සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.3.3. තතිය මහානාම සුත්තං

11.3.3. මහානාම ශාක්‍යරජු පිළිබඳ ව වදාළ තෙවෙනි දෙසුම

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තු නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හී මහානාම ශාක්‍ය තෙමේ ගෝධා ශාක්‍යයා වෙත එළැඹියේ ය. එළැඹ ගෝධා ශාක්‍යයා හට මෙය පැවසුවේ ය.

“ගෝධාවෙනි, ඔබ කොපමණ ධර්මයන්ගෙන් යුක්ත වූ පුද්ගලයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි යි දන්නෙහි ද?”

“මහානාමයෙනි, මම තුන් ධර්මයකින් යුක්ත වූ පුද්ගලයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි යි දනිමි. ඒ කවර තුන් ධර්මයකින් ද යත්; මහානාමයෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි’ යනුවෙනි. මහානාමයෙනි, මම මේ තුන් ධර්මයෙන් යුක්ත වූ පුද්ගලයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි යි දනිමි.

මහානාමයෙනි, ඔබ වනාහී කොපමණ ධර්මයන්ගෙන් යුක්ත වූ පුද්ගලයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි යි දන්නෙහි ද?”

“ගෝධාවෙනි, මම සතර ධර්මයකින් යුක්ත වූ පුද්ගලයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි යි දනිමි. ඒ කවර සතර ධර්මයකින් ද යත්; ගෝධාවෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි’ යනුවෙනි. ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙයි. ගෝධාවෙනි, මම මේ සතර ධර්මයෙන් යුක්ත වූ පුද්ගලයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි යි දනිමි.”

“මහානාමයෙනි, ඔබ ඉවසව. මහානාමයෙනි, ඔබ ඉවසව. භාග්‍යවතුන් වහන්සේ ම මේ ධර්මයන්ගෙන් සමන්විත වෙයි කියා හෝ මේ ධර්මයන්ගෙන් සමන්විත නොවෙයි කියා හෝ මෙය දන්නා සේක.”

“ගෝධාවෙනි, යමු. භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹෙමු. එළැඹ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කරන්නෙමු.”

එකල්හී මහානාම ශාක්‍ය තෙමේ ත්, ගෝධා ශාක්‍ය තෙමේ ත්, භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, මෙහි මම ගෝධා ශාක්‍යයා වෙත එළැඹියෙමි. එළැඹ ගෝධා ශාක්‍යයා හට මෙය පැවසුවෙමි.

‘ගෝධාවෙනි, ඔබ කොපමණ ධර්මයන්ගෙන් යුක්ත වූ පුද්ගලයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි යි දන්නෙහි ද?’

මෙසේ කී කල්හී ස්වාමීනි, ගෝධා ශාක්‍ය තෙමේ මට මෙය කීවේ ය.

‘මහානාමයෙනි, මම තුන් ධර්මයකින් යුක්ත වූ පුද්ගලයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි යි දනිමි. ඒ කවර තුන් ධර්මයකින් ද යත්; මහානාමයෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි’ යනුවෙනි. මහානාමයෙනි, මම මේ තුන් ධර්මයෙන් යුක්ත වූ පුද්ගලයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි යි දනිමි.

මහානාමයෙනි, ඔබ වනාහී කොපමණ ධර්මයන්ගෙන් යුක්ත වූ පුද්ගලයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි යි දන්නෙහි ද?’ යි.

මෙසේ කී කල්හී ස්වාමීනී, මම ගෝධා ශාක්‍යයා හට මෙය කීවෙමි.

‘ගෝධාවෙනි, මම සතර ධර්මයකින් යුක්ත වූ පුද්ගලයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි යි දනිමි. ඒ කවර සතර ධර්මයකින් ද යත්; ගෝධාවෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි’ යනුවෙනි. ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙයි. ගෝධාවෙනි, මම මේ සතර ධර්මයෙන් යුක්ත වූ පුද්ගලයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන් පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි යි දනිමි’ යි.

මෙසේ කී කල්හී ස්වාමීනී, ගෝධා ශාක්‍ය තෙමේ මට මෙය පැවසුවේ ය.

‘මහානාමයෙනි, ඔබ ඉවසව. මහානාමයෙනි, ඔබ ඉවසව. භාග්‍යවතුන් වහන්සේ ම මේ ධර්මයන්ගෙන් සමන්විත වෙයි කියා හෝ මේ ධර්මයන්ගෙන් සමන්විත නොවෙයි කියා හෝ මෙය දන්නා සේක’ යි. ස්වාමීනී, මෙහිලා කිසියම් කරුණක් උපදින්නේ නම්, භාග්‍යවතුන් වහන්සේ එක් පසෙක සිටින සේක් ද, භික්ෂු සංඝ තෙමේ තවත් පසෙක සිටියි ද, භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක සිටින සේක් ද, මම එපසෙහි සිටිමි. ස්වාමීනී, මේ අයුරින් පැහැදීමෙන් සිටින කෙනෙකු ලෙස භාග්‍යවතුන් වහන්සේ මාව පිළිගන්නා සේක්වා!”

ස්වාමීනී, මෙහිලා කිසියම් කරුණක් උපදින්නේ නම්, භාග්‍යවතුන් වහන්සේ එක් පසෙක සිටින සේක් ද, භික්ෂු සංඝ තෙමේ තවත් පසෙක සිටියි ද, භික්ෂුණී සංඝ තෙමේ තවත් පසෙක සිටියි ද, භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක සිටින සේක් ද, මම එපසෙහි සිටිමි. ස්වාමීනී, මේ අයුරින් පැහැදීමෙන් සිටින කෙනෙකු ලෙස භාග්‍යවතුන් වහන්සේ මාව පිළිගන්නා සේක්වා!

ස්වාමීනී, මෙහිලා කිසියම් කරුණක් උපදින්නේ නම්, භාග්‍යවතුන් වහන්සේ එක් පසෙක සිටින සේක් ද, භික්ෂු සංඝ තෙමේ තවත් පසෙක සිටියි ද, භික්ෂුණී සංඝ තෙමේ තවත් පසෙක සිටියි ද, උපාසකවරු තවත් පසෙක සිටිත් ද, භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක සිටින සේක් ද, මම එපසෙහි සිටිමි. ස්වාමීනී, මේ අයුරින් පැහැදීමෙන් සිටින කෙනෙකු ලෙස භාග්‍යවතුන් වහන්සේ මාව පිළිගන්නා සේක්වා!

ස්වාමීනී, මෙහිලා කිසියම් කරුණක් උපදින්නේ නම්, භාග්‍යවතුන් වහන්සේ එක් පසෙක සිටින සේක් ද, භික්ෂු සංඝ තෙමේ තවත් පසෙක සිටියි ද, භික්ෂුණී සංඝ තෙමේ තවත් පසෙක සිටියි ද, උපාසකවරුත් උපාසිකාවෝ ත් තවත් පසෙක සිටිත් ද, භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක සිටින සේක් ද, මම එපසෙහි සිටිමි. ස්වාමීනී, මේ අයුරින් පැහැදීමෙන් සිටින කෙනෙකු ලෙස භාග්‍යවතුන් වහන්සේ මාව පිළිගන්නා සේක්වා!

ස්වාමීනී, මෙහිලා කිසියම් කරුණක් උපදින්නේ නම්, භාග්‍යවතුන් වහන්සේ එක් පසෙක සිටින සේක් ද, භික්ෂු සංඝ තෙමේ තවත් පසෙක සිටියි ද, භික්ෂුණී සංඝ තෙමේ තවත් පසෙක සිටියි ද, උපාසකවරුත් උපාසිකාවෝ ත්, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත, දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා ත් තවත් පසෙක සිටිත් ද, භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක සිටින සේක් ද, මම එපසෙහි සිටිමි. ස්වාමීනී, මේ අයුරින් පැහැදීමෙන් සිටින කෙනෙකු ලෙස භාග්‍යවතුන් වහන්සේ මාව පිළිගන්නා සේක්වා!”

“ගෝධාවෙනි, මේ අයුරින් කියන්නා වූ මහානාම ශාක්‍යයා පිළිබඳ ව ඔබ කුමක් කියන්නෙහි ද?”

“ස්වාමීනී, මේ අයුරින් කියන්නා වූ මහානාම ශාක්‍යයා පිළිබඳ ව මම කල්‍යාණය හැර, කුසලය හැර අන් කිසිවක් නොකියමි.”

සාදු! සාදු!! සාදු!!!

තතිය මහානාම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M