සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.1.9. සූක සුත්තං

1.1.9. නණ්ඩුව උපමා කොට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය………..

මහණෙනි, එය මෙබඳු දෙයකි. හැල් නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ වැරදි අයුරින් තබන ලද්දේ නම් අතින් හෝ පයින් හෝ මැඩුණු කල්හී අත හෝ පය හෝ තුවාල වේ ය, ලේ මතු වන්නේ ය යන කරුණ සිදුවන්නට හේතුවක් නැත්තේ ය. මක් නිසාද යත්, මහණෙනි, නණ්ඩුව තබන ලද්දේ වැරදි ක්‍රමයට නිසා ය.

ඒ අයුරින් ම මහණෙනි, වැරදි ලෙස ඇති කරගත් දෘෂ්ටියකින්, වැරදි ලෙස පිහිටුවා ගත් මාර්ගයක් ප්‍රගුණ කිරීමෙන් භික්ෂුව අවිද්‍යාව බිඳින්නේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිවන අත්දකින්නේ ය යන කරුණ සිදුවන්නට හේතුවක් නැත්තේ ය. මක් නිසාද යත්, තමා දෘෂ්ටිය වරදවා පිහිටුවා ගත් නිසා ය.

මහණෙනි, එය මෙබඳු දෙයකි. හැල් නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ නිසි අයුරින් තබන ලද්දේ නම් අතින් හෝ පයින් හෝ මැඩුණු කල්හී අත හෝ පය හෝ තුවාල වේ ය, ලේ මතු වන්නේ ය යන කරුණ සිදුවිය හැකි කරුණකි. මක් නිසාද යත්, මහණෙනි, නණ්ඩුව තබන ලද්දේ නිවැරදි ක්‍රමයට නිසා ය.

ඒ අයුරින් ම මහණෙනි, නිවැරදි ලෙස ඇති කරගත් දෘෂ්ටියකින්, නිවැරදි ලෙස පිහිටුවා ගත් මාර්ගයක් ප්‍රගුණ කිරීමෙන් භික්ෂුව අවිද්‍යාව බිඳින්නේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිවන අත්දකින්නේ ය යන කරුණ සිදුවන දෙයකි. මක් නිසාද යත්, තමා දෘෂ්ටිය නිවැරදි ව පිහිටුවා ගත් නිසා ය.

මහණෙනි, නිවැරදි ලෙස පිහිටුවා ගත් දෘෂ්ටියකින්, නිවැරදි ලෙස පිහිටුවා ගත් මාර්ගයක් ප්‍රගුණ කිරීමෙන්, භික්ෂුව අවිද්‍යාව බිඳින්නේ ත්, විද්‍යාව උපදවන්නේ ත්, නිවන අත්දකින්නේ ත් කෙසේද?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුක්ත ව, විරාගී සිතින් යුක්ත ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුක්ත ව, නිවනට නැඹුරු වූ සිතින් යුක්ත ව, නිවැරදි දෘෂ්ටිය තමා තුළ දියුණු කරගනියි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුක්ත ව, විරාගී සිතින් යුක්ත ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුක්ත ව, නිවනට නැඹුරු වූ සිතින් යුක්ත ව, නිවැරදි චිත්තේකාග්‍රතාව තමා තුළ දියුණු කරගනියි.

මහණෙනි, නිවැරදි ලෙස පිහිටුවා ගත් දෘෂ්ටියකින්, නිවැරදි ලෙස පිහිටුවා ගත් මාර්ගයක් ප්‍රගුණ කිරීමෙන්, භික්ෂුව අවිද්‍යාව බිඳින්නේ ත්, විද්‍යාව උපදවන්නේ ත්, නිවන අත්දකින්නේ ත් ඔය අයුරිනි.”

සාදු! සාදු!! සාදු!!!

සූක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M