එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානංගල නුවර ඉච්ඡානංගල වනලැහැබෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, මම තුන් මසක් තනිව ම වාසය කරන්නට කැමති වෙමි. පිණ්ඩපාතය රැගෙන එන කෙනා හැර අන් කෙනෙකු විසින් නොඑළඹිය යුත්තෙම් වෙමි.”
“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිණ්ඩපාතය රැගෙන එන එක් භික්ෂුවක හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නොඑළඹෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තුන්මස ඇවෑමෙන් භාවනාවෙන් නැගිට භික්ෂූන් ඇමතූ සේක.
“ඉදින් මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ඔබලාගෙන් මෙසේ අසත් නම්, ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයෝ වස් වසා සිටි කාලයෙහි කවර විහරණයකින් බහුල ව වාසය කළාහු ද?’ යි. එසේ විමසන ලදු ව මහණෙනි, ඔබලා ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ පිළිතුරු දෙව්. ‘ඇවැත්නි, වස් වසා සිටි කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ ආනාපානසති සමාධියෙන් බහුල ව වාසය කළ සේක.’
මහණෙනි, මෙහිලා මම සිහියෙන් හුස්ම ගනිමි. සිහියෙන් හුස්ම හෙලමි. දීර්ඝ ව හෝ හුස්ම ගනිද්දී, දීර්ඝ ව හුස්ම ගනිමි යි දනිමි. දීර්ඝ ව හෝ හුස්ම හෙලද්දී දීර්ඝ ව හුස්ම හෙලමි යි දනිමි. ….(පෙ)…. ඇල්ම දුරින් ම දුරුකිරීම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි දනිමි. ඇල්ම දුරින් ම දුරුකිරීම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි දනිමි. මහණෙනි, මනාකොට කියන්නෙක් ආර්ය විහාරය යනුවෙනුත්, බ්‍රහ්ම විහාරය යනුවෙනුත්, තථාගත විහාරය යනුවෙනුත් යමක් අරභයා මනාකොට කියයි නම්, ආනාපානසති සමාධිය ම අරභයා මනාකොට කියන්නෙක් ආර්ය විහාරය යනුවෙනුත්, බ්‍රහ්ම විහාරය යනුවෙනුත්, තථාගත විහාරය යනුවෙනුත් කියන්නේ ය.
මහණෙනි, යම් ඒ භික්ෂූහු නිවන් මග පුහුණු වෙමින්, නොපැමිණි අරහත්වය ඇති ව, අනුත්තර යෝගක්ඛේමය වූ නිවන පතමින් වාසය කරත් ද, ඔවුන් විසින් ආනාපානසති සමාධිය වඩන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ, ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස පවතියි.
මහණෙනි, යම් ඒ භික්ෂූහු රහත් වූවාහු ද, ආශ්‍රවයන් ක්ෂය වූවාහු ද, වසන ලද බඹසර ඇත්තාහු ද, කළ යුත්ත කරන ලද්දේ ද, කෙලෙස් බර පසෙක බහා තැබුවාහු ද, අනුපිළිවෙලින් පත් උත්තමාර්ථය ඇත්තාහු ද, භව සංයෝජනයන් ක්ෂය කරන ලද්දේ ද, මැනැවින් දැන කෙලෙසුන්ගෙන් මිදුණාහු වෙත් ද, ඔවුන් විසින් ආනාපානසති සමාධිය වඩන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ, මෙලොව දී සුව සේ වාසය කිරීම පිණිස ත්, සිහි නුවණ පිණිස ත් පවතියි.
මහණෙනි, මනාකොට කියන්නෙක් ආර්ය විහාරය යනුවෙනුත්, බ්‍රහ්ම විහාරය යනුවෙනුත්, තථාගත විහාරය යනුවෙනුත් යමක් අරභයා මනාකොට කියයි නම්, ආනාපානසති සමාධිය ම අරභයා මනාකොට කියන්නෙක් ආර්ය විහාරය යනුවෙනුත්, බ්‍රහ්ම විහාරය යනුවෙනුත්, තථාගත විහාරය යනුවෙනුත් කියන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
ඉච්ඡානංගල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_10-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M