සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.2.10. තතිය දේවචාරික සුත්තං

11.2.10. දෙව්ලොව වැඩම කොට වදාළ තෙවෙනි දෙසුම

එකල්හී භාග්‍යවතුන් වහන්සේ බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගු කරන්නේ යම් සේ ද, දික් කළ අතක් හකුලන්නේ යම් සේ ද, එසෙයින් ම ජේතවනයෙන් නොපෙනී ගොස් තව්තිසා දෙවියන් අතර පහළ වූහ. ඉක්බිති තව්තිසාවැසි බොහෝ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්තාහු ය. එකත්පස් ව සිටගත් ඒ දේවතාවන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ඇවැත්නි, බුදුරජුන් කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වන්නේ නම්, ඉතා යහපත් වෙයි. එනම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙවි මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ඇවැත්නි, බුදුරජුන් කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමට පත්වීම හේතුවෙන් මෙසේ මෙහි ඇතැම් සත්වයෝ සිව් අපායෙන් මිදී නියත වශයෙන් නිවන අවබෝධ කරන සුළු ව, සෝවාන් වූවාහු වෙති.

ඇවැත්නි, ධර්මය කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වන්නේ නම්, ඉතා යහපත් වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනැවින් ධර්මය වදාරණ ලද්දේ ය. ….(පෙ)…. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දත යුත්තේ ය’ වශයෙනි. ඇවැත්නි, ධර්මය කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමට පත්වීම හේතුවෙන් මෙසේ මෙහි ඇතැම් සත්වයෝ සිව් අපායෙන් මිදී නියත වශයෙන් නිවන අවබෝධ කරන සුළු ව, සෝවාන් වූවාහු වෙති.

ඇවැත්නි, ආර්ය සංඝයා කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වන්නේ නම්, ඉතා යහපත් වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි’ වශයෙනි. ඇවැත්නි, ආර්ය සංඝයා කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමට පත්වීම හේතුවෙන් මෙසේ මෙහි ඇතැම් සත්වයෝ සිව් අපායෙන් මිදී නියත වශයෙන් නිවන අවබෝධ කරන සුළු ව, සෝවාන් වූවාහු වෙති.

ඇවැත්නි, ‘කඩ නොවූ සිල් පද ඇති ….(පෙ)…. සමාධිය පිණිස පවතින ආර්යකාන්ත සීලයෙන් යුක්ත වන්නේ නම්, ඉතා යහපත් වෙයි. ඇවැත්නි, ආර්යකාන්ත සීලයෙන් යුක්ත වීම හේතුවෙන් මෙසේ මෙහි ඇතැම් සත්වයෝ සිව් අපායෙන් මිදී නියත වශයෙන් නිවන අවබෝධ කරන සුළු ව, සෝවාන් වූවාහු වෙති.”

“නිදුකාණන් වහන්ස, බුදුරජුන් කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වන්නේ නම්, ඉතා යහපත් වෙයි. එනම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙවි මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. නිදුකාණන් වහන්ස, බුදුරජුන් කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමට පත්වීම හේතුවෙන් මෙසේ මේ ප්‍රජාවෝ සිව් අපායෙන් මිදී නියත වශයෙන් නිවන අවබෝධ කරන සුළු ව, සෝවාන් වූවාහු වෙති.

නිදුකාණන් වහන්ස, ධර්මය කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වන්නේ නම්, ඉතා යහපත් වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනැවින් ධර්මය වදාරණ ලද්දේ ය. ….(පෙ)…. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දත යුත්තේ ය’ වශයෙනි. නිදුකාණන් වහන්ස, ධර්මය කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමට පත්වීම හේතුවෙන් මෙසේ මේ ප්‍රජාවෝ සිව් අපායෙන් මිදී නියත වශයෙන් නිවන අවබෝධ කරන සුළු ව, සෝවාන් වූවාහු වෙති.

නිදුකාණන් වහන්ස, ආර්ය සංඝයා කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වන්නේ නම්, ඉතා යහපත් වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි’ වශයෙනි. නිදුකාණන් වහන්ස, ආර්ය සංඝයා කෙරෙහි නිසැක ව, නොසෙල්වෙන පැහැදීමට පත්වීම හේතුවෙන් මෙසේ මේ ප්‍රජාවෝ සිව් අපායෙන් මිදී නියත වශයෙන් නිවන අවබෝධ කරන සුළු ව, සෝවාන් වූවාහු වෙති.

නිදුකාණන් වහන්ස, ‘කඩ නොවූ සිල් පද ඇති ….(පෙ)…. සමාධිය පිණිස පවතින ආර්යකාන්ත සීලයෙන් යුක්ත වන්නේ නම්, ඉතා යහපත් වෙයි. නිදුකාණන් වහන්ස, ආර්යකාන්ත සීලයෙන් යුක්ත වීම හේතුවෙන් මෙසේ මේ ප්‍රජාවෝ සිව් අපායෙන් මිදී නියත වශයෙන් නිවන අවබෝධ කරන සුළු ව, සෝවාන් වූවාහු වෙති.”

සාදු! සාදු!! සාදු!!!

තතිය දේවචාරික සූත්‍රය නිමා විය.

දෙවෙනි රාජකාරාම වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

සහස්ස සූත්‍රය, බ්‍රාහ්මණ සූත්‍රය, ආනන්ද සූත්‍රය, දුග්ගති සූත්‍රය, විනිපාත සූත්‍රය, මිත්තාමච්ච සූත්‍ර දෙක, දේවචාරික සූත්‍ර තුන වශයෙන් සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M