එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තු නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සරකානි ශාක්‍ය තෙමේ කලුරිය කළේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ඔහු සිව් අපායෙන් මිදුණු, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝතාපන්න වූවෙකි යි වදාරණ ලද්දේ වෙයි. ඒ පිළිබඳ ව බොහෝ ශාක්‍යවරු එක්රැස් වී නොසතුටු බස් කියති. දොස් නගති. අමනාප වචන කියති.
“භවත්නි, ඒකාන්තයෙන් අසිරියක් නොවැ! භවත්නි, ඒකාන්තයෙන් අද්භූත නොවැ! මෙහි දැන් සෝතාපන්න නොවන්නේ කවරෙක් ද? සරකානි ශාක්‍ය තෙමේ යම් තැනෙක්හි කලුරිය කළේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් ඔහු සිව් අපායෙන් මිදුණු, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝතාපන්න වූවෙකි යි වදාරණ ලද්දේ ය. සරකානි ශාක්‍ය තෙමේ ශික්ෂාවෙහි දුබල බවට පැමිණ සිටියේ ය. මත්පැන් බිව්වේ ය.”
ඉක්බිති මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මෙහි සරකානි ශාක්‍ය තෙමේ කලුරිය කළේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඔහු සිව් අපායෙන් මිදුණු, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝතාපන්න වූවෙකි යි වදාරණ ලද්දේ ය. ස්වාමීනී, ඒ පිළිබඳ ව බොහෝ ශාක්‍යවරු එක්රැස් වී නොසතුටු බස් කියති. දොස් නගති. අමනාප වචන කියති.
‘භවත්නි, ඒකාන්තයෙන් අසිරියක් නොවැ! භවත්නි, ඒකාන්තයෙන් අද්භූත නොවැ! මෙහි දැන් සෝතාපන්න නොවන්නේ කවරෙක් ද? සරකානි ශාක්‍ය තෙමේ යම් තැනෙක්හි කලුරිය කළේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් ඔහු සිව් අපායෙන් මිදුණු, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝතාපන්න වූවෙකි යි වදාරණ ලද්දේ ය. සරකානි ශාක්‍ය තෙමේ ශික්ෂාවෙහි දුබල බවට පැමිණ සිටියේ ය. මත්පැන් බිව්වේ ය’ යි.”
“මහානාමයෙනි, යම් ඒ උපාසකයෙක් බොහෝ කලක් මුළුල්ලේ බුදු රජුන් සරණ ගියේ නම්, ධර්මය සරණ ගියේ නම්, සංඝයා සරණ ගියේ නම්, ඔහු කෙසේ නම් අපායට යන්නේ ද? මහානාමයෙනි, මනාකොට පවසන්නෙක් ‘බොහෝ කලක් මුළුල්ලෙහි බුදුරජුන් සරණ ගිය, ධර්මය සරණ ගිය, සංඝයා සරණ ගිය උපාසකයෙකි’ කියා යමෙකු ගැන කියයි නම්, මනාකොට පවසන්නෙක් සරකානි ශාක්‍යයා අරභයා කියන්නේ ය. මහානාමයෙනි, සරකානි ශාක්‍ය තෙමේ බොහෝ කලක් තිස්සේ බුදුරජුන් සරණ ගිය, ධර්මය සරණ ගිය, සංඝයා සරණ ගිය උපාසකයෙකි. ඔහු කෙසේ නම් අපායට යන්නේ ද?
මහානාමයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. ලෝකයෙහි අනුත්තර පින්කෙත වෙයි’ යි. සතුට බහුල ප්‍රඥාවෙන් යුක්ත වෙයි. වේගවත් ප්‍රඥාවෙන් යුක්ත වෙයි. විමුක්තියෙන් ද යුක්ත වෙයි. ඔහු ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම සිය විශිෂ්ට ඥානයෙන් දැන, සාක්ෂාත් කොට පැමිණ වාසය කරයි. මහානාමයෙනි, මේ පුද්ගලයා ත් මුළුමනින් ම නිරයෙන් මිදුණේ ය. මුළුමනින් ම තිරිසන් යෝනියෙන් මිදුණේ ය. මුළුමනින් ම ප්‍රේත විෂයෙන් මිදුණේ ය. මුළුමනින් ම අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාමයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. ලෝකයෙහි අනුත්තර පින්කෙත වෙයි’ යි. සතුට බහුල ප්‍රඥාවෙන් යුක්ත වෙයි. වේගවත් ප්‍රඥාවෙන් යුක්ත වෙයි. විමුක්තියෙන් යුක්ත ද නොවෙයි. ඔහු ඕරම්භාගිය සංයෝජන පස ගෙවා දැමීමෙන් සුද්ධාවාස බඹලොව ඕපපාතික ව ඉපිද මෙලොවට හැරී නොඑන සුළු ව, එහි ම පිරිනිවන්පාන සුළු වූයේ වෙයි. මහානාමයෙනි, මේ පුද්ගලයා ත් මුළුමනින් ම නිරයෙන් මිදුණේ ය. මුළුමනින් ම තිරිසන් යෝනියෙන් මිදුණේ ය. මුළුමනින් ම