සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

8.1.10. මණිචූළක සුත්තං

8.1.10. මණිචූළක ගාමණීට වදාළ දෙසුම

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ. ඒ කාලයේ රජුගේ අතුළු නුවර රජ පිරිස තුළ රැස්වීමට සහභාගී වූවන් අතර මේ කතාබහ ඇතිවුණා. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලාට රන්, රිදී, මිලමුදල් කැපයි. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා රන්, රිදී, මිල මුදල් ඉවසනවා. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා රන්, රිදී, මිලමුදල් පිළිගන්නවා කියලා.

ඒ වෙලාවේ මණිචූලක ගාමණී, ඒ පිරිස අතර වාඩිවෙලා හිටියා. එතකොට මණිචූලක ගාමණී ඒ පිරිසට මෙහෙම කිව්වා. “ආර්යවරුනි, ඔහොම කියන්ට එපා. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලාට රන්, රිදී, මිලමුදල් කැප නෑ. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා රන්, රිදී, මිලමුදල් ඉවසන්නේ නෑ. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා රන්, රිදී, මිලමුදල් පිළිගන්නෙත් නෑ. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා රන් රුවන් බැහැර කරලයි ඉන්නේ. රන්, රිදී, මිලමුදල් වලින් ඉවත් වෙලයි ඉන්නේ” කියලා. මණිචූලක ගාමණීට ඒ පිරිස දැනුවත් කරන්නට පුළුවන් වුණා. ඊට පස්සේ මණිචූලක ගාමණී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ මණිචූලක ගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, මෙහි රජුගේ ඇතුළු නුවර රජ පිරිස තුළ රැස්වීමට සහභාගී වූවන් අතර මේ කතාබහ ඇතිවුණා. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලාට රන්, රිදී, මිලමුදල් කැපයි. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා රන්, රිදී, මිල මුදල් ඉවසනවා. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා රන්, රිදී, මිලමුදල් පිළි ගන්නවා කියලා. මෙසේ පැවසූ විට ස්වාමීනි, මං ඒ පිරිසට මෙහෙම කිව්වා. “ආර්යවරුනි, ඔහොම කියන්ට එපා. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලාට රන්, රිදී, මිලමුදල් කැප නෑ. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා රන්, රිදී, මිලමුදල් ඉවසන්නේ නෑ. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා රන්, රිදී, මිලමුදල් පිළිගන්නෙත් නෑ. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා රන් රුවන් බැහැර කරලයි ඉන්නේ. රන්, රිදී, මිලමුදල් වලින් ඉවත් වෙලයි ඉන්නේ” කියලා. ස්වාමීනි, මට ඒ පිරිස දැනුවත් කරන්නට පුළුවන් වුණා. ස්වාමීනි, ඔය විදිහට පවසන විට ඇත්තෙන් ම මං භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් ම කියන කෙනෙක් වෙනවාද? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරන කෙනෙක් වෙනවාද? ධර්මයට අනුකූල වූ දෙයක් කියන කෙනෙක් වෙනවාද? කරුණු සහිත වාද නංවා ගැරහිය යුතු තත්වයට පත් නොවන කෙනෙක් වෙනවාද?”

“පින්වත් ගාමණී, ඔය විදිහට ඔබ පවසන විට ඒකාන්තයෙන් ම මා පවසන ලද්දක් ම යි කියන්නේ. මට අභූතයෙන් චෝදනා කරන්නේ නෑ. ධර්මයට අනුකූල වූ දෙයක් ම යි කියන්නේ. කරුණු සහිත වාද නංවා ගැරහිය යුතු තත්වයට පත් වෙන්නේ නෑ. පින්වත් ගාමණී, ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලාට රන්, රිදී, මිලමුදල් කැප නෑ ම යි. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා රන්, රිදී, මිලමුදල් ඉවසන්නේ නෑ ම යි. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා රන්, රිදී, මිලමුදල් පිළිගන්නෙත් නෑ ම යි. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා රන් රුවන් බැහැර කරලයි ඉන්නේ. රන්, රිදී, මිලමුදල් වලින් ඉවත් වෙලයි ඉන්නේ.

පින්වත් ගාමණී, යම් කෙනෙකුට රන්, රිදී, මිලමුදල් කැප නම්, ඔහුට පඤ්චකාම ගුණයන් ද කැපයි. යම් කෙනෙකුට පඤ්චකාම ගුණයන් කැප නම් ගාමණී, ස්ථිර වශයෙන් ම මතක තබා ගන්න, ඒක අශ්‍රමණ ධර්මයක් ම යි කියලා. අශාක්‍යපුත්‍රීය ධර්මයක් ම යි කියලා. එනමුත් පින්වත් ගාමණී, මා පවසන්නේ මෙහෙමයි. තණ වලින් ප්‍රයෝජන ඇති පැවිද්දා විසින් තණ සෙවිය යුතුයි. දර වලින් ප්‍රයෝජන ඇති පැවිද්දා විසින් දර සෙවිය යුතුයි. ගැලෙන් ප්‍රයෝජන ඇති පැවිද්දා විසින් ගැලක් සෙවිය යුතුයි. පුරුෂයෙකුගෙන් උපකාරයක් අවශ්‍ය පැවිද්දා විසින් පුරුෂයෙක් සෙවිය යුතුයි. එහෙත් පින්වත් ගාමණී, කවර වූ ක්‍රමයකින්වත් රන්, රිදී, මිලමුදල් ඉවසිය යුතුයි කියලා හෝ සෙවිය යුතුයි කියලා හෝ මං කියන්නේ නෑ.”

සාදු ! සාදු !! සාදු !!!

මණිචූළක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_8-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M