සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.14.13.-16. රුක්ඛ සූත්‍රයෝ

1.14.13.-16. රුක් ගැන වදාළ දෙසුම්

මහණෙනි, යම් සේ වෘක්ෂයක් පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී, පෙරදිගට බර වී තිබෙයි නම්, ඒ වෘක්ෂය මුලින් සිඳින කල්හී වැටෙන්නේ කවර ප්‍රපාතයකට ද? ‘ස්වාමීනී, වෘක්ෂය යම් දෙසකට නැමුණේ ද, යම් දෙසකට නැඹුරු වූයේ ද, යම් දෙසකට බර වූයේ ද, එදෙසට ය.’ එසෙයින් ම මහණෙනි, භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල කරන්නේ, නිවනට නැමුණේ වෙයි. නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.

මහණෙනි, භික්ෂුව නිවනට නැමී, නිවනට නැඹුරු වී, නිවනට බර වී ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි.

මහණෙනි, භික්ෂුව නිවනට නැමී, නිවනට නැඹුරු වී, නිවනට බර වී මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරයි. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-14-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M