සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.16.1.-16. ඕඝ සූත්‍රයෝ

1.16.1.-16. සැඩ පහර ගැන වදාළ දෙසුම්

මහණෙනි, මේ ඕඝ සතරකි. ඒ කවර සතරක් ද යත්; කාමය නම් වූ සැඩ පහර ය, භවය නම් වූ සැඩ පහර ය, දෘෂ්ටි නම් වූ සැඩ පහර ය. අවිද්‍යාව නම් වූ සැඩ පහර ය. මහණෙනි, මේ වනාහී ඕඝ සතර යි. මහණෙනි, මේ සතර ඕඝයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය. කවර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි. මහණෙනි, මේ සතර ඕඝයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය.

(ඒසනා සූත්‍ර සෙයින් සියල්ල විස්තර කළ යුත්තේ ය.)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-16-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M