ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ නාලන්දාවෙහි පාවාරික අඹ වනයෙහි. එදා නිගණ්ඨ ශ්‍රාවක වූ අසිබන්ධකපුත්ත (කඩු බඳින) ගාමණී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණු අසිබන්ධකපුත්ත ගාමණීගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ විමසුවා. පින්වත් ගාමණී, නිගණ්ඨනාතපුත්ත ශ්රාවකයින්ට දහම් දෙසන්නේ කොහොමද?
ස්වාමීනී, නිගණ්ඨනාතපුත්ත ශ්රාවකයින්ට දහම් දෙසන්නේ මේ විදිහටයි. යම් කිසි කෙනෙක් සතුන් මරනවා නම්, ඒ සියලු දෙනා ම අපායට ම යි යන්නේ. නිරයට ම යි යන්නේ. යම් කිසි කෙනෙක් සොරකම් කරනවා නම්, ඒ සියලු දෙනා ම අපායට ම යි යන්නේ. නිරයට ම යි යන්නේ. යම් කිසි කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙනවා නම්, ඒ සියලු දෙනා ම අපායට ම යි යන්නේ. නිරයට ම යි යන්නේ. යම් කිසි කෙනෙක් බොරු කියනවා නම්, ඒ සියලු දෙනාම අපායට ම යි යන්නේ. නිරයට ම යි යන්නේ. බහුල වශයෙන් කරන්නේ යමක්ද, බහුල වශයෙන් කරන්නේ යමක්ද, ඒ අනුව වාසය කරනවා නම්, ඒ ඒ දෙයින් තමයි ඔහු අපාගත වෙන්නේ කියලා. ස්වාමීනී, නිගණ්ඨනාතපුත්ත ශ්රාවකයින්ට දහම් දෙසන්නේ මේ විදිහටයි.
පින්වත් ගාමණී, බහුල වශයෙන් යමක් කරනවා නම්, බහුල වශයෙන් යමක් කරනවා නම්, ඒ අනුව ඉන්නවා නම්, ඒ ඒ දෙයින් අපාගත වෙනවා යන කරුණ ඔය විදිහ නම්, නිගණ්ඨනාතපුත්තගේ වචනය පරිදි කිසි කෙනෙක් අපායට යන්නෙත් නෑ. නිරයට යන්නෙත් නෑ. පින්වත් ගාමණී, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? යම් මේ පුරුෂයෙක් සතුන් මරනවා නම්, රෑ කාලය හෝ දවල් කාලය හෝ කල් නොකල් සළකද්දී ඒ තැනැත්තා යම් කාලයක සතුන් මරයි නම්, යම් කාලයක සතුන් නොමරයි නම්, වැඩි කාලයක් ගත කරන්නේ කොයි විදිහටද?
ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් සතුන් මරනවා නම්, රෑක වේවා, දහවලක වේවා කල් නොකල් සළකද්දී ඔහු සතුන් මරන යම් කාලයක් ඇත්නම් ඒ කාලය ස්වල්පයයි. නමුත් ඔහු යම් කාලයක් සතුන් නොමරයි නම් ඒ කාලය තමයි ඉතා වැඩි. පින්වත් ගාමණී, එතකොට ඔහොම නම් තියෙන්නේ යමක් බහුල වශයෙන් කරමින් යමක් බහුල වශයෙන් කරමින් වාසය කරන විට ඒ ඒ දෙයින් අපායට පමුණුවනවාය යන නිගණ්ඨනාතපුත්ත ගේ වචනයට අනුව කවුරුවත් අපායෙ යන්නෙත් නෑ. නිරයෙ යන්නෙත් නෑ.
පින්වත් ගාමණී, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? යම් මේ පුරුෂයෙක් සොරකම් කරනවා නම්, රෑ කාලය හෝ දවල් කාලය හෝ කල් නොකල් සළකද්දී ඒ තැනැත්තා යම් කාලයක සොරකම් කරයි නම්, යම් කාලයක සොරකම් නොකරයි නම්, වැඩි කාලයක් ගත කරන්නේ කොයි විදිහටද? ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් සොරකම් කරනවා නම්, රෑක වේවා, දහවලක වේවා කල් නොකල් සළකද්දී ඔහු සොරකම් කරන යම් කාලයක් ඇත්නම් ඒ කාලය ස්වල්පයයි. නමුත් ඔහු යම් කාලයක් සොරකම් නොකරයි නම් ඒ කාලය තමයි ඉතා වැඩි. පින්වත් ගාමණී, එතකොට ඔහොම නම් තියෙන්නේ යමක් බහුල වශයෙන් කරමින් යමක් බහුල වශයෙන් කරමින් වාසය කරන විට ඒ ඒ දෙයින් අපායට පමුණුවනවාය යන නිගණ්ඨනාතපුත්තගේ වචනයට අනුව කවුරුවත් අපායෙ යන්නෙත් නෑ. නිරයෙ යන්නෙත් නෑ.
