මහණෙනි, හිමාල පර්වත රාජයා ඇසුරු කොට නාගයෝ කය වර්ධනය කරගනිති. බලය වැඩි කරගනිති. ඔවුහු එහි කය වඩා, බලය වැඩිකොට ගෙන කුඩා දිය වළට බසිති. කුඩා දිය වළට බැස මහා දිය වළට බසිති. මහා දිය වළට බැස කුඩා ගංගාවලට බසිති. කුඩා ගංගාවලට බැස මහා ගංගාවලට බසිති. මහා ගංගාවලට බැස මහා සමුද්‍රය නම් වූ සාගරයට බසිති. එහිදී ඔවුහු කයෙන් විශාලත්වයට ත්, විපුලත්වයට ත් යම් සේ පැමිණෙන්නාහු ද, එසෙයින් ම මහණෙනි, භික්ෂුවක් සීලය නිසා, සීලයෙහි පිහිටා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල කරන්නේ, බෝධිපාක්ෂික ධර්මයන් තුළ මහත් සේ දියුණු වී, විපුල බවට පත්වෙයි.
මහණෙනි, භික්ෂුව සීලය නිසා, සීලයෙහි පිහිටා බෝධි පාක්ෂික ධර්මයන් තුළ මහත් සේ දියුණු වී, විපුල බවට පත්වන ලෙසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි.
මහණෙනි, භික්ෂුව සීලය නිසා, සීලයෙහි පිහිටා බෝධි පාක්ෂික ධර්මයන් තුළ මහත් සේ දියුණු වී, විපුල බවට පත්වන ලෙසින් මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරයි. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-14-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M