සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.1.4. බ්‍රාහ්මණ සුත්තං

1.1.4. බ්‍රාහ්මණයෙකු මුල්කොට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය………..

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ උදේ වරුවෙහි සිවුර මැනැවින් පොරොවා පාත්‍රය සහ සඟල සිවුර ගෙන සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියහ. එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මුළුමනින් ම සුදු පැහැයෙන් යුතු වෙළඹුන් යෙදූ රථයෙන් සැවැත් නුවරින් නික්ම යන ජාණුස්සෝණි බ්‍රාහ්මණයා දුටහ. ඒ රථයෙහි යොදවනු ලැබූ සුදු පැහැ අශ්වයෝ සුදු පැහැ පළඳනා ඇත්තාහු ය. සුදු පැහැ ගත් රථය සුදු පැහැ පරිවාර උපකරණ සහිත ය. රැහැන් පට ද සුදු ය. කෙවිට ද සුදු ය. ඡත්‍රය ද සුදු ය. ඔහු පැළැඳි නළල් පට ද සුදු ය. හැඳි වස්ත්‍ර ද සුදු ය. පැළැඳි පාවහන් ද සුදු ය. ඔහුට පවන් සළනුයේ ඉතා සුදු සෙමෙරයකිනි. එකල්හී මොහු දකින මහජන තෙමේ මෙසේ කියයි. ‘භවත්නි, සැබැවින් ම බ්‍රහ්ම යානයක් නොවැ. භවත්නි, සැබැවින් ම මහා බඹහුගේ රථය වැනි නොවැ’යි.

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සැවැතෙහි පිඬු පිණිස පිවිස දානයෙන් පසු පිණ්ඩපාතයෙන් වැළකී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළකළහ.

“ස්වාමීනී, මම් මෙහි පෙරවරුවෙහි සිවුරු පොරොවා පාත්‍රය සහ සඟල සිවුර ගෙන සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියෙමි. එකල්හී ස්වාමීනී, මම මුළුමනින් ම සුදු පැහැයෙන් යුතු වෙළඹුන් යෙදූ රථයෙන් සැවැත් නුවරින් නික්ම යන ජාණුස්සෝණි බ්‍රාහ්මණයා දුටුයෙමි. ඒ රථයෙහි යොදවනු ලැබූ සුදු පැහැ අශ්වයෝ සුදු පැහැ පළඳනා ඇත්තාහු ය. සුදු පැහැ ගත් රථය සුදු පැහැ පරිවාර උපකරණ සහිත ය. රැහැන් පට ද සුදු ය. කෙවිට ද සුදු ය. ඡත්‍රය ද සුදු ය. ඔහු පැළැඳි නළල් පට ද සුදු ය. හැඳි වස්ත්‍ර ද සුදු ය. පැළැඳි පාවහන් ද සුදු ය. ඔහුට පවන් සළනුයේ ඉතා සුදු සෙමෙරයකිනි. එකල්හී මොහු දකින මහජන තෙමේ මෙසේ කියයි. ‘භවත්නි, සැබැවින් ම බ්‍රහ්ම යානයක් නොවැ. භවත්නි, සැබැවින් ම මහා බඹහුගේ රථය වැනි නොවැ’යි. ස්වාමීනී, මේ බුද්ධ ශාසනයෙහි ත්, බ්‍රහ්ම යානයක් පණවන්නට හැකි සේක් ද?”

“පුළුවනි, ආනන්දයෙනි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“ආනන්දයෙනි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ම ‘බ්‍රහ්ම යානය’ යන නම ඇත්තේ ය. ‘ධර්ම යානය’ යන නම ඇත්තේ ය. ‘මාර යුද්ධය ජයගත් අනුත්තරීය දෙය’ යන නම ඇත්තේ ය. ආනන්දයෙනි, තමා තුළ දියුණුවට පත් කළ, බහුල බවට පත් කළ නිවැරදි දෘෂ්ටිය රාගය දුරු කරලීමෙන් නිමාවට යයි. ද්වේෂය දුරු කරලීමෙන් නිමාවට යයි. මෝහය දුරු කරලීමෙන් නිමාවට යයි.

ආනන්දයෙනි, තමා තුළ දියුණුවට පත් කළ, බහුල බවට පත් කළ නිවැරදි කල්පනා කිරීම් රාගය දුරු කරලීමෙන් නිමාවට යයි. ද්වේෂය දුරු කරලීමෙන් නිමාවට යයි. මෝහය දුරු කරලීමෙන් නිමාවට යයි.