පින්වත් ගාමණී, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? යම් මේ පුරුෂයෙක් කාමයෙහි වරදවා හැසිරෙනවා නම්, රෑ කාලය හෝ දවල් කාලය හෝ කල් නොකල් සළකද්දී ඒ තැනැත්තා යම් කාලයක කාමයෙහි වරදවා හැසිරෙයි නම්, යම් කාලයක කාමයෙහි වරදවා නොහැසිරෙයි නම්, වැඩි කාලයක් ගත කරන්නේ කොයි විදිහටද? ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් කාමයෙහි වරදවා හැසිරෙනවා නම්, රෑක වේවා, දහවලක වේවා කල් නොකල් සළකද්දී ඔහු කාමයෙහි වරදවා හැසිරෙන යම් කාලයක් ඇත්නම් ඒ කාලය ස්වල්පයයි. නමුත් ඔහු යම් කාලයක් කාමයෙහි වරදවා නොහැසිරෙයි නම් ඒ කාලය තමයි ඉතා වැඩි. පින්වත් ගාමණී, එතකොට ඔහොම නම් තියෙන්නේ යමක් බහුල වශයෙන් කරමින් යමක් බහුල වශයෙන් කරමින් වාසය කරන විට ඒ ඒ දෙයින් අපායට පමුණුවනවාය යන නිගණ්ඨනාතපුත්තගේ වචනයට අනුව කවුරුවත් අපායෙ යන්නෙත් නෑ. නිරයෙ යන්නෙත් නෑ.
පින්වත් ගාමණී, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? යම් මේ පුරුෂයෙක් බොරු කියනවා නම්, රෑ කාලය හෝ දවල් කාලය හෝ කල් නොකල් සළකද්දී ඒ තැනැත්තා යම් කාලයක බොරු කියයි නම්, යම් කාලයක බොරු නොකියයි නම්, වැඩි කාලයක් ගත කරන්නේ කොයි විදිහටද? ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් බොරු කියනවා නම්, රෑක වේවා, දහවලක වේවා කල් නොකල් සළකද්දී ඔහු බොරු කියන යම් කාලයක් ඇත්නම් ඒ කාලය ස්වල්පයයි. නමුත් ඔහු යම් කාලයක් බොරු නොකියයි නම් ඒ කාලය තමයි ඉතා වැඩි. පින්වත් ගාමණී, එතකොට ඔහොම නම් තියෙන්නේ යමක් බහුල වශයෙන් කරමින් යමක් බහුල වශයෙන් කරමින් වාසය කරන විට ඒ ඒ දෙයින් අපායට පමුණුවනවාය යන නිගණ්ඨනාතපුත්තගේ වචනයට අනුව කවුරුවත් අපායෙ යන්නෙත් නෑ. නිරයෙ යන්නෙත් නෑ.
පින්වත් ගාමණී, මෙහි ඇතැම් ශාස්තෘවරයෙක් මෙවැනි දේ කියන කෙනෙක් නම්, මෙවැනි දෘෂ්ටියක් දරණ කෙනෙක් නම්, ඒ කියන්නේ යම් කෙනෙක් සතුන් මරණවා නම්, ඒ සියල්ලෝ ම අපායේ උපදිනවා. නිරයේ උපදිනවා. යම් කෙනෙක් සොරකම් කරනවා නම්, ඒ සියල්ලෝ ම අපායේ උපදිනවා. නිරයේ උපදිනවා. යම් කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙනවා නම්, ඒ සියල්ලෝ ම අපායේ උපදිනවා. නිරයේ උපදිනවා. යම් කෙනෙක් බොරු කියනවා නම්, ඒ සියල්ලෝ ම අපායේ උපදිනවා. නිරයේ උපදිනවා කියලා. පින්වත් ගාමණී, ඉතින් ශ්‍රාවකයෙක් ඒ ශාස්තෘවරයා කෙරෙහි අතිශයින් ම පැහැදිලා ඉන්නවා නම්, ඔහුට මෙහෙමයි හිතෙන්නේ. “මගේ ශාස්තෘවරයා මෙවැනි දේ කියන කෙනෙක්. මෙවැනි දෘෂ්ටියක් දරණ කෙනෙක්. ඒ කියන්නේ ‘යම් කෙනෙක් සතුන් මරණවා නම්, ඒ සියල්ලෝ ම අපායේ උපදිනවා. නිරයේ උපදිනවා’ කියලා. ඉතින් මා විසින් සතුන් මරලා තියෙනවා. එහෙම නම් මමත් අපායේ උපදීවි. නිරයේ උපදීවි” කියලා දෘෂ්ටියක් ඇති කර ගන්නවා. පින්වත් ගාමණී, ඔහු ඒ වචනය අත්හැරියෙ නැත්නම්, ඒ සිත අත්හැරියෙ නැත්නම්, ඒ දාෂ්ටිය බැහැර කළේ නැත්නම්, ඔසවාගෙන එන ලද බරක් බිම තබන්නේ යම්සේ ද එලෙසින්ම නිරයේ උපදිනවා.
