සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.15.145.-160. තණ්හා සූත්‍රයෝ

1.15.145.-160. තණ්හාව ගැන වදාළ දෙසුම්

මහණෙනි, මේ තණ්හා තුනකි. ඒ කවර තුනක් ද යත්; කාම තණ්හාව ය, භව තණ්හාව ය, විභව තණ්හාව ය. මහණෙනි, මේ වනාහී තණ්හා තුන යි. මහණෙනි, මේ තණ්හා තුන විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය. කවර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි. මහණෙනි, මේ තණ්හා තුන විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය.

(ඒසනා සූත්‍ර සෙයින් සියල්ල විස්තර කළ යුත්තේ ය.)

පහළොස් වෙනි ඒසනා වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා වශයෙන් සොළොස් අයුරින් දසයකි. හෙවත් සූත්‍ර එකසිය හැටකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-15-145/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M