සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.1.4. සාරිපුත්ත සුත්තං

11.1.4. සාරිපුත්ත තෙරුන් වදාළ දෙසුම

එක් සමයෙක්හි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ද, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ද සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කථාබහ නිමවා එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසූහ.

“ඇවැත් සාරිපුත්තයෙනි, මෙසේ මේ ප්‍රජාව කොපමණ ධර්මයන්ගෙන් සමන්විත වීම හේතුවෙන් සෝවාන් ව, සිව් අපායෙන් මිදී, නියත වශයෙන් නිවන පිහිට කොට ඇත්තාහු යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක් ද?”

“ඇවැත්නි, සතර ධර්මයකින් සමන්විත වීම හේතුවෙන් මෙසේ මේ ප්‍රජාව සෝවාන් ව, සිව් අපායෙන් මිදී, නියත වශයෙන් නිවන පිහිට කොට ඇත්තාහු යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ කවර සතරක් ද යත්;

ඇවැත්නි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙයි.

ඇවැත්නි, මේ සතර ධර්මයෙන් සමන්විත වීම හේතුවෙන් මෙසේ මේ ප්‍රජාව සෝවාන් ව, සිව් අපායෙන් මිදී, නියත වශයෙන් නිවන පිහිට කොට ඇත්තාහු යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.”

සාදු! සාදු!! සාදු!!!

සාරිපුත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M