සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

8.1.9. කුල සුත්තං

8.1.9. දායක පවුල් ගැන වදාළ දෙසුම

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂු සංඝයා සමඟ කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි වඩිනා අතරතුරදී නාලන්දාව වෙත වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ නාලන්දාවේ පාවාරික අඹ වනයේ තමයි වැඩසිටියේ. ඒ කාලයේ නාලන්දාව දුර්භික්‍ෂයකට මුහුණ දීල තිබුණා. ජීවත් වීමත් සැක සහිත වුණා. කුඹුරු අස්වනු බොල් වීමෙන් සුදු ඇට පෑදුනා. සලාක වලින් යැපෙන තත්වයට පත් වුණා. ඒ දවස්වල ම නිගණ්ඨනාතපුත්ත මහත් වූ නිගණ්ඨ පිරිසත් සමඟ නාලන්දාවේ ම යි වාසය කළේ. එදා නිගණ්ඨ ශ්‍රාවක අසිබන්ධකපුත්ත ගාමණී නිගණ්ඨනාතපුත්ත වෙත පැමිණුනා. පැමිණිලා නිගණ්ඨනාතපුත්තට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ අසිබන්ධකපුත්ත ගාමණීට නිගණ්ඨනාතපුත්ත මෙකරුණ පැවසුවා.

“එම්බා ගාමණී, මෙහෙ එන්න. ඔබ ශ්‍රමණ ගෞතමයන් හට වාදයකින් අභියෝග කරන්න. එතකොට මේ විදිහට ඔබ ගැන කල්‍යාණ වූ කීර්ති ඝෝෂාවක් පැතිර යාවි. ‘මේ සා මහත් ඉර්ධි ඇති, මේ සා මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන් හට අසිබන්ධකපුත්ත ගාමණී විසින් වාදයකින් අභියෝග කළා’ කියලා.” “ස්වාමීනි, මේ සා මහත් ඉර්ධි ඇති, මේ සා මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන් හට මං වාදයකින් අභියෝග කරන්නේ කොහොමද?” “එම්බා ගාමණී, මෙහෙ එන්න. ඔබ ශ්‍රමණ ගෞතමයන් සිටින තැනට යන්න. ගිහින් ශ්‍රමණ ගෞතමයන්ගෙන් මෙහෙම අහන්න. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් දායක පවුල් වලට දයාවන්ත වීම වර්ණනා කරනවා නේද? රැකවරණය වර්ණනා කරනවා නේද? අනුකම්පා කිරීම වර්ණනා කරනවා නේද?’

ඉදින් එම්බා ගාමණී, ඔය විදිහට ඇසූ විට ශ්‍රමණ ගෞතමයන් මේ විදිහට ඔබට උත්තර දේවි. ‘ගාමණී, එසේය. තථාගතයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් දායක පවුල්වලට දයාවන්ත වීම වර්ණනා කරනවා තමයි. රැකවරණය වර්ණනා කරනවා තමයි. අනුකම්පා කිරීම වර්ණනා කරනවා තමයි.’ එතකොට ඔබ මේ විදිහට කියන්න. ‘එහෙමනම් ස්වාමීනී, දුර්භික්‍ෂයක් ඇති කල්හි, ජීවත් වීමටත් සැක ඇති කල්හි, වී ඇට සුදු වී ගිය කාලෙක, කූපන් වලින් යැපෙන කාලෙක භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂු සංඝයා සමඟ අසවල් කරුණකට නම් චාරිකාවේ වඩිනවාද? භාග්‍යවතුන් වහන්සේ දායක පවුල් විනාශ වීම පිණිසයි කටයුතු කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දායක පවුල් පිරිහීම පිණිසයි කටයුතු කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දායක පවුල් පෙළීම පිණිසයි කටයුතු කරන්නේ’ කියලා. එම්බා ගාමණී, ඔබ මේ දෙකෙළවරක් ඇති (උභතෝකෝටික) ප්‍රශ්නය ඇසූ විට ශ්‍රමණ ගෞතමයන්ට වමාරන්ටත් බැරුව යනවා. ගිලගන්ටත් බැරුව යනවා.”