“මගේ ශාස්තෘවරයා මෙවැනි දේ කියන කෙනෙක්. මෙවැනි දෘෂ්ටියක් දරණ කෙනෙක්. ඒ කියන්නේ ‘යම් කෙනෙක් සොරකම් කරනවා නම්, ඒ සියල්ලෝ ම අපායේ උපදිනවා. නිරයේ උපදිනවා’ කියලා. ඉතින් මා විසින් සොරකම් කරල තියෙනවා. එහෙම නම් මමත් අපායේ උපදීවි. නිරයේ උපදීවි” කියලා දෘෂ්ටියක් ඇති කර ගන්නවා. පින්වත් ගාමණී, ඔහු ඒ වචනය අත්හැරියෙ නැත්නම්, ඒ සිත අත්හැරියෙ නැත්නම්, ඒ දාෂ්ටිය බැහැර කළේ නැත්නම්, ඔසවාගෙන එන ලද බරක් බිම තබන්නේ යම් සේද එලෙසින්ම නිරයේ උපදිනවා.
“මගේ ශාස්තෘවරයා මෙවැනි දේ කියන කෙනෙක්. මෙවැනි දෘෂ්ටියක් දරණ කෙනෙක්. ඒ කියන්නේ ‘යම් කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙනවා නම්, ඒ සියල්ලෝම අපායේ උපදිනවා. නිරයේ උපදිනවා’ කියලා. ඉතින් මා විසින් කාමයෙහි වරදවා හැසිරිලා තියෙනවා. එහෙම නම් මමත් අපායේ උපදීවි. නිරයේ උපදීවි” කියලා දෘෂ්ටියක් ඇති කර ගන්නවා. පින්වත් ගාමණී, ඔහු ඒ වචනය අත්හැරියෙ නැත්නම්, ඒ සිත අත්හැරියෙ නැත්නම්, ඒ දාෂ්ටිය බැහැර කළේ නැත්නම්, ඔසවාගෙන එන ලද බරක් බිම තබන්නේ යම්සේ ද එලෙසින්ම නිරයේ උපදිනවා.
“මගේ ශාස්තෘවරයා මෙවැනි දේ කියන කෙනෙක්. මෙවැනි දෘෂ්ටියක් දරණ කෙනෙක්. ඒ කියන්නේ ‘යම් කෙනෙක් බොරු කියනවා නම්, ඒ සියල්ලෝ ම අපායේ උපදිනවා. නිරයේ උපදිනවා’ කියලා. ඉතින් මා විසින් බොරු කියලා තියෙනවා. එහෙම නම් මමත් අපායේ උපදීවි. නිරයේ උපදීවි” කියලා දෘෂ්ටියක් ඇති කර ගන්නවා. පින්වත් ගාමණී, ඔහු ඒ වචනය අත්හැරියෙ නැත්නම්, ඒ සිත අත්හැරියෙ නැත්නම්, ඒ දාෂ්ටිය බැහැර කළේ නැත්නම්, ඔසවාගෙන එන ලද බරක් බිම තබන්නේ යම්සේ ද එලෙසින්ම නිරයේ උපදිනවා.
පින්වත් ගාමණී, මෙහිලා ලෝකයෙහි අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ, සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තර පුරිසදම්මසාරථි වූ, සත්ථා දේවමනුස්සානං වූ, බුද්ධ වූ, භගවත් වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි පහළ වෙනවා. උන්වහන්සේ නොයෙක් ආකාරයෙන් සතුන් මැරීම ගැන ගරහනවා. බලවත්ව ගරහනවා. සතුන් මැරීමෙන් වළකින්න කියලා කියනවා. නොයෙක් ආකාරයෙන් සොරකම් කිරීම ගැන ගරහනවා. බලවත්ව ගරහනවා. සොරකම් කිරීමෙන් වළකින්න කියලා කියනවා. නොයෙක් ආකාරයෙන් කාමයෙහි වරදවා හැසිරීම ගැන ගරහනවා. බලවත්ව ගරහනවා. කාමය වරදවා හැසිරීමෙන් වළකින්න කියලා කියනවා. නොයෙක් ආකාරයෙන් බොරු කීම ගැන ගරහනවා. බලවත්ව ගරහනවා. බොරු කීමෙන් වළකින්න කියලා කියනවා.
එතකොට පින්වත් ගාමණී, ශ්‍රාවකයෙක් ඒ ශාස්තෘවරයා කෙරෙහි අතිශයින්ම පැහැදීමෙන් යුතු වෙනවා. එතකොට ඔහු මෙසේ නුවණින් කල්පනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් සතුන් මැරීම ගැන ගරහන සේක. බලවත්ව ගරහන සේක. සතුන් මැරීමෙන් වළකින්න යැයි වදාරණ සේක. මා විසිනුත් සතුන් මැරීම යම්තාක් ඇත්නම් ඒතාක් කෙරිල තියෙනවා. මා විසින් යම්තාක් සතුන් මරා ඇද්ද එය යහපත් දෙයක් නොවේ. හොඳ දෙයක් නොවේ. ඉදින් මම ඒ හේතුව නිසා චිත්ත පීඩාවකින් සිටියා කියලා මා විසින් ඒ පාප කර්මය නොකළා වෙන්නේ නෑ. මේ විදිහට ඔහු නුවණින් විමසලා ඒ සතුන් මැරීම අත්හරිනවා. ඉදිරියටත් සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ප්රහාණය වෙලා යනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ඉක්මවා යනවා.
භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් සොරකම් කිරීම ගැන ගරහන සේක. බලවත්ව ගරහන සේක. සොරකම් කිරීමෙන් වළකින්න යැයි වදාරණ සේක. මා විසිනුත් සොරකම් කිරීම යම්තාක් ඇත්නම් ඒතාක් කෙරිල තියෙනවා. මා විසින් යම්තාක් සොරකම් කර ඇද්ද එය යහපත් දෙයක් නොවේ. හොඳ දෙයක් නොවේ. ඉදින් මම ඒ හේතුව නිසා චිත්ත පීඩාවකින් සිටියා කියලා මා විසින් ඒ පාප කර්මය නොකළා වෙන්නේ නෑ. මේ විදිහට ඔහු නුවණින් විමසලා ඒ සොරකම් කිරීම අත්හරිනවා. ඉදිරියටත් සොරකම් කිරීමෙන් වැළකී සිටිනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ප්රහාණය වෙලා යනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ඉක්මවා යනවා.
භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් කාමයෙහි වරදවා හැසිරීම ගැන ගරහන සේක. බලවත්ව ගරහන සේක. කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින්න යැයි වදාරණ සේක. මා විසිනුත් කාමයෙහි වරදවා හැසිරීම යම්තාක් ඇත්නම් ඒතාක් කෙරිල තියෙනවා. මා විසින් යම්තාක් කාමයෙහි වරදවා හැසිර ඇද්ද එය යහපත් දෙයක් නොවේ. හොඳ දෙයක් නොවේ. ඉදින් මම ඒ හේතුව නිසා චිත්ත පීඩාවකින් සිටියා කියලා මා විසින් ඒ පාප කර්මය නොකළා වෙන්නේ නෑ. මේ විදිහට ඔහු නුවණින් විමසලා ඒ කාමයෙහි වරදවා හැසිරීම අත්හරිනවා. ඉදිරියටත් කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ප්රහාණය වෙලා යනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ඉක්මවා යනවා.
භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් බොරු කීම ගැන ගරහන සේක. බලවත්ව ගරහන සේක. බොරු කීමෙන් වළකින්න යැයි වදාරණ සේක. මා විසිනුත් බොරු කීම යම්තාක් ඇත්නම් ඒතාක් කෙරිල තියෙනවා. මා විසින් යම්තාක් බොරු කියා ඇද්ද එය යහපත් දෙයක් නොවේ. හොඳ දෙයක් නොවේ. ඉදින් මම ඒ හේතුව නිසා චිත්ත පීඩාවකින් සිටියා කියලා මා විසින් ඒ පාප කර්මය නොකළා වෙන්නේ නෑ. මේ විදිහට ඔහු නුවණින් විමසලා ඒ බොරු කීම අත්හරිනවා. ඉදිරියටත් බොරු කීමෙන් වැළකී සිටිනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ප්රහාණය වෙලා යනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ඉක්මවා යනවා.
