එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තු නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හී මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මේ කපිලවස්තු නගරය සමෘද්ධිමත් වූයේ ත්, බොහෝ සැප සම්පත් ඇත්තේ ත්, බොහෝ ජනයා ඇත්තේ ත්, මිනිසුන්ගෙන් බොහෝ ගැවසී තෙරපී ගිය වීදි ඇත්තේ ත් වෙයි. ඉතින් ස්වාමීනී, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ව ඇසුරු කොට, මනෝභාවනීය භික්ෂූන් හෝ ඇසුරු කොට, සවස් වරුවෙහි කපිලවස්තු නගරයට පිවිසෙන කල්හී කලබල ව හැසිරෙන ඇතෙකු සමඟ ත් එක්වෙමි. කලබල ව හැසිරෙන අශ්වයෙකු සමඟ ත් එක්වෙමි. කලබල ව හැසිරෙන රියක් සමඟ ත් එක්වෙමි. කලබල ව හැසිරෙන ගැලක් සමඟ ත් එක්වෙමි. කලබල ව හැසිරෙන පුරුෂයෙකු සමඟ ත් එක්වෙමි. ස්වාමීනී, ඒ මට ඒ අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේ අරභයා පැවති සිහිය මුලා වෙයි. ධර්මය අරභයා පැවති සිහිය මුලා වෙයි. සංඝයා අරභයා පැවති සිහිය මුලා වෙයි. ස්වාමීනී, ඒ මට මෙසේ සිතෙයි. මෙබඳු අවස්ථාවක මම මරණයට පත්වන්නෙම් නම් මගේ ගතිය කුමක් වේවි ද? මාගේ පරලොව කුමක් වේවි ද? කියා ය.”
“මහානාමයෙනි, භය වෙන්නට එපා! මහානාමයෙනි, භය වෙන්නට එපා! ඔබගේ මරණය අලාමක දෙයක් වන්නේ ය. අලාමක කලුරිය කිරීමක් වන්නේ ය. මහානාමයෙනි, යම්කිසිවෙකු තුළ බොහෝ කලක් තිස්සේ ශ්‍රද්ධාව මැනැවින් පුරුදු කළ සිතක් ඇත්නම්, සීලය මැනැවින් පුරුදු කළ සිතක් ඇත්නම්, ශ්‍රැතය මැනැවින් පුරුදු කළ සිතක් ඇත්නම්, ත්‍යාගය මැනැවින් පුරුදු කළ සිතක් ඇත්නම්, ප්‍රඥාව මැනැවින් පුරුදු කළ සිතක් ඇත්නම්, රූපී වූ, සතර මහා භූතයන්ගෙන් හටගත්, මව්පියන් නිසා හටගත්, ආහාරපානයන්ගෙන් පෝෂණය ලැබූ, අනිත්‍ය වූ, ඉලීම් පිරිමැදීම් ආදිය පවත්වමින්, බිඳෙන වැනසෙන ස්වභාවයෙන් යුක්ත වූ යම් මේ කයක් ඔහුට ඇත්තේ ද, එය මෙහි ම කපුටෝ හෝ කා දමති. ගිජුලිහිණියෝ හෝ කා දමති. උකුස්සෝ හෝ කා දමති. සුනඛයෝ හෝ කා දමති. සිවල්ලු හෝ කා දමති. විවිධ වූ ප්‍රාණීහු හෝ කා දමති. ඔහු තුළ බොහෝ කලක් තිස්සේ ශ්‍රද්ධාව හොඳින් පුරුදු කළ, සීලය හොඳින් පුරුදු කළ, ශ්‍රැතය හොඳින් පුරුදු කළ, ත්‍යාගය හොඳින් පුරුදු කළ, ප්‍රඥාව හොඳින් පුරුදු කළ, යම් සිතක් ඇද්ද, එය උඩු අතට යන්නේ වෙයි. විශේෂගාමී වෙයි.
මහානාමයෙනි, එය මෙබඳු දෙයකි. බලවත් පුරුෂයෙක් ගිතෙල් පිරවූ මැටි කළයක් හෝ තෙල් පිරවූ මැටි කළයක් හෝ ගැඹුරු දිය විලකට බස්සවා බිඳින්නේ නම්, ඒ කළයෙහි යම් කැට හෝ කැබිලිති හෝ වෙත් ද, ඒවා එහි යටට බසින්නේ ය. එහි යම් ගිතෙලක් හෝ තෙලක් හෝ ඇද්ද, එය එහි උඩට මතුවෙන්නේ ය. විශේෂගාමී වෙන්නේ ය.
එසෙයින් ම, මහානාමයෙනි, යම්කිසිවෙකු තුළ බොහෝ කලක් තිස්සේ ශ්‍රද්ධාව මැනැවින් පුරුදු කළ සිතක් ඇත්නම්, සීලය මැනැවින් පුරුදු කළ සිතක් ඇත්නම්, ශ්‍රැතය මැනැවින් පුරුදු කළ සිතක් ඇත්නම්, ත්‍යාගය මැනැවින් පුරුදු කළ සිතක් ඇත්නම්, ප්‍රඥාව මැනැවින් පුරුදු කළ සිතක් ඇත්නම්, රූපී වූ, සතර මහා භූතයන්ගෙන් හටගත්, මව්පියන් නිසා හටගත්, ආහාරපානයන්ගෙන් පෝෂණය ලැබූ, අනිත්‍ය වූ, ඉලීම් පිරිමැදීම් ආදිය පවත්වමින්, බිඳෙන වැනසෙන ස්වභාවයෙන් යුක්ත වූ යම් මේ කයක් ඔහුට ඇත්තේ ද, එය මෙහි ම කපුටෝ හෝ කා දමති. ගිජුලිහිණියෝ හෝ කා දමති. උකුස්සෝ හෝ කා දමති. සුනඛයෝ හෝ කා දමති. සිවල්ලු හෝ කා දමති. විවිධ වූ ප්‍රාණීහු හෝ කා දමති. ඔහු තුළ බොහෝ කලක් තිස්සේ ශ්‍රද්ධාව හොඳින් පුරුදු කළ, සීලය හොඳින් පුරුදු කළ, ශ්‍රැතය හොඳින් පුරුදු කළ, ත්‍යාගය හොඳින් පුරුදු කළ, ප්‍රඥාව හොඳින් පුරුදු කළ, යම් සිතක් ඇද්ද, එය උඩු අතට යන්නේ වෙයි. විශේෂගාමී වෙයි. මහානාමයෙනි, ඔබ තුළ වනාහී බොහෝ කලක් මුළුල්ලෙහි මැනැවින් වඩන ලද ශ්රද්ධාවන් යුතු සිතක් අත්තේ ය. ….(පෙ)…. මැනැවින් වඩන ලද ප්‍රඥාවෙන් යුතු සිතක් ඇත්තේ ය.
මහානාමයෙනි, භය වෙන්නට එපා! මහානාමයෙනි, භය වෙන්නට එපා! ඔබගේ මරණය අලාමක දෙයක් වන්නේ ය. අලාමක කලුරිය කිරීමක් වන්නේය.
සාදු! සාදු!! සාදු!!!
මහානාම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M