‘එසේය ස්වාමීනී,’ කියලා අසිබන්ධකපුත්ත ගාමණී, නිගණ්ඨනාතපුත්ත හට පිළිතුරු දීල අසුනෙන් නැගිට නිගණ්ඨනාතපුත්තට වන්දනා කොට, පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු අසිබන්ධකපුත්ත ගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් දායක පවුල් වලට දයාවන්ත වීම වර්ණනා කරනවා නේද? රැකවරණය වර්ණනා කරනවා නේද? අනුකම්පා කිරීම වර්ණනා කරනවා නේද?” කියලා. “ගාමණී, එසේය. තථාගතයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් දායක පවුල් වලට දයාවන්ත වීම වර්ණනා කරනවා තමයි. රැකවරණය වර්ණනා කරනවා තමයි. අනුකම්පා කිරීම වර්ණනා කරනවා තමයි.” “එහෙමනම් ස්වාමීනී, දුර්භික්‍ෂයක් ඇති කල්හි, ජීවත් වීමටත් සැක ඇති කල්හි, වී ඇට සුදු වී ගිය කාලෙක, කූපන් වලින් යැපෙන කාලෙක භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂු සංඝයා සමඟ අසවල් කරුණකට නම් චාරිකාවේ වඩිනවාද? භාග්‍යවතුන් වහන්සේ දායක පවුල් විනාශ වීම පිණිසයි කටයුතු කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දායක පවුල් පිරිහීම පිණිසයි කටයුතු කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දායක පවුල් පෙළීම පිණිසයි කටයුතු කරන්නේ.”

“පින්වත් ගාමණී, මා (දැන්) යමක් සිහි කරනවා නම්, ඒ මෙයින් අනූ එක් කල්පයයි. (මේ සා දිගු කාලයක් තුළ පවා) පිසින ලද ආහාර ටිකක් දන් දුන් පමණින්, කිසි දායක පවුලක් පෙර වැනසී ගිය බවක් නම් මා දකින්නේ නෑ. ඒ වගේම යම් මේ පවුල් ආඪ්‍යව, මහාධන ඇතිව, මහා භෝග ඇතිව, බොහෝ රන්රිදී ඇතිව, බොහෝ සැප උපකරණ ඇතිව, බොහෝ ධනධාන්‍ය ඇතිව ඉන්නවා නම්, ඒ සියලු සැප සම්පත් ම දානයෙනුයි හටගෙන තියෙන්නේ. සත්‍ය වචනයෙනුයි හටගෙන තියෙන්නේ. සීල සංයමයෙනුයි හටගෙන තියෙන්නේ.

පින්වත් ගාමණී, පවුල් වල විනාශය පිණිස හේතු අටක් තියෙනවා. ප්‍රත්‍ය අටක් තියෙනවා. රජුගෙනුත් පවුල් විනාශ වෙලා යනවා. සොරුන්ගෙනුත් පවුල් විනාශ වෙලා යනවා. ගින්නෙනුත් පවුල් විනාශ වෙලා යනවා. ජලයෙනුත් පවුල් විනාශ වෙලා යනවා. තැන්පත් ධනය නොලැබී යනවා. වැරදි ලෙස යොදන ලද සේවකයනුත් කටයුතු අත්හරිනවා. යම් කෙනෙක් ඒ භෝග සම්පත් විසුරුවනවා නම්, පිඹ හරිනවා නම්, වනසනවා නම් එබඳු කුල අඟුරක් (වධක දරුවෙක්) පවුල්වල උපදිනවා. අට වැන්න මේ අනිත්‍ය බව ම යි. පින්වත් ගාමණී, පවුල් වල විනාශය පිණිස පවතින්නේ ඔය හේතු අටයි, ප්‍රත්‍ය අටයි. පින්වත් ගාමණී, ඔය හේතු අටත්, ප්‍රත්‍ය අටත් පැහැදිලිව දකින්න ලැබෙද්දීත්, යම් කිසි කෙනෙක් මට මෙහෙම කියනවා නම්, ‘භාග්‍යවතුන් වහන්සේ දායක පවුල් විනාශ වීම පිණිසයි කටයුතු කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දායක පවුල් පිරිහීම පිණිසයි කටයුතු කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දායක පවුල් පෙළීම පිණිසයි කටයුතු කරන්නේ’ කියලා පින්වත් ගාමණී, ඔහු ඒ වචනය අත්නො හැර හිටියොත්, ඒ සිත අත්නො හැර සිටියොත්, ඒ දෘෂ්ටිය අත්නො හැර සිටියොත් ඔසවාගෙන ආ බරක් බිම තබන පරිද්දෙන් නිරයේ තමයි උපදින්නේ.

මෙසේ වදාළ විට අසිබන්ධකපුත්ත ගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළා. ස්වාමීනී, ඉතා සුන්දරයි. ස්වාමීනී, ඉතා සුන්දරයි ….(පෙ)…. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මා පිළිගන්නා සේක්වා.

සාදු ! සාදු !! සාදු !!!

කුල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_8-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M