එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“සාරිපුත්තයෙනි, ‘සෝතාපත්ති අංග, සෝතාපත්ති අංග’ යි මෙය කියනු ලැබේ. සාරිපුත්තයෙනි, සෝතාපත්ති අංග යනු මොනවා ද?”
“ස්වාමීනි, සත්පුරුෂයන්ගේ ඇසුර සෝතාපත්ති අංගයකි. සද්ධර්ම ශ්‍රවණය සෝතාපත්ති අංගයකි. යෝනිසෝ මනසිකාරය සෝතාපත්ති අංගයකි. ධර්මානුධර්ම ප්‍රතිපදාව සෝතාපත්ති අංගයකි.”
“සාදු! සාදු! සාරිපුත්තයෙනි. සාරිපුත්තයෙනි, සත්පුරුෂයන්ගේ ඇසුර සෝතාපත්ති අංගයකි. සද්ධර්ම ශ්‍රවණය සෝතාපත්ති අංගයකි. යෝනිසෝ මනසිකාරය සෝතාපත්ති අංගයකි. ධර්මානුධර්ම ප්‍රතිපදාව සෝතාපත්ති අංගයකි.”
“සාරිපුත්තයෙනි, ‘සෝත, සෝත’ යි මෙය කියනු ලැබේ. සාරිපුත්තයෙනි, සෝත යනු කුමක් ද?”
“ස්වාමීනී, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ‘සෝත’ නම් වෙයි. එනම්; නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පනා ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි දිවි පැවැත්ම ය, නිවැරදි වීර්යය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්ත සමාධිය ය.”
“සාදු! සාදු! සාරිපුත්තයෙනි. සාරිපුත්තයෙනි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ‘සෝත’ නම් වෙයි. එනම්; නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පනා ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි දිවි පැවැත්ම ය, නිවැරදි වීර්යය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්ත සමාධිය ය.”
“සාරිපුත්තයෙනි, ‘සෝතාපන්න, සෝතාපන්න’ යි මෙය කියනු ලැබේ. සාරිපුත්තයෙනි, සෝතාපන්නයා කවුද?”
“ස්වාමීනී, යමෙක් වනාහී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්ත වූයේ වෙයි ද, මොහු සෝතාපන්න යැයි කියනු ලැබේ. ඒ මේ ආයුෂ්මත් තෙමේ ‘මෙබඳු නම් ඇත්තේ, මෙබඳු ගෝත්‍ර ඇත්තේ ය’ යි.”
“සාදු! සාදු! සාරිපුත්තයෙනි. සාරිපුත්තයෙනි, යමෙක් වනාහී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්ත වූයේ වෙයි ද, මොහු සෝතාපන්න යැයි කියනු ලැබේ. ඒ මේ ආයුෂ්මත් තෙමේ ‘මෙබඳු නම් ඇත්තේ, මෙබඳු ගෝත්‍ර ඇත්තේ ය’ යි.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය සාරිපුත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M