූ අපැහැදීමකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, ආර්ය සංඝයා කෙරෙහි එබඳු වූ අප්‍රසාදයක් ඔබ තුළ නැත්තේ ය.

ගෘහපතියෙනි, ඔබ තුළ සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ම ඇත්තේ ය. එනම්; ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ උජුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඤායපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සාමීචිපටිපන්න වෙයි. යම් මේ පුරුෂ යුගල සතරක් ද, පුරුෂ පුද්ගල අටක් ද වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වෙයි’ යනුවෙනි. තමා තුළ ඒ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය තිබෙනු දකින්නා වූ ඔබගේ වේදනාවෝ සැණෙකින් සංසිඳී යන්නාහු ය.

ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා යම්බඳු වූ දුස්සීල බවකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, එබඳු වූ දුස්සීල බවක් ඔබ තුළ නැත්තේ ය.

ගෘහපතියෙනි, ඔබ තුළ නොකැඩුණු සිල්පද ඇති, සිදුරු නොවුණු, පැල්ලම් නොගැසුණු, කබර නොගැසුණු, තෘෂ්ණා දෘෂ්ටියකට දාස නොවූ, නුවණැත්තන් පසසන ලද, දෘෂ්ටියකට බැඳීමෙන් යුක්ත නොවූ, සමාධිය පිණිස පවතින, ආර්යකාන්ත සීලයක් ඇත්තේ ය. තමා තුළ ඒ ආර්යකාන්ත සීලය තිබෙනු දකින්නා වූ ඔබගේ වේදනාවෝ සැණෙකින් සංසිඳී යන්නාහු ය.

ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා යම්බඳු වූ වැරදි දෘෂ්ටියකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, එබඳු වූ වැරදි දෘෂ්ටියක් ඔබ තුළ නැත්තේ ය. ගෘහපතියෙනි, ඔබ තුළ නිවැරදි දෘෂ්ටියක් ම ඇත්තේ ය. ඒ නිවැරදි දෘෂ්ටිය වනාහී තමා තුළ තිබෙනු දකින්නා වූ ඔබගේ වේදනාවෝ සැණෙකින් සංසිඳී යන්නාහු ය.

ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා යම්බඳු වූ වැරදි සංකල්පයකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, එබඳු වූ වැරදි සංකල්පයක් ඔබ තුළ නැත්තේ ය. ගෘහපතියෙනි, ඔබ තුළ නිවැරදි සංකල්පයක් ම ඇත්තේ ය. ඒ නිවැරදි සංකල්පය වනාහී තමා තුළ තිබෙනු දකින්නා වූ ඔබගේ වේදනාවෝ සැණෙකින් සංසිඳී යන්නාහු ය.

ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා යම්බඳු වූ වැරදි වචන භාවිතයකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, එබඳු වූ වැරදි වචන භාවිතයක් ඔබ තුළ නැත්තේ ය. ගෘහපතියෙනි, ඔබ තුළ නිවැරදි වචන භාවිතයක් ම ඇත්තේ ය. ඒ නිවැරදි වචන භාවිතය වනාහී තමා තුළ තිබෙනු දකින්නා වූ ඔබගේ වේදනාවෝ සැණෙකින් සංසිඳී යන්නාහුය.

ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා යම්බඳු වූ වැරදි කායික ක්‍රියාවකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, එබඳු වූ වැරදි කායික ක්‍රියාවක් ඔබ තුළ නැත්තේ ය. ගෘහපතියෙනි, ඔබ තුළ නිවැරදි කායික ක්‍රියාවක් ම ඇත්තේ ය. ඒ නිවැරදි කායික ක්‍රියාව වනාහී තමා තුළ තිබෙනු දකින්නා වූ ඔබගේ වේදනාවෝ සැණෙකින් සංසිඳී යන්නාහුය.

ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා යම්බඳු වූ වැරදි දිවි පැවැත්මකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, එබඳු වූ වැරදි දිවි පැවැත්මක් ඔබ තුළ නැත්තේ ය. ගෘහපතියෙනි, ඔබ තුළ නිවැරදි දිවි පැවැත්මක් ම ඇත්තේ ය. ඒ නිවැරදි දිවි පැවැත්ම වනාහී තමා තුළ තිබෙනු දකින්නා වූ ඔබගේ වේදනාවෝ සැණෙකින් සංසිඳී යන්නාහුය.

ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා යම්බඳු වූ වැරදි වීරියකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, එබඳු වූ වැරදි වීර්යයක් ඔබ තුළ නැත්තේ ය. ගෘහපතියෙනි, ඔබ තුළ නිවැරදි වීර්යයක් ම ඇත්තේ ය. ඒ නිවැරදි වීර්යය වනාහී තමා තුළ තිබෙනු දකින්නා වූ ඔබගේ වේදනාවෝ සැණෙකින් සංසිඳී යන්නාහු ය.

ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා යම්බඳු වූ වැරදි සිහියකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, එබඳු වූ වැරදි සිහියක් ඔබ තුළ නැත්තේ ය. ගෘහපතියෙනි, ඔබ තුළ නිවැරදි සිහියක් ම ඇත්තේ ය. ඒ නිවැරදි සිහිය වනාහී තමා තුළ තිබෙනු දකින්නා වූ ඔබගේ වේදනාවෝ සැණෙකින් සංසිඳී යන්නාහු ය.

ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා යම්බඳු වූ වැරදි සමාධියකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, එබඳු වූ වැරදි සමාධියක් ඔබ තුළ නැත්තේ ය. ගෘහපතියෙනි, ඔබ තුළ නිවැරදි සමාධියක් ම ඇත්තේ ය. ඒ නිවැරදි සමාධිය වනාහී තමා තුළ තිබෙනු දකින්නා වූ ඔබගේ වේදනාවෝ සැණෙකින් සංසිඳී යන්නාහු ය.

ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා යම්බඳු වූ වැරදි ඥානයකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, එබඳු වූ වැරදි ඥානයක් ඔබ තුළ නැත්තේ ය. ගෘහපතියෙනි, ඔබ තුළ නිවැරදි ඥානයක් ම ඇත්තේ ය. ඒ නිවැරදි ඥානය වනාහී තමා තුළ තිබෙනු දකින්නා වූ ඔබගේ වේදනාවෝ සැණෙකින් සංසිඳී යන්නාහු ය.

ගෘහපතියෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා යම්බඳු වූ වැරදි විමුක්තියකින් යුක්ත ව සිට, කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත වූ නිරයෙහි උපදියි නම්, එබඳු වූ වැරදි විමුක්තියක් ඔබ තුළ නැත්තේ ය. ගෘහපතියෙනි, ඔබ තුළ නිවැරදි විමුක්තියක් ම ඇත්තේ ය. ඒ නිවැරදි විමුක්තිය වනාහී තමා තුළ තිබෙනු දකින්නා වූ ඔබගේ වේදනාවෝ සැණෙකින් සංසිඳී යන්නාහු ය.”

එකල්හී සැණෙකින් අනාථපිණ්ඩික ගෘහපතියාගේ වේදනාවෝ සංසිඳී ගියාහු ය. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙමේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ත්, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ත් සිය බත් තලියෙන් ම වැළඳවූයේ ය.

ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙමේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ දන් වළඳා පාත්‍රයෙන් බැහැරට ගත් අත් ඇති බව දැන, එක්තරා පහත් ආසනයක් ගෙන එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපතියාට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මේ ගාථාවන්ගෙන් අනුමෝදනා කළ සේක.

යස්ස සද්ධා තථාගතේ – අචලා සුප්පතිට්ඨිතා
සීලං ච යස්ස කල්‍යාණං – අරියකන්තං පසංසිතං

යමෙකු තුළ තථාගතයන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවක් මැනැවින් පිහිටා ඇද්ද, සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට බඳුන් වන, කල්‍යාණ වූ ආර්යකාන්ත සීලයක් යමෙකුට ඇද්ද,

සංඝේ පසාදෝ යස්සත්ථි – උජුභූතං ච දස්සනං
අදළිද්දෝ’ති තං ආහු – අමෝඝං තස්ස ජීවිතං

යමෙකු තුළ ආර්ය සංඝයා කෙරෙහි ප්‍රසාදයක් ඇද්ද, ඍජු වූ දහම් දැක්මක් ඇද්ද, ඔහු නොදිළින්දෙකි යි කියති. ඔහුගේ ජීවිතය හිස් නැත.

තස්මා සද්ධං ච සීලං ච – පසාදං ධම්මදස්සනං
අනුයුඤ්ජේථ මේධාවි – සරං බුද්ධානසාසනං

එහෙයින් සොඳුරු ප්‍රඥා ඇති කෙනා බුදුරජුන්ගේ අනුශාසනාව සිහි කරමින් ශ්‍රද්ධාව ත්, සීලය ත්, සංඝයා කෙරෙහි පැහැදීම ත්, දහම් දැකීම ත් යන කරුණුවල නිතර යෙදෙන්නේ ය.”

ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතියාට මේ ගාථාවලින් අනුමෝදනා කොට හුනස්නෙන් නැගිට වැඩියහ.

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙය අසා වදාළ සේක.

“ආනන්දයෙනි, ඔබ මේ මහ දවල් කොහි සිට එන්නෙහි ද?”

“ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ විසින් අනාථපිණ්ඩික ගෘහපතියා මේ මේ අවවාදයෙන් අවවාද කරන ලද්දේ ය.”

“ආනන්දයෙනි, සාරිපුත්තයෝ නුවණැතියහ. ආනන්දයෙනි, සාරිපුත්තයෝ මහා ප්‍රඥාවන්තයහ. යම් තැනෙක්හි නම් සතරක් වූ සෝතාපත්ති අංගයෝ දස අයුරකින් බෙදන ලද්දාහු ය.”

සාදු! සාදු!! සාදු!!!

අනාථපිණ්ඩික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M