සංයුත්ත නිකාය

මහා වග්ගෝ

10.1.10. කිම්බිල සුත්තං

10.1.10. කිම්බිල තෙරුන්ට වදාළ දෙසුම

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නුවර සමීපයෙහි වේළුවනයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක.

“කිම්බිලයෙනි, කෙසේ භාවිත කරන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද, ආනාපානසති සමාධිය මහත්ඵල මහානිශංස වෙයි ද?”

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. දෙවෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක. ….(පෙ)…. තෙවෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක.

“කිම්බිලයෙනි, කෙසේ භාවිත කරන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද, ආනාපානසති සමාධිය මහත්ඵල මහානිශංස වෙයි ද?” තෙවෙනි වතාවටත් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලය යි. සුගතයන් වහන්ස, මේ එයට කාලය යි. භාග්‍යවතුන් වහන්සේ යම් ආනාපානසති සමාධියක් වදාරණ සේක් නම්, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරා ගන්නාහ.”

“එසේ වී නම් ආනන්දයෙනි, අසව. මැනැවින් මෙනෙහි කරව. කියන්නෙමි.” “එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ආනන්දයෙනි, කෙසේ භාවිත කරන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද, ආනාපානසති සමාධිය මහත්ඵල මහානිශංස වෙයි ද?”

ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයට ගියේ හෝ රුක්සෙවණට ගියේ හෝ ….(පෙ)…. ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි.

ආනන්දයෙනි, මෙසේ භාවිත කරන ලද, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද, ආනාපානසති සමාධිය මහත්ඵල මහානිශංස වෙයි.

ආනන්දයෙනි, යම් අවස්ථාවකදී භික්ෂුවක් දිගු ලෙස හෝ හුස්ම ගන්නා විට ‘දිගු ලෙස හුස්ම ගනිමි’ යි දැනගනියි ද, දිගු ලෙස හෝ හුස්ම හෙලන විට ‘දිගු ලෙස හුස්ම හෙලමි’ යි දැනගනියි ද, කෙටි ලෙස හෝ හුස්ම ගන්නා විට ‘කෙටියෙන් හුස්ම ගනිමි’ යි දැනගනියි ද, කෙටි ලෙස හෝ හුස්ම හෙලන විට ‘කෙටියෙන් හුස්ම හෙලමි’ යි දැනගනියි ද, ‘සියළු ආශ්වාස කයට සංවේදී වෙමින් හුස්ම ගන්නෙමි’ යි පුහුණු වෙයි ද, ‘සියළු ප්‍රශ්වාස කයට සංවේදී වෙමින් හුස්ම හෙලන්නෙමි’ යි පුහුණු වෙයි ද, ‘කාය සංස්කාර නම් වූ ආශ්වාසය සංසිඳුවමින් හුස්ම ගන්නෙමි’ යි පුහුණු වෙයි ද, ‘කාය සංස්කාර නම් වූ ප්‍රශ්වාසය සංසිඳුවමින් හුස්ම හෙලන්නෙමි’ යි පුහුණු වෙයි ද, ආනන්දයෙනි, භික්ෂුව ඒ අවස්ථාවෙහි කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. එයට හේතුව කුමක් ද? ආනන්දයෙනි, යම් මේ හුස්ම ගැනීමක්, හුස්ම හෙලීමක් ඇද්ද, මෙය එක්තරා කයක් යැයි මම කියමි. එහෙයින් ආනන්දයෙනි, ඒ අවස්ථාවෙහි භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි.

ආනන්දයෙනි, යම් අවස්ථාවක භික්ෂුවක් ප්‍රීතියට සංවේදී වෙමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, ප්‍රීතියට සංවේදී වෙමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, සැපයට සංවේදී වෙමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, සැපයට සංවේදී වෙමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, සංඥා වේදනා යන චිත්ත සංස්කාරයන්ට සංවේදී වෙමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, සංඥා වේදනා යන චිත්ත සංස්කාරයන්ට සංවේදී වෙමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, ආනන්දයෙනි, භික්ෂුව ඒ අවස්ථාවෙහි කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. එයට හේතුව කුමක් ද? ආනන්දයෙනි, යම් මේ හුස්ම ගැනීම, හුස්ම හෙලීම මනාකොට මෙනෙහි කිරීමක් ඇද්ද, මෙය එක්තරා විඳීමක් යැයි මම කියමි. එහෙයින් ආනන්දයෙනි, ඒ අවස්ථාවෙහි භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි.

ආනන්දයෙනි, යම් අවස්ථාවකදී භික්ෂුවක් සිත හා සංවේදී වෙමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, සිත හා සංවේදී වෙමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, සිත ප්‍රමුදිත කරවමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, සිත ප්‍රමුදිත කරවමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, සිත තැන්පත් කරවමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, සිත තැන්පත් කරවමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, නීවරණයන්ගෙන් සිත මුදවමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, නීවරණයන්ගෙන් සිත මුදවමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, ආනන්දයෙනි, භික්ෂුව ඒ අවස්ථාවෙහි කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. එයට හේතුව කුමක් ද? ආනන්දයෙනි, මුලා සිහි ඇති, නුවණ නැති කෙනා හට ආනාපානසති සමාධිය වැඩීමට මම නොකියමි. එහෙයින් ආනන්දයෙනි, ඒ අවස්ථාවෙහි භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි.

ආනන්දයෙනි, යම් අවස්ථාවකදී භික්ෂුවක් අනිත්‍ය අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, අනිත්‍ය අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, නොඇල්ම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, නොඇල්ම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, ඇල්ම නිරුද්ධ වීම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, ඇල්ම නිරුද්ධ වීම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි ද, ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි ද, ආනන්දයෙනි, භික්ෂුව ඒ අවස්ථාවෙහි කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. ඇලීම් ගැටීම්වල යම් ඒ ප්‍රහාණයක් ඇද්ද, ඒ භික්ෂුව එය ප්‍රඥාවෙන් දැක දැක මනාකොට මැදහත් බවට පත්වෙයි. එහෙයින් ආනන්දයෙනි, ඒ අවස්ථාවෙහි භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. සතරමං සන්ධියක මහත් පස් ගොඩක් වෙයි. ඉදින් පූර්ව දිශාවෙනුත් ගැලක් හෝ රියක් හෝ එන්නේ නම්, ඒ පස් ගොඩ මඬින්නේ ම ය. ඉදින් පශ්චිම දිශාවෙනුත් ….(පෙ)…. ඉදින් උතුරු දිශාවෙනුත් ….(පෙ)…. ඉදින් දකුණු දිශාවෙනුත් ගැලක් හෝ රියක් හෝ එන්නේ නම්, ඒ පස් ගොඩ මඬින්නේ ම ය. එසෙයින් ම ආනන්දයෙනි, භික්ෂුවක් කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරන විට ද, පාපී අකුසල ධර්මයන් නසන්නේ ම ය. වේදනාවන් පිළිබඳ ව ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරනට විට ද, පාපී අකුසල ධර්මයන් නසන්නේ ම ය.

සාදු! සාදු!! සාදු!!!

කිම්බිල සූත්‍රය නිමා විය.

පළමුවෙනි ඒකධම්ම වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ඒකධම්ම සූත්‍රය, බොජ්ඣංග සූත්‍රය, සුද්ධක සූත්‍රය, ඵල සූත්‍ර දෙක, අරිට්ඨ සූත්‍රය, කප්පින සූත්‍රය, දීප සූත්‍රය, අසුභ සූත්‍රය සහ කිම්බිල සූත්‍රය වශයෙන් සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_10-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M