ප්‍රේත විෂයෙන් මිදුණේ ය. මුළුමනින් ම අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාමයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. ලෝකයෙහි අනුත්තර පින්කෙත වෙයි’ යි. සතුට බහුල ප්‍රඥාවෙන් යුක්ත නොවෙයි. වේගවත් ප්‍රඥාවෙන් යුක්ත නොවෙයි. විමුක්තියෙන් යුක්ත ද නොවෙයි. ඔහු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් රාග, ද්වේෂ, මෝහයන්ගේ තුනී වීමෙන් සකදාගාමී වෙයි. එක් වරක් පමණක් මෙලොවට අවුත් දුක් අවසන් කරයි. මහානාමයෙනි, මේ පුද්ගලයා ත් මුළුමනින් ම නිරයෙන් මිදුණේ ය. මුළුමනින් ම තිරිසන් යෝනියෙන් මිදුණේ ය. මුළුමනින් ම ප්‍රේත විෂයෙන් මිදුණේ ය. මුළුමනින් ම අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාමයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. ලෝකයෙහි අනුත්තර පින්කෙත වෙයි’ යි. සතුට බහුල ප්‍රඥාවෙන් යුක්ත නොවෙයි. වේගවත් ප්‍රඥාවෙන් යුක්ත නොවෙයි. විමුක්තියෙන් යුක්ත ද නොවෙයි. ඔහු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන්, සිව් අපායට නොවැටෙන සුළු වූයේ, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝවාන් වූයේ වෙයි. මහානාමයෙනි, මේ පුද්ගලයා ත් මුළුමනින් ම නිරයෙන් මිදුණේ ය. මුළුමනින් ම තිරිසන් යෝනියෙන් මිදුණේ ය. මුළුමනින් ම ප්‍රේත විෂයෙන් මිදුණේ ය. මුළුමනින් ම අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාමයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත නොවූයේ වෙයි. ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත නොවූයේ වෙයි. සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත නොවූයේ වෙයි. සතුට බහුල ප්‍රඥාවෙන් යුක්ත නොවෙයි. වේගවත් ප්‍රඥාවෙන් යුක්ත නොවෙයි. විමුක්තියෙන් යුක්ත ද නොවෙයි. එනමුදු ඔහු තුළ ශ්‍රද්ධා ඉන්ද්රිය, විරිය ඉන්ද්රිය, සති ඉන්ද්රිය, සමාධි ඉන්ද්රිය, ප්‍රඥා ඉන්ද්රිය යන මේ ධර්මයෝ ඇත්තාහ. තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මයෝ ඔහු විසින් ප්‍රඥාවෙන් සිය නැණ පමණින් අවබෝධ කරන ලද්දාහු වෙති. මහානාමයෙනි, මේ පුද්ගලයා ත් නිරයට නොයන්නෙකි. තිරිසන් යෝනියට නොයන්නෙකි. ප්‍රේත විෂයට නොයන්නෙකි. අපාය දුර්ගති විනිපාතයට නොයන්නෙකි.
මහානාමයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත නොවූයේ වෙයි. ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත නොවූයේ වෙයි. සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත නොවූයේ වෙයි. සතුට බහුල ප්‍රඥාවෙන් යුක්ත නොවෙයි. වේගවත් ප්‍රඥාවෙන් යුක්ත නොවෙයි. විමුක්තියෙන් යුක්ත ද නොවෙයි. එනමුදු ඔහු තුළ ශ්‍රද්ධා ඉන්ද්රිය, විරිය ඉන්ද්රිය, සති ඉන්ද්රිය, සමාධි ඉන්ද්රිය, ප්‍රඥා ඉන්ද්රිය යන මේ ධර්මයෝ ඇත්තාහ. තථාගතයන් වහන්සේ කෙරෙහි මොහු තුළ ශ්‍රද්ධා මාත්‍රයක් වෙයි. ප්‍රේම මාත්‍රයක් වෙයි. මහානාමයෙනි, මේ පුද්ගලයා ත් නිරයට නොයන්නෙකි. තිරිසන් යෝනියට නොයන්නෙකි. ප්‍රේත විෂයට නොයන්නෙකි. අපාය දුර්ගති විනිපාතයට නොයන්නෙකි.
ඉදින් මහානාමයෙනි, මනාකොට පවසන ලද සුභාෂිතය ත්, නොමනා කොට පවසන ලද දුර්භාෂිතය ත් පිළිබඳ අරුත මේ මහා සල් වෘක්ෂයෝ දන්නාහු නම්, මම මේ සල් වෘක්ෂයන්ට ද ‘අපායට නොවැටෙන සුළු වූ, නියත වශයෙන් පිහිට කොට ඇති ව සෝවාන් වූවෝ වෙති’ යි කියන්නෙමි. සරකානි ශාක්‍යයා පිළිබඳ ව කුමක් කියන්න ද? මහානාමයෙනි, සාරකානි ශාක්‍ය තෙමේ මරණ කාලයෙහි ශික්ෂාව සමාදන් ව සිටියේ ය.
සාදු! සාදු!! සාදු!!!
සරකානි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M