එදා රාසිය ගාමණී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ රාසිය ගාමණී භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසා සිටියා. ස්වාමීනි, මට මේ කාරණය අසන්ට ලැබුණා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සෑම තපසකට ම ගරහනවා. කටුක ජීවිත ගෙවන සියලු තාපසවරුන්ට එක් අංශයකින් බලා උපවාද කරනවා. අපහාස කරනවා කියලා. ස්වාමීනි, යම් කෙනෙක් මෙහෙම කිව්වා නම්, ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සෑම තපසකට ම ගරහනවා. කටුක ජීවිත ගෙවන සියලු තාපසවරුන්ට එක් අංශයකින් බලා උපවාද කරනවා අපහාස කරනවා’ කියලා. ස්වාමීනි, ඒ උදවිය භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් ම ද කියන්නේ? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක් නැද්ද? ධර්මයට අනුකූල දෙයක් ම ද කියන්නේ? කරුණු සහිතව වාද නංවා ගැරහීමට පත් කරවන දෙයක් නැද්ද?
පින්වත් ගාමණී, යම් කෙනෙක් මේ විදිහට කිව්වා නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සෑම තපසකට ම ගරහනවා. කටුක ජීවිත ගෙවන සියලු තාපසවරුන්ට එක් අංශයකින් බලා උපවාද කරනවා. අපහාස කරනවා කියලා. ඒ උදවිය මං පැවසූ දෙයක් නොවෙයි කියන්නේ. මට අසත්‍යයෙන්, අභූතයෙන් චෝදනා කරනවා. පින්වත් ගාමණී, පැවිද්දා විසින් මේ අන්ත දෙක සේවනය නොකළ යුතුයි. යම් මේ කාමයන්හි, කාමසුඛයෙහි ඇලී ගැලී වාසය කිරීමක් ඇද්ද මෙය හීන වූ දෙයක්. ලාමක දෙයක්. පෘථග්ජනයන්ට අයත් දෙයක්. අනාර්ය දෙයක්. අනර්ථ සහිත දෙයක්. යම් මේ තමාව පීඩාවට පත් කරගන්නා තපස් ක්‍රමයක් ඇද්ද මෙය දුක් සහිත දෙයක්. අනාර්ය දෙයක්. අනර්ථ සහිත දෙයක්. පින්වත් ගාමණී, මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දේ මධ්‍යම ප්‍රතිපදාව යි. ඒ මධ්‍යම ප්‍රතිපදාව දහම් ඇස ලබා දෙනවා. නුවණ ලබා දෙනවා. කෙලෙස් සංසිඳවනවා. විශේෂ ඤාණය ඇති කර දෙනවා. සත්‍යාවබෝධය ඇති කර දෙනවා. නිවන පිණිස පවතිනවා. පින්වත් ගාමණී, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරපු, දහම් ඇස ලබා දෙන, නුවණ ලබා දෙන, කෙලෙස් සංසිඳවන, විශේෂ ඤාණය ඇති කර දෙන, සත්‍යාවබෝධය ඇති කර දෙන, නිවන පිණිස පවතින ඒ මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ: සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි. පින්වත් ගාමණී, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි දහම් ඇස ලබා දෙන්නේ. නුවණ ලබා දෙන්නේ. කෙලෙස් සංසිඳවන්නේ. විශේෂ ඤාණය ඇති කර දෙන්නේ. සත්‍යාවබෝධය ඇති කර දෙන්නේ. නිවන පිණිස පවතින්නේ.
පින්වත් ගාමණී, ලෝකයෙහි සිටින්නා වූ කම්සැප අනුභව කරන තුන් දