සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.14.17.-20. කුම්භ සූත්‍රයෝ

1.14.17.-20. කළය ගැන වදාළ දෙසුම්

මහණෙනි, යම් සේ කළයක් යටට හැර වූ විට දිය වගුරුවන්නේ ම වෙයි. ඒ වගුරුවන දිය යළි ඇතුළට නොගනියි. එසෙයින් ම මහණෙනි, භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල කරන්නේ, පාපී අකුසල ධර්මයන් වමාරන්නේ ම වෙයි. ඒ වමාරන ලද දෙය යළි ඇතුළට නොගන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව කෙසේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ, පාපී අකුසල ධර්මයන් වමාරන්නේ ම වෙයි ද? නැවත ඇතුළට නොගන්නේ වෙයි ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි.

මහණෙනි, භික්ෂුව මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ, මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ පාපී අකුසල ධර්මයන් වමාරන්නේ ම වෙයි. යළි ඇතුළට නොගන්නේ ම වෙයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-14-17/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M