ආනන්දයෙනි, තමා තුළ දියුණුවට පත් කළ, බහුල බවට පත් කළ නිවැරදි වචන භාවිතය රාගය දුරු කරලීමෙන් නිමාවට යයි. ද්වේෂය දුරු කරලීමෙන් නිමාවට යයි. මෝහය දුරු කරලීමෙන් නිමාවට යයි.

ආනන්දයෙනි, තමා තුළ දියුණුවට පත් කළ, බහුල බවට පත් කළ නිවැරදි කායික ක්‍රියා රාගය දුරු කරලීමෙන් නිමාවට යයි. ද්වේෂය දුරු කරලීමෙන් නිමාවට යයි. මෝහය දුරු කරලීමෙන් නිමාවට යයි.

ආනන්දයෙනි, තමා තුළ දියුණුවට පත් කළ, බහුල බවට පත් කළ නිවැරදි ජීවිකාව රාගය දුරු කරලීමෙන් නිමාවට යයි. ද්වේෂය දුරු කරලීමෙන් නිමාවට යයි. මෝහය දුරු කරලීමෙන් නිමාවට යයි.

ආනන්දයෙනි, තමා තුළ දියුණුවට පත් කළ, බහුල බවට පත් කළ නිවැරදි වීර්යය රාගය දුරු කරලීමෙන් නිමාවට යයි. ද්වේෂය දුරු කරලීමෙන් නිමාවට යයි. මෝහය දුරු කරලීමෙන් නිමාවට යයි.

ආනන්දයෙනි, තමා තුළ දියුණුවට පත් කළ, බහුල බවට පත් කළ නිවැරදි සිහිය රාගය දුරු කරලීමෙන් නිමාවට යයි. ද්වේෂය දුරු කරලීමෙන් නිමාවට යයි. මෝහය දුරු කරලීමෙන් නිමාවට යයි.

ආනන්දයෙනි, තමා තුළ දියුණුවට පත් කළ, බහුල බවට පත් කළ නිවැරදි චිත්තේකාග්‍රතාව රාගය දුරු කරලීමෙන් නිමාවට යයි. ද්වේෂය දුරු කරලීමෙන් නිමාවට යයි. මෝහය දුරු කරලීමෙන් නිමාවට යයි.

ආනන්දයෙනි, යම් සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ම ‘බ්‍රහ්ම යානය’ යන නම ඇති බව ත්, ‘ධර්ම යානය’ යන නම ඇති බව ත්, ‘මාර යුද්ධය ජයගත් අනුත්තර වූ දෙය’ යන නම ඇති බව ත් ඔය ක්‍රමයෙනුත් තේරුම් ගත යුතුයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා ඉනික්බිති ව අනිකක් වූ මේ ගාථාවන් ද වදාළ සේක.

(ගාථා:)

1.යමෙකුගේ දහම් රථයෙහි ශ්‍රද්ධාව සහ නුවණ යන මේ ධර්මයන් නිරතුරු ව පෙරට පැමිණ තිබෙයි නම්, පවට ලැජ්ජාව නැමැති රිය හිස සහ මනස නැමැති රැහැන ද ගෙන සිහිය නම් වූ ආරක්ෂක රියැදුරා ද සිටියි නම්,

2.සීලයෙන් මනාව සුසැදි ඒ රථයෙහි ධ්‍යානය නම් කඩඇණයෙන් සිර කරන ලද වීර්යයෙන් කළ රෝදයෝ ඇත්තාහු ය. උපේක්ෂාධුර සමාධිය ඉදිරියට ගෙන රථයේ පිරිවර වශයෙන් තෘෂ්ණා රහිත සිත ඇති ව,

3.ද්වේෂය නැති බව ත්, හිංසා නැති බව ත්, විවේකය ත් යන ආයුධයන් යමෙකුට ඇත්තේ ද, එය ද ගෙන ඉවසීම නම් වූ යුද ඇඳුම ඇඳ කෙලෙසුන් ගෙන් නිදහස් වූ තැන බලා ගමන් කරයි.

4.මේ අයුරින් තමා තුළ අනුත්තර වූ බ්‍රහ්ම යානය උපදවා ගත් විට ප්‍රාඥයෝ මෙලොවින් නික්ම යති. සැබැවින් ම ඔවුන්ට ජයෙන් ජය ම ලැබෙන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

බ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M