සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.1.5. කිමත්ථිය සුත්තං

1.1.5. කුමක් සඳහා ද යන්න වදාළ දෙසුම

සැවැත් නුවර දී ය………..

එකල්හී බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද එතැනට එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළකළහ.

“ස්වාමීනී, මෙහි අන්‍යතීර්ථක පරිබ්‍රාජකවරු අපගෙන් මෙසේ විමසත්. ‘ආයුෂ්මත, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශාසනයෙහි බඹසර හැසිරෙන්නේ කුමක් සඳහා ද?’ යනුවෙනි. මෙසේ විමසූ විට ස්වාමීනී, අපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකවරු හට මෙලෙස පිළිතුරු දෙමු. ‘ආයුෂ්මත, දුක පිරිසිඳ අවබෝධ කරගැනීම සඳහායි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි බඹසර හැසිරෙන්නේ’ යි.”

“කිම? ස්වාමීනී, එසේ විමසූ කල්හී අපි ඔය අයුරින් පිළිතුරු දෙන්නමෝ භාග්‍යවතුන් වහන්සේ වදාළ දැයක් ම කියන්නමෝ වෙමු ද? භාග්‍යවතුන් වහන්සේට අසත්‍යයකින් චෝදනා නොකරන්නමෝ ද? කරුණු සහිත කොට පැවසූ දෙයක් ඉදිරියෙහි එය ගැරහිය යුතු දෙයක් බවට පත් නොවන්නේ ද?”

“මහණෙනි, ඒකාන්තයෙන් ම එසේ විමසූ කල්හී ඔය අයුරින් පිළිතුරු දෙන ඔබ මවිසින් පැවසූ දෙයක් කීවහු ය. මා හට අසත්‍ය කරුණෙකින් චෝදනා නොකළාහු ය. ධර්මයට අනුගත වූවක් ම කීවාහු ය. කරුණ සහිත කොට පැවසූ දෙයක් ඉදිරියේ එය ගැරහිය යුතු තැනකට නොපත් වන්නේ ය.

මහණෙනි, මාගේ සසුනෙහි බඹසර හැසිරෙන්නේ දුක් පිරිසිඳ අවබෝධ කිරීම සඳහා ම ය. යම් හෙයකින් මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ ත් අසත් නම් ‘ආයුෂ්මත, මේ දුකෙහි පිරිසිඳ අවබෝධය පිණිස කිසියම් මාර්ගයක් තිබේද? ප්‍රතිපදාවක් තිබේදැ?’ යි. මහණෙනි, මෙසේ විමසන ලද ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් හට ඔබ මේ අයුරින් පිළිවදන් දෙව්. ‘ආයුෂ්මත, මේ දුකෙහි පිරිසිඳ අවබෝධය පිණිස මාර්ගයක් ඇත්තේ ම ය. ප්‍රතිපදාවක් ඇත්තේ ම ය’ යි.

මහණෙනි, මේ දුකෙහි පිරිසිඳ අවබෝධ කිරීම සඳහා ඇති මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද? එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එනම් නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පනාවන් ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියාවන් ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි වීර්ය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව තිබෙන්නේ දුක පිරිසිඳ අවබෝධ කරගනු පිණිස ම ය. මහණෙනි, එසේ විමසන ලද ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට ඔබ මෙසේ පිළිතුරු දෙව්.

සාදු! සාදු!! සාදු!!!

කිමත්ථිය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M