එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තු නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සරකානි ශාක්‍ය තෙමේ කලුරිය කළේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ඔහු සිව් අපායෙන් මිදුණු, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝතාපන්න වූවෙකි යි වදාරණ ලද්දේ වෙයි. ඒ පිළිබඳ ව බොහෝ ශාක්‍යවරු එක්රැස් වී නොසතුටු බස් කියති. දොස් නගති. අමනාප වචන කියති.
“භවත්නි, ඒකාන්තයෙන් අසිරියක් නොවැ! භවත්නි, ඒකාන්තයෙන් අද්භූත නොවැ! මෙහි දැන් සෝතාපන්න නොවන්නේ කවරෙක් ද? සරකානි ශාක්‍ය තෙමේ යම් තැනෙක්හි කලුරිය කළේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් ඔහු සිව් අපායෙන් මිදුණු, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝතාපන්න වූවෙකි යි වදාරණ ලද්දේ ය. සරකානි ශාක්‍ය තෙමේ ශික්ෂාවෙහි පිරිපුන් නොකරන්නෙකුව සිටියේ ය.”
ඉක්බිති මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මෙහි සරකානි ශාක්‍ය තෙමේ කලුරිය කළේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඔහු සිව් අපායෙන් මිදුණු, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝතාපන්න වූවෙකි යි වදාරණ ලද්දේ ය. ස්වාමීනී, ඒ පිළිබඳ ව බොහෝ ශාක්‍යවරු එක්රැස් වී නොසතුටු බස් කියති. දොස් නගති. අමනාප වචන කියති.
‘භවත්නි, ඒකාන්තයෙන් අසිරියක් නොවැ! භවත්නි, ඒකාන්තයෙන් අද්භූත නොවැ! මෙහි දැන් සෝතාපන්න නොවන්නේ කවරෙක් ද? සරකානි ශාක්‍ය තෙමේ යම් තැනෙක්හි කලුරිය කළේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් ඔහු සිව් අපායෙන් මිදුණු, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝතාපන්න වූවෙකි යි වදාරණ ලද්දේ ය. සරකානි ශාක්‍ය තෙමේ ශික්ෂාවෙහි නොපුරන්නෙකුව සිටියේ ය’ යි.”
“මහානාමයෙනි, යම් ඒ උපාසකයෙක් බොහෝ කලක් මුළුල්ලේ බුදු රජුන් සරණ ගියේ නම්, ධර්මය සරණ ගියේ නම්, සංඝයා සරණ ගියේ නම්, ඔහු කෙසේ නම් අපායට යන්නේ ද? මහානාමයෙනි, මනාකොට පවසන්නෙක් ‘බොහෝ කලක් මුළුල්ලෙහි බුදුරජුන් සරණ ගිය, ධර්මය සරණ ගිය, සංඝයා සරණ ගිය උපාසකයෙකි’ කියා යමෙකු ගැන කියයි නම්, මනාකොට පවසන්නෙක් සරකානි ශාක්‍යයා අරභයා කියන්නේ ය. මහානාමයෙනි, සරකානි ශාක්‍ය තෙමේ බොහෝ කලක් තිස්සේ බුදුරජුන් සරණ ගිය, ධර්මය සරණ ගිය, සංඝයා සරණ ගිය උපාසකයෙකි. ඔහු කෙසේ නම් අපායට යන්නේ ද?
මහානාමයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් බුදුරජුන් කෙරෙහි ඒකාන්තයට ගිය බලවත් පැහැදීමකින් යුක්ත වූයේ වෙයි. එනම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. ලෝකයෙහි අනුත්තර පින්කෙත වෙයි’ යි. සතුට බහුල ප්‍රඥාවෙන් යුක්ත වෙයි. වේගවත් ප්‍රඥාවෙන් යුක්ත වෙයි. විමුක්තියෙන් ද යුක්ත වෙයි. ඔහු ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම සිය විශිෂ්ට ඥානයෙන් දැන, සාක්ෂාත් කොට පැමිණ වාසය කරයි. මහානාමයෙනි, මේ පුද්ගලයා ත් මුළුමනින් ම නිරයෙන් මිදුණේ ය. මුළුමනින් ම තිරිසන් යෝනියෙන් මිදුණේ ය. මුළුමනින් ම ප්‍රේත විෂයෙන් මිදුණේ ය. මුළුමනින් ම අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාමයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් බුදුරජුන් කෙරෙහි ඒකාන්තයට ගිය බලවත් පැහැදීමකින් යුක්ත වූයේ වෙයි. එනම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. ලෝකයෙහි අනුත්තර පින්කෙත වෙයි’ යි. සතුට බහුල ප්‍රඥාවෙන් යුක්ත වෙයි. වේගවත් ප්‍රඥාවෙන් යුක්ත වෙයි. විමුක්තියෙන් යුක්ත ද නොවෙයි. ඔහු ඕරම්භාගිය සංයෝජන පස ගෙවා දැමීමෙන් අන්තරා පරිනිබ්බායී වෙයි. උපහච්ච පරිනිබ්බායී වෙයි. සසංඛාර පරිනිබ්බායී වෙයි. අසංඛාර පරිනිබ්බායී වෙයි. උද්ධංසෝත අකනිට්ඨගාමී වෙයි. මහානාමයෙනි, මේ පුද්ගලයා ත් මුළුමනින් ම නිරයෙන් මිදුණේ ය. මුළුමනින් ම තිරිසන් යෝනියෙන් මිදුණේ ය. මුළුමනින් ම ප්‍රේත විෂයෙන් මිදුණේ ය. මුළුමනින් ම අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාමයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් බුදුරජුන් කෙරෙහි ඒකාන්තයට ගිය බලවත් පැහැදීමකින් යුක්ත වූයේ වෙයි. එනම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. ලෝකයෙහි අනුත්තර පින්කෙත වෙයි’ යි. සතුට බහුල ප්‍රඥාවෙන් යුක්ත නොවෙයි. වේගවත් ප්‍රඥාවෙන් යුක්ත නොවෙයි. විමුක්තියෙන් යුක්ත ද නොවෙයි. ඔහු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් රාග, ද්වේෂ, මෝහයන්ගේ තුනී වීමෙන් සකදාගාමී වෙයි. එක් වරක් පමණක් මෙලොවට අවුත් දුක් අවසන් කරයි.
මහානාමයෙනි, මේ පුද්ගලයා ත් මුළුමනින් ම නිරයෙන් මිදුණේ ය. මුළුමනින් ම තිරිසන් යෝනියෙන් මිදුණේ ය. මුළුමනින් ම ප්‍රේත විෂයෙන් මිදුණේ ය. මුළුමනින් ම අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාමයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් බුදුරජුන් කෙරෙහි ඒකාන්තයට ගිය බලවත් පැහැදීමකින් යුක්ත වූයේ වෙයි. එනම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. ලෝකයෙහි අනුත්තර පින්කෙත වෙයි’ යි. සතුට බහුල ප්‍රඥාවෙන් යුක්ත නොවෙයි. වේගවත් ප්‍රඥාවෙන් යුක්ත නොවෙයි. විමුක්තියෙන් යුක්ත ද නොවෙයි. ඔහු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන්, සිව් අපායට නොවැටෙන සුළු වූයේ, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝවාන් වූයේ වෙයි. මහානාමයෙනි, මේ පුද්ගලයා ත් මුළුමනින් ම නිරයෙන් මිදුණේ ය. මුළුමනින් ම තිරිසන් යෝනියෙන් මිදුණේ ය. මුළුමනින් ම ප්‍රේත විෂයෙන් මිදුණේ ය. මුළුමනින් ම අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාමයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් බුදුරජුන් කෙරෙහි ඒකාන්තයට ගිය බලවත් පැහැදීමකින් යුක්ත නොවූයේ වෙයි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ඒකාන්තයට ගිය බලවත් පැහැදීමකින් යුක්ත නොවූයේ වෙයි. සතුට බහුල ප්‍රඥාවෙන් යුක්ත නොවෙයි. වේගවත් ප්‍රඥාවෙන් යුක්ත නොවෙයි. විමුක්තියෙන් යුක්ත ද නොවෙයි. එනමුදු ඔහු තුළ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය යන මේ ධර්මයෝ ඇත්තාහ. තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මයෝ ඔහු විසින් ප්‍රඥාවෙන් සිය නැණ පමණින් අවබෝධ කරන ලද්දාහු වෙති. මහානාමයෙනි, මේ පුද්ගලයා ත් නිරයට නොයන්නෙකි. තිරිසන් යෝනියට නොයන්නෙකි. ප්‍රේත විෂයට නොයන්නෙකි. අපාය දුර්ගති විනිපාතයට නොයන්නෙකි.
මහානාමයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් බුදුරජුන් කෙරෙහි ඒකාන්තයට ගිය බලවත් පැහැදීමකින් යුක්ත නොවූයේ වෙයි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ඒකාන්තයට ගිය බලවත් පැහැදීමකින් යුක්ත නොවූයේ වෙයි. සතුට බහුල ප්‍රඥාවෙන් යුක්ත නොවෙයි. වේගවත් ප්‍රඥාවෙන් යුක්ත නොවෙයි. විමුක්තියෙන් යුක්ත ද නොවෙයි. එනමුදු ඔහු තුළ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය යන මේ ධර්මයෝ ඇත්තාහ. තථාගතයන් වහන්සේ කෙරෙහි මොහු තුළ ශ්‍රද්ධා මාත්‍රයක් වෙයි. ප්‍රේම මාත්‍රයක් වෙයි. මහානාමයෙනි, මේ පුද්ගලයා ත් නිරයට නොයන්නෙකි. තිරිසන් යෝනියට නොයන්නෙකි. ප්‍රේත විෂයට නොයන්නෙකි. අපාය දුර්ගති විනිපාතයට නොයන්නෙකි.
මහානාමයෙනි, එය මෙබඳු දෙයකි. ඉවත් නොකළ උල් කණු ඇති, නපුරු බිමක නිසරු කෙතක් ඇත්තේ ය. කැඩී ගිය, කුණු වී ගිය, අව් සුළඟින් නැසුණු, සාර රහිත, සුවසේ නොවැඩුණු බීජ ත් ඇත්තේ ය. වැස්ස ද මනාකොට වැහිදහර නොපවත්වන්නේ ය. මෙසේ ඇති කල්හී ඒ බීජයෝ වැඩී, පඳුරු දමා, විපුල බවට පත්වන්නාහු ද?”
“ස්වාමීනී, මෙය නැත්තේ ය.”
“එසෙයින් ම මහානාමයෙනි, මෙහිලා වැරදි ලෙස කියන ලද, වැරදි ලෙස පවසන ලද, කෙලෙස් නැසීම පිණිස නොපවතින, කෙලෙස් සංසිඳීම පිණිස නොපවතින, සම්මා සම්බුදු නොවන්නෙකු විසින් පවසන ලද ධර්මයක් ඇත්තේ ද, මෙය මම නපුරු කෙත යැයි කියමි. එම ධර්මය තුළ ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්, ඒ කියන අයුරින් පිළිපන්, ඒ ධර්මයට අනුව හැසිරෙන්නා වූ ශ්‍රාවකයෙක් ඇද්ද, මෙය මම නපුරු බීජය යැයි කියමි.
මහානාමයෙනි, එය මෙබඳු දෙයකි. මැනැවින් ඉවත් කළ උල් කණු ඇති, යහපත් බිමක සරු කෙතක් ඇත්තේ ය. නොකැඩී ගිය, කුණු නොවී ගිය, අව් සුළඟින් නොනැසුණු, සාර සහිත, සුවසේ වැඩුණු බීජ ත් ඇත්තේ ය. වැස්ස ද මනාකොට වැහිදහර පවත්වන්නේ ය. මෙසේ ඇති කල්හී ඒ බීජයෝ වැඩී, පඳුරු දමා, විපුල බවට පත්වන්නාහු ද?”
“ස්වාමීනී, එසේ ය.”
“එසෙයින් ම මහානාමයෙනි, මෙහිලා මනා ලෙස කියන ලද, මනා ලෙස පවසන ලද, කෙලෙස් නැසීම පිණිස පවතින, කෙලෙස් සංසිඳීම පිණිස පවතින, සම්මා සම්බුදුවරයෙකු විසින් පවසන ලද ධර්මයක් ඇත්තේ ද, මෙය මම සාරවත් කෙත යැයි කියමි. එම ධර්මය තුළ ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්, ඒ කියන අයුරින් පිළිපන්, ඒ ධර්මයට අනුව හැසිරෙන්නා වූ ශ්‍රාවකයෙක් ඇද්ද, මෙය මම සාරවත් බීජය යැයි කියමි.
සරකානි ශාක්‍යයා පිළිබඳ ව කුමක් කියන්න ද? මහානාමයෙනි, සාරකානි ශාක්‍ය තෙමේ මරණ කාලයෙහි ශික්ෂාවෙහි පුරන්නෙකුව සිටියේ ය.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය සරකානි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M