එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තු නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හී මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මේ කපිලවස්තු නගරය සමෘද්ධිමත් වූයේ ත්, බොහෝ සැප සම්පත් ඇත්තේ ත්, බොහෝ ජනයා ඇත්තේ ත්, මිනිසුන්ගෙන් බොහෝ ගැවසී තෙරපී ගිය වීදි ඇත්තේ ත් වෙයි. ඉතින් ස්වාමීනී, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ව ඇසුරු කොට, මනෝභාවනීය භික්ෂූන් හෝ ඇසුරු කොට, සවස් වරුවෙහි කපිලවස්තු නගරයට පිවිසෙන කල්හී කලබල ව හැසිරෙන ඇතෙකු සමඟ ත් එක්වෙමි. කලබල ව හැසිරෙන අශ්වයෙකු සමඟ ත් එක්වෙමි. කලබල ව හැසිරෙන රියක් සමඟ ත් එක්වෙමි. කලබල ව හැසිරෙන ගැලක් සමඟ ත් එක්වෙමි. කලබල ව හැසිරෙන පුරුෂයෙකු සමඟ ත් එක්වෙමි. ස්වාමීනී, ඒ මට ඒ අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේ අරභයා පැවති සිහිය මුලා වෙයි. ධර්මය අරභයා පැවති සිහිය මුලා වෙයි. සංඝයා අරභයා පැවති සිහිය මුලා වෙයි. ස්වාමීනී, ඒ මට මෙසේ සිතෙයි. මෙබඳු අවස්ථාවක මම මරණයට පත්වන්නෙම් නම් මගේ ගතිය කුමක් වේවි ද? මාගේ පරලොව කුමක් වේවි ද? කියා ය.”
“මහානාමයෙනි, භය වෙන්නට එපා! මහානාමයෙනි, භය වෙන්නට එපා! ඔබගේ මරණය අලාමක දෙයක් වන්නේ ය. අලාමක කලුරිය කිරීමක් වන්නේ ය. මහානාමයෙනි, සතර ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවක තෙමේ නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට යොමු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි. ඒ කවර සතරක් ද යත්;
මහානාමයෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙයි.
මහානාමයෙනි, එය මෙබඳු දෙයකි. පෙරදිගට නැවී ගිය, පෙරදිගට යොමු වූ, පෙරදිගට බර වූ රුකක් ඇත්තේ ය. මුලින් සිඳින ලද ඒ රුක කොයි පැත්තට වැටෙන්නේ ද?”
“ස්වාමීනී, යම් දෙසකට නැමී ඇද්ද, යම් දෙසකට යොමු වී ඇද්ද, යම් දෙසකට බර වී ඇද්ද, ඒ දෙසට යි.”
“එසෙයින් ම මහානාමයෙනි, මේ සතර ධර්මයෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවක තෙමේ නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට යොමු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය මහානාම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M