සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.1.6. ථපති සුත්තං

11.1.6. වඩුදෙටුවන්ට වදාළ දෙසුම

එසමයෙහි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුර සැකසීම කරති. ‘නිමවන ලද සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමසක් ඇවෑමෙන් චාරිකාවේ වඩින සේකැ’යි කියා ය.

එසමයෙහි ඉසිදත්ත, පුරාණ යන වඩුදෙටුවෝ කිසියම් කරුණක් උදෙසා සාධුක නම් නගරයෙහි වාසය කරති. ඉසිදත්ත, පුරාණ වඩුදෙටුවෝ බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුර සැකසීම කරත් ය; ‘නිමවන ලද සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමසක් ඇවෑමෙන් චාරිකාවේ වඩින සේකැ’යි යන කරුණ ඇසූහ.

ඉක්බිති ඉසිදත්ත, පුරාණ යන වඩුදෙටුවෝ මාර්ගයෙහි පුරුෂයෙකු තැබූහ. “එම්බා පුරුෂය, යම් විටෙක ඔබ අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනා අයුරු දකින්නෙහි නම්, එවිට අපට දැනුම් දෙන්නෙහි” යි.

දෙතුන් දිනක් සිටි ඒ පුරුෂයා දුරින් ම වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ ව දැක්කේ ය. දැක ඉසිදත්ත, පුරාණ වඩුදෙටුවන් කරා එළැඹියේ ය. එළැඹ ඉසිදත්ත, පුරාණ වඩුදෙටුවන්ට මෙය පැවසුවේ ය.

“හිමියනි, ඒ මේ අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ වඩිනා සේක. දැන් යමකට කාලය නම් එය දැනගත මැනැව.”

ඉක්බිති ඉසිදත්ත, පුරාණ වඩුදෙටුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් උන්වහන්සේ අනුව ගමන් ගත්හ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගින් බැහැර ව, එක්තරා රුක් සෙවණක් වෙත එළැඹි සේක. එළැඹ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. ඉසිදත්ත, පුරාණ වඩුදෙටුවෝ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඉසිදත්ත, පුරාණ වඩුදෙටුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් නික්ම කොසොල් දනව්වෙහි චාරිකාවට වැඩම කරනා සේකැයි අසමු ද, එසමයෙහි අපට නොසතුටු සිතක් ඇතිවෙයි. දොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈතට වැඩම කරනා සේකැ’යි. ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් නික්ම කොසොල් දනව්වෙහි චාරිකාවට වැඩම කළ සේකැයි අසමු ද, එසමයෙහි අපට නොසතුටු සිතක් ඇතිවෙයි. දොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈතට වැඩම කළ සේකැ’යි.

ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙන් නික්ම මල්ල ජනපදයෙහි චාරිකාවට වැඩම කරනා සේකැයි අසමු ද, එසමයෙහි අපට නොසතුටු සිතක් ඇතිවෙයි. දොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈතට වැඩම කරනා සේකැ’යි. ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙන් නික්ම මල්ල ජනපදයෙහි චාරිකාවට වැඩම කළ සේකැයි අසමු ද, එසමයෙහි අපට නොසතුටු සිතක් ඇතිවෙයි. දොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈතට වැඩම කළ සේකැ’යි.

ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයෙන් නික්ම වජ්ජි ජනපදයෙහි චාරිකාවට වැඩම කරනා සේකැයි අසමු ද, එසමයෙහි අපට නොසතුටු සිතක් ඇතිවෙයි. දොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈතට වැඩම කරනා සේකැ’යි. ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයෙන් නික්ම වජ්ජි ජනපදයෙහි චාරිකාවට වැඩම කළ සේකැයි අසමු ද, එසමයෙහි අපට නොසතුටු සිතක් ඇතිවෙයි. දොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈතට වැඩම කළ සේකැ’යි.

ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ වජ්ජි ජනපදයෙන් නික්ම කාසි ජනපදයෙහි චාරිකාවට වැඩම කරනා සේකැයි අසමු ද, එසමයෙහි අපට නොසතුටු සිතක් ඇතිවෙයි. දොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈතට වැඩම කරනා සේකැ’යි. ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ වජ්ජි ජනපදයෙන් නික්ම කාසි ජනපදයෙහි චාරිකාවට වැඩම කළ සේකැයි අසමු ද, එසමයෙහි අපට නොසතුටු සිතක් ඇතිවෙයි. දොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈතට වැඩම කළ සේකැ’යි.

ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ කාසි ජනපදයෙන් නික්ම මගධ ජනපදයෙහි චාරිකාවට වැඩම කරනා සේකැයි අසමු ද, එසමයෙහි අපට නොසතුටු සිතක් ඇතිවෙයි. දොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈතට වැඩම කරනා සේකැ’යි. ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ කාසි ජනපදයෙන් නික්ම මගධ ජනපදයෙහි චාරිකාවට වැඩම කළ සේකැයි අසමු ද, එසමයෙහි අපට නොසතුටු සිතක් ඇතිවෙයි. දොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපගෙන් ඈතට වැඩම කළ සේකැ’යි.

ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයෙන් නික්ම යළි කාසි ජනපදයන්හි චාරිකාවට ආපසු වැඩම කරනා සේකැයි අසමු ද, එසමයෙහි අපට සතුටු සිතක් ඇතිවෙයි. සොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපට ආසන්න වන සේකැ’යි. ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයෙන් නික්ම යළි කාසි ජනපදයන්හි චාරිකාවට ආපසු වැඩම කළ සේකැයි අසමු ද, එසමයෙහි අපට සතුටු සිතක් ඇතිවෙයි. සොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපට ආසන්න වූ සේකැ’යි.

ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ කාසි ජනපදයෙන් නික්ම යළි වජ්ජි ජනපදයන්හි චාරිකාවට ආපසු වැඩම කරනා සේකැයි අසමු ද, එසමයෙහි අපට සතුටු සිතක් ඇතිවෙයි. සොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපට ආසන්න වන සේකැ’යි. ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ කාසි ජනපදයෙන් නික්ම යළි වජ්ජි ජනපදයන්හි චාරිකාවට ආපසු වැඩම කළ සේකැයි අසමු ද, එසමයෙහි අපට සතුටු සිතක් ඇතිවෙයි. සොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපට ආසන්න වූ සේකැ’යි.

ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ වජ්ජි ජනපදයෙන් නික්ම යළි මල්ල ජනපදයන්හි චාරිකාවට ආපසු වැඩම කරනා සේකැයි අසමු ද, එසමයෙහි අපට සතුටු සිතක් ඇතිවෙයි. සොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපට ආසන්න වන සේකැ’යි. ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ වජ්ජි ජනපදයෙන් නික්ම යළි මල්ල ජනපදයන්හි චාරිකාවට ආපසු වැඩම කළ සේකැයි අසමු ද, එසමයෙහි අපට සතුටු සිතක් ඇතිවෙයි. සොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපට ආසන්න වූ සේකැ’යි.

ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයෙන් නික්ම යළි කොසොල් දනව්වෙහි චාරිකාවට ආපසු වැඩම කරනා සේකැයි අසමු ද, එසමයෙහි අපට සතුටු සිතක් ඇතිවෙයි. සොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපට ආසන්න වන සේකැ’යි. ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයෙන් නික්ම යළි කොසොල් දනව්වෙහි චාරිකාවට ආපසු වැඩම කළ සේකැයි අසමු ද, එසමයෙහි අපට සතුටු සිතක් ඇතිවෙයි. සොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපට ආසන්න වූ සේකැ’යි.

ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි සැවැත් නුවර බලා චාරිකාවට ආපසු වැඩම කරනා සේකැයි අසමු ද, එසමයෙහි අපට සතුටු සිතක් ඇතිවෙයි. සොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපට ආසන්න වන සේකැ’යි. ස්වාමීනී, යම් කලෙක අපි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේකැයි අසමු ද, එසමයෙහි අපට අනල්ප වූ සතුටු සිතක් ඇතිවෙයි. අනල්ප සොම්නසක් ඇතිවෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපට ආසන්න ව වැඩසිටින සේකැ’යි.”

“එසේ වී නම් වඩුදෙටුවෙනි, ගිහි ගෙදර වාසය කිරීම කරදර ය. කෙලෙස් වැඩෙන මගකි. පැවිද්ද යනු ඉතා නිදහස් තැනකි. එහෙයින් වඩුදෙටුවෙනි, ඔබ විසින් අප්‍රමාදී ව ම වාසය කිරීම සුදුසු ය.”

“ස්වාමීනී, මේ ගිහි ගෙදර කරදරයට වඩා වෙනත් කරදරයක්, අතිශයින් ම කරදරයක්, ඉතා බලවත් කරදරයක් අපට ඇත්තේ ම ය.”

“වඩු දෙටුවෙනි, මේ ගිහි ගෙදර කරදරයට වඩා ඔබට ඇති වෙනත් කරදරය, අතිශයින් ම කරදරය, ඉතා බලවත් කරදරය කුමක් ද?”

“ස්වාමීනී, මෙහි යම් කලෙක පසේනදී කොසොල් රජු උයන් බිමට යන්නට කැමති වෙයි ද, එකල්හී අපි යම් ඒ පසේනදී කොසොල් රජුගේ පිට නැංවීමෙහි සමත් ඇත්තු සිටිත් ද, ඔවුන් සරසා පසේනදී කොසොල් රජුගේ ප්‍රිය වූ මනාප වූ යම් ඒ මහේෂිකාවෝ සිටිත් ද, ඔවුන් එක් අයෙකු පෙරට ත්, එක් අයෙකු පසුවට ත් ඇතුපිට හිඳුවන්නෙමු. ස්වාමීනී, රාජකීයත්වයට ගැලපෙන සුවඳින් සැරසුණු ඒ සොයුරියන්ගේ සිරුරින් හමන සුවඳ මෙබඳු වෙයි. එකෙණෙහි වැසුම් හරිනු ලැබූ සුවඳ කරඬුවකින් හමන යම් සුවඳක් ඇද්ද, එබඳු ය. ස්වාමීනී, සැප සේ වැඩුණු රාජ කන්‍යාවන් වූ ඒ සොයුරියන්ගේ කයෙහි පහස මෙබඳු වෙයි. හිඹුල් පුළුන්වල හෝ කපු පුළුන්වල හෝ යම් සිනිඳු පහසක් ඇද්ද, එබඳු ය.

ස්වාමීනී, ඒ අවස්ථාවෙහි වනාහී හස්තියා ත් රැකගත යුත්තේ වෙයි. ඒ නැගෙණිවරුනුත් රැකගත යුත්තාහු වෙති. තමා ව ත් රැකගත යුත්තේ වෙයි. ස්වාමීනී, අපි ඒ නැගෙණිවරුන් පිළිබඳ ව පාපී සිතක් ඉපද වූ බවක් විශේෂ කොට නොදනිමු. ස්වාමීනී, මෙය වනාහී ගිහි ගෙදර කරදරයට වඩා අපට ඇති වෙනත් කරදරය, අතිශයින් ම කරදරය, ඉතා බලවත් කරදරය වෙයි.”

“එසේ වී නම් වඩුදෙටුවෙනි, ගිහි ගෙදර වාසය කිරීම කරදර ය. කෙලෙස් වැඩෙන මගකි. පැවිද්ද යනු ඉතා නිදහස් තැනකි. එහෙයින් වඩුදෙටුවෙනි, ඔබ විසින් අප්‍රමාදී ව ම වාසය කිරීම සුදුසු ය.

වඩුදෙටුවෙනි, සතර ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවක තෙමේ සිව් අපායෙන් මිදුණේ, නියත වශයෙන් නිවන පිහිට කොට සෝවාන් වූයේ වෙයි. ඒ කවර සතරකින් ද යත්; වඩුදෙටුවෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පත් ව, නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යි. ධර්මය කෙරෙහි ත් ….(පෙ)…. සංඝයා කෙරෙහි ත් ….(පෙ)…. පහ ව ගිය මසුරුමල ඇති සිතින් ගිහි ගෙදර වසන්නේ වෙයි. එනම්, දන් දීම පිණිස වෙන්කළ දේ ඇති ව, සෝදා ගත් අත් ඇති ව, දන් දීමෙහි ඇලුණේ, අන්‍යයන්ගේ ඉල්ලීමට සුදුසු වූයේ, දන් බෙදීමෙහි ඇලුණේ වෙයි. වඩුදෙටුවෙනි, මේ සතර ධර්මයෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවක තෙමේ සිව් අපායෙන් මිදුණේ, නියත වශයෙන් නිවන පිහිට කොට සෝවාන් වූයේ වෙයි.

වඩුදෙටුවෙනි, ඔබ දෙදෙන වනාහී බුදුරජුන් කෙරෙහි නිසැක බවට පත් ව, නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූවහු ය. ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යි. ධර්මය කෙරෙහි ත් ….(පෙ)…. සංඝයා කෙරෙහි ත් ….(පෙ)…. දීමට සුදුසු වූ යම් කිසිවක් තම නිවසෙහි ඇද්ද, ඒ සියල්ල කලණදහම් ඇති සිල්වතුන් විෂයෙහි නොබෙදා ඇද්ද! වඩුදෙටුවෙනි, ඒ කිමෙකැයි හඟිව් ද? යම් මේ දන්බෙදීමෙහිලා යම් කෙනෙක් ඔබ දෙදෙනාට සම සම ව සිටිත් නම්, එබඳු මිනිස්සු කොසොල් දනව්වෙහි කොපමණ ඇද්ද!”

“ස්වාමීනී, අපට ලාභයකි! ස්වාමීනී, අපට මනා වූ ලාභයකි! යම් බඳු අප ගැන භාග්‍යවතුන් වහන්සේ මේ අයුරින් දන්නා සේක!”

සාදු! සාදු!! සාදු!!!

ථපති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M