සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.1.8. විභංග සුත්තං

1.1.8. විග්‍රහ කොට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය………..

“මහණෙනි, ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දෙසන්නෙමි. විග්‍රහ කොට පවසන්නෙමි. එව අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු කුමක්ද? එනම් නිවැරදි දෘෂ්ටිය ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවය යන මෙය යි. මහණෙනි, නිවැරදි දෘෂ්ටිය යනු කුමක්ද? මහණෙනි, දුක පිළිබඳ ව යම් අවබෝධ ඥානයක් ඇද්ද, දුකෙහි හටගැනීම පිළිබඳ ව යම් අවබෝධ ඥානයක් ඇද්ද, දුක නිරුද්ධ වීම පිළිබඳ ව යම් අවබෝධ ඥානයක් ඇද්ද, දුක නිරුද්ධ වීම කරා ගෙන යන ප්‍රතිපදාව පිළිබඳ ව යම් අවබෝධ ඥානයක් ඇද්ද, මහණෙනි, මෙය නිවැරදි දෘෂ්ටිය යැයි කියනු ලැබේ.

මහණෙනි, නිවැරදි සංකල්පනා යනු කුමක් ද? මහණෙනි, අකුසලයන් ගෙන් නික්මී ගිය යම් කල්පනාවක් ඇද්ද, ද්වේෂයෙන් තොර වූ යම් කල්පනාවක් ඇද්ද, හිංසාවෙන් තොර වූ යම් කල්පනාවක් ඇද්ද, මහණෙනි, මෙය නිවැරදි සංකල්පනා යැයි කියනු ලැබේ.

මහණෙනි, නිවැරදි වචන භාවිතය යනු කුමක් ද? මහණෙනි, යම් සත්‍යය නොවන දේ පැවසීමෙන් වැළකී සිටීමක් ඇද්ද, කේලාම් කීමෙන් වැළකී සිටීමක් ඇද්ද, දරුණු වචන පැවසීමෙන් වැළකී සිටීමක් ඇද්ද, නිසරු දේ පැවසීමෙන් වැළකී සිටීමක් ඇද්ද, මහණෙනි, මෙය නිවැරදි වචන භාවිතය යැයි කියනු ලැබේ.

මහණෙනි, නිවැරදි කායික ක්‍රියා යනු කුමක් ද? මහණෙනි, සත්ව ඝාතනයෙන් යම් වැළකීමක් ඇද්ද, නුදුන් දේ ගැනීමෙන් යම් වැළකීමක් ඇද්ද, බඹසරට හානිවන හැසිරීමෙන් යම් වැළකීමක් ඇද්ද, මහණෙනි, මෙය නිවැරදි කායික ක්‍රියා යැයි කියනු ලැබේ.

මහණෙනි, නිවැරදි ජීවිකාව යනු කුමක්ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා වැරදි ජීවිකාව ඇත්හැර නිවැරදි ජීවිකාවෙන් දිවි ගෙවයි. මහණෙනි, මෙය නිවැරදි ජීවිකාව යැයි කියනු ලැබේ.

මහණෙනි, නිවැරදි වීර්යය යනු කුමක්ද? මහණෙනි, මෙහිලා භික්ෂුව තමා තුළ නූපන් පවිටු අකුසල් දහම් නොහටගනු වස් කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිතින් දැඩි උත්සාහයක යෙදෙයි. දැඩි උත්සාහයක් සිතෙහි තර ව පිහිටුවා ගනියි.

තමා තුළ හටගත් පවිටු අකුසල් දහම් දුරැලීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිතින් දැඩි උත්සාහයක යෙදෙයි. දැඩි උත්සාහයක් සිතෙහි තර ව පිහිටුවා ගනියි.

තමා තුළ පහළ නොවූ කුසල් දහම් උපදවා ගැනීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිතින් දැඩි උත්සාහයක යෙදෙයි. දැඩි උත්සාහයක් සිතෙහි තර ව පිහිටුවා ගනියි.

තමා තුළ පහළ කරගත් කුසල් දහම් පවත්වා ගැනීම පිණිස ත්, එය අමතක නොවනු පිණිස ත්, වැඩි දියුණු වීම පිණිස ත්, වඩාත් දියුණු වීම පිණිස ත්, යළි යළි ප්‍රගුණ කොට සම්පූර්ණ කරගැනීම පිණිස ත් කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිතින් දැඩි උත්සාහයක යෙදෙයි. දැඩි උත්සාහයක් සිතෙහි තර ව පිහිටුවා ගනියි. මහණෙනි, මෙය නිවැරදි වීර්යය යැයි කියනු ලැබේ.

මහණෙනි, නිවැරදි සිහිය යනු කුමක්ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් පෙළන වීර්යයෙන් යුක්ත ව නුවණ මැනැවින් යොදමින්, සිහිය මැනැවින් පවත්වමින් තම ලෝකයෙහි ඇති ලෝභය ත්, දොම්නස ත් දුරු කොට කය පිළිබඳ ව කායානුපස්සනා භාවනාවෙන් කල් ගෙවයි.

කෙලෙස් පෙළන වීර්යයෙන් යුක්ත ව නුවණ මැනැවින් යොදමින්, සිහිය මැනැවින් පවත්වමින් තම ලෝකයෙහි ඇති ලෝභය ත්, දොම්නස ත් දුරු කොට විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනා භාවනාවෙන් කල් ගෙවයි.

කෙලෙස් පෙළන වීර්යයෙන් යුක්ත ව නුවණ මැනැවින් යොදමින්, සිහිය මැනැවින් පවත්වමින් තම ලෝකයෙහි ඇති ලෝභය ත්, දොම්නස ත් දුරු කොට සිත පිළිබඳ ව චිත්තානුපස්සනා භාවනාවෙන් කල් ගෙවයි.

කෙලෙස් පෙළන වීර්යයෙන් යුක්ත ව නුවණ මැනැවින් යොදමින්, සිහිය මැනැවින් පවත්වමින් තම ලෝකයෙහි ඇති ලෝභය ත්, දොම්නස ත් දුරු කොට ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනා භාවනාවෙන් කල් ගෙවයි. මහණෙනි, මෙය නිවැරදි සිහිය යැයි කියනු ලැබෙයි.

මහණෙනි, නිවැරදි චිත්තේකාග්‍රතාවය යනු කුමක්ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව, අකුසල් දහමින් වෙන් ව, විතර්ක සහිත ව, විචාර සහිත ව, විවේකයෙන් උපන් ප්‍රීතිය සහ සුඛය ඇති පළමු ධ්‍යානයට සමවැදී වාසය කරයි.

විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, සිත තුළ මහත් සුපහන් බවින් යුතුව, සිතෙහි එකඟ බවින් යුතුව, විතර්ක රහිත ව, විචාර රහිත ව, සමාධියෙන් උපන් ප්‍රීතිය සහ සුඛය ඇති දෙවෙනි ධ්‍යානයට සම වැදී වාසය කරයි.

ප්‍රීතියට ඇති ඇල්ම දුරු කිරීමෙන් උපේක්ෂාවෙන් යුතුව වාසය කරයි. සිහියෙන් යුතුව මනා නුවණින් යුතුව කයින් සුවයක් ද විඳියි. ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් සහ සිහියෙන් යුතු සුඛ විහරණය තිබෙන්නේ යැයි යම් ධ්‍යානයකට කියත් ද, ඒ තුන්වෙනි ධ්‍යානයට සමවැදී වාසය කරයි.

සුඛය ද නැතිවීමෙන්, දුක ද නැතිවීමෙන් කලින් ම සොම්නස්, දොම්නස් ගෙවා දැමීමෙන් දුක් සැප රහිත වූ උපේක්ෂාව සහ සිහියෙන් යුතු පාරිශුද්ධ වූ සිව්වෙනි ධ්‍යානයටත් සමවැදී වාසය කරයි. මහණෙනි, මෙය නිවැරදි චිත්තේකාග්‍රතාවය යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

විභංග සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M