ඔහු සතුන් මැරීම අත්හැරලා, සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා. සොරකම් කිරීම අත්හැරලා, සොරකම් කිරීමෙන් වැළකී ඉන්නවා. කාමයෙහි වරදවා හැසිරීම අත්හැරලා, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී ඉන්නවා. බොරු කීම අත්හැරලා, බොරු කීමෙන් වැළකී ඉන්නවා. කේලාම් කීම අත්හැරලා, කේලාම් කීමෙන් වැළකී ඉන්නවා. ඵරුෂ වචන කීම අත්හැරලා, ඵරුෂ වචන කීමෙන් වැළකී ඉන්නවා. හිස් වචන කීම අත්හැරලා, හිස් වචන කීමෙන් වැළකී ඉන්නවා. විෂම ලෝභය අත්හැරලා, විෂම ලෝභයෙන් වැළකී ඉන්නවා. කෝප සිත් පහළ කිරීම අත්හැරලා, කෝප සිත් පහළ කිරීමෙන් තොර සිතින් ඉන්නවා. මිසදිටුව අත්හැරලා, සම්මා දිට්ඨියෙන් යුතුව ඉන්නවා.
පින්වත් ගාමණී, ඒ ආර්ය ශ්රාවකයා මෙසේ විෂම ලෝභයෙන් තොරව, කෝප සිතින් තොරව, සිහි මුළා නොවී, මනා නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, මෛත්‍රී සහගත සිතින් යුතුව එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවත්, ඒ වගේම තුන්වෙනි දිශාවත්, ඒ වගේම හතරවෙනි දිශාවත්, ඒ වගේම උඩ, යට හා හරහටත් සෑම තැනක ම, සෑම සත්වයන් කෙරෙහි ම සකල ලෝකයට විපුල වූ, මහත් බවට පත් වූ, ප්‍රමාණ රහිත වූ, වෛර නැති, දුක් නැති මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරනවා. පින්වත් ගාමණී, බලවත් සක් පිඹින්නෙක් ඉතා පහසුවෙන් ම හතර දිශාවට සක් පිඹින්නේ යම් ආකාරයකින් ද ඒ අයුරින් ම පින්වත් ගාමණී, මෙලෙසින් වඩන ලද, මෙලෙසින් බහුල වශයෙන් කරන ලද, මෛත්‍රී චේතෝ විමුක්තිය නිසා යම් අකුසල කර්මයක් ඇත්නම් එය ඉතිරි නැතුව නැති වෙලා යනවා. එය එහි පිහිටන්නේ නැතුව යනවා.
පින්වත් ගාමණී, ඒ ආර්ය ශ්රාවකයා මෙසේ විෂම ලෝභයෙන් තොරව, කෝප සිතින් තොරව, සිහි මුළා නොවී, මනා නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, කරුණා සහගත සිතින් යුතුව ….(පෙ)…. මුදිතා සහගත සිතින් යුතුව ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් යුතුව එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවත්, ඒ වගේම තුන්වෙනි දිශාවත්, ඒ වගේම හතරවෙනි දිශාවත්, ඒ වගේම උඩ, යට හා හරහටත් සෑම තැනක ම, සෑම සත්වයන් කෙරෙහි ම සකල ලෝකයට විපුල වූ, මහත් බවට පත් වූ, ප්‍රමාණ රහිත වූ, වෛර නැති, දුක් නැති උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරනවා. පින්වත් ගාමණී, බලවත් සක් පිඹින්නෙක් ඉතා පහසුවෙන් ම හතර දිශාවට සක් පිඹින්නේ යම් ආකාරයකින් ද ඒ අයුරින් ම පින්වත් ගාමණී, මෙලෙසින් වඩන ලද, මෙලෙසින් බහුල වශයෙන් කරන ලද, උපේක්ෂා චේතෝ විමුක්තිය නිසා යම් අකුසල කර්මයක් ඇත්නම් එය ඉතිරි නැතුව නැති වෙලා යනවා. එය එහි පිහිටන්නේ නැතුව යනවා. මෙසේ වදාළ විට අසිබන්ධකපුත්ත ගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළා. ස්වාමීනී, ඉතා සුන්දරයි. ස්වාමීනී, ඉතා සුන්දරයි ….(පෙ)…. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය (උපාසකයෙකු වශයෙන් මා පිළිගන්නා සේක්වා.)
සාදු ! සාදු !! සාදු !!!
සංඛධම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_8-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M