සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.1.7. දුතිය භික්ඛු සුත්තං

1.1.7. එක්තරා භික්ෂුවකට වදාළ දෙවන දෙසුම

සැවැත් නුවර දී ය………..

එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනි, ‘රාගය දුරැලීම ය, ද්වේෂය දුරැලීම ය, මෝහය දුරැලීම ය’ යනුවෙන් කියනු ලැබේ. ස්වාමීනී, රාගය දුරැලීම යනු, ද්වේෂය දුරැලීම යනු, මෝහය දුරැලීම යනු කුමකට කියන නමක් ද?”

“භික්ෂුව, රාගය දුරැලීම යනු, ද්වේෂය දුරැලීම යනු, මෝහය දුරැලීම යනු නිර්වාණ ධාතුවට කියන නමකි. එකරුණෙන් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම යනුවෙනුත් කියනු ලැබේ.”

මෙසේ වදාළ කල්හී ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය විමසූයේ ය.

“ස්වාමීනී, ‘අමෘතය, අමෘතය’ යැයි කියනු ලැබේ. ස්වාමීනී, අමෘතය යනු කුමක් ද? අමෘතය කරා ගෙන යන මාර්ගය කුමක් ද?”

“භික්ෂුව යම් රාගය ක්ෂය වීමක් ඇද්ද, ද්වේෂය ක්ෂය වීමක් ඇද්ද, මෝහය ක්ෂය වීමක් ඇද්ද මෙය අමෘතය යැයි කියනු ලැබේ. යම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇද්ද අමෘතය කරා ගෙන යන මාර්ගය යනු මෙයයි. එනම් නිවැරදි දෘෂ්ටිය ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවය යි.”

සාදු! සාදු!! සාදු!!!

දුතිය භික්ඛු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M