සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.14.21.-24. සූක සූත්‍රයෝ

1.14.21.-24. නණ්ඩුව ගැන වදාළ දෙසුම්

මහණෙනි, යම් සේ හැල් නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ නිසි අයුරින් තැබුවොත් අතින් හෝ පයින් හෝ ඇක්මුන විට අත හෝ පය හෝ බිඳෙන්නේ ය, ලේ හෝ උපදවන්නේ ය යන කරුණ සිදුවිය හැකි දෙයකි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, නණ්ඩුව නිසි අයුරින් තබන ලද නිසා ය. එසෙයින් මහණෙනි, නිසි අයුරින් පිහිටුවා ගත් දෘෂ්ටියකින්, නිසි අයුරින් පිහිටුවා දියුණු කරගත් මාර්ගයකින් ඒ භික්ෂුව ඒකාන්තයෙන් අවිද්‍යාව බිඳින්නේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිවන සාක්ෂාත් කරන්නේ ය යන කරුණ විය හැකි දෙයකි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, නිසි අයුරින් දෘෂ්ටිය පිහිටුවා ගත් නිසා ය.

මහණෙනි, භික්ෂුවක් නිසි අයුරින් පිහිටුවා ගත් දෘෂ්ටියකින්, නිසි අයුරින් පිහිටුවා ගත් මාර්ගයක් දියුණු කිරීමෙන් අවිද්‍යාව බිඳ දමන්නේ, විද්‍යාව උපදවන්නේ, නිවන සාක්ෂාත් කරන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි.

මහණෙනි, භික්ෂුවක් නිසි අයුරින් පිහිටුවා ගත් දෘෂ්ටියකින්, නිසි අයුරින් පිහිටුවා ගත් මාර්ගයක් දියුණු කිරීමෙන් අවිද්‍යාව බිඳ දමන්නේ, විද්‍යාව උපදවන්නේ, නිවන සාක්ෂාත් කරන්නේ මෙසේ ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-14-21/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M