සංයුත්ත නිකාය

මහා වග්ගෝ

10.1.6. අරිට්ඨ සුත්තං

10.1.6. අරිට්ඨ තෙරුන්ට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය. …….

“මහණෙනි, ඔබලා ආනාපානසතිය දියුණු කරව් ද?” මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් අරිට්ඨ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකලහ.

“ස්වාමීනී, මම වනාහී ආනාපානසතිය දියුණු කරමි.”

“අරිට්ඨයෙනි, ඔබ කෙසේ නම් ආනාපානසතිය දියුණු කරන්නෙහි ද?”

“ස්වාමීනී, අතීත කාමයන් පිළිබඳ ව මාගේ කාමච්ඡන්දය ප්‍රහාණය වූයේ ය. අනාගත කාමයන් පිළිබඳ ව මාගේ කාමච්ඡන්දය දුරු වූයේ ය. ආධ්‍යාත්මික බාහිර ආයතනයන් තුළින් ඇතිවන කරුණුවල දී මාගේ පටිඝ සංඥාව මුළුමනින් ම නසන ලද්දේ ය. ඒ මම සිහියෙන් ම හුස්ම ගනිමි. සිහියෙන් හුස්ම හෙළමි. ස්වාමීනී, මම වූ කලී මෙසේ ආනාපානසතිය වඩමි.”

“අරිට්ඨයෙනි, මෙබඳු ආනාපානසතියක් ඇත්තේ ය. මෙය නැතැයි නොකියමි. නමුත් අරිට්ඨයෙනි, ආනාපානසතිය යම් අයුරකින් විස්තර වශයෙන් සම්පූර්ණ වෙයි නම් එය අසව. ….(පෙ)…. අරිට්ඨයෙනි, ආනාපානසතිය විස්තර වශයෙන් සම්පූර්ණ වන්නේ කෙසේ ද? අරිට්ඨයෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයට ගියේ හෝ රුක්සෙවණට ගියේ හෝ ….(පෙ)…. ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි. අරිට්ඨයෙනි, ආනාපානසතිය වනාහී මේ අයුරින් විස්තර වශයෙන් සම්පූර්ණ වෙයි.”

සාදු! සාදු!! සාදු!!!

අරිට්ඨ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_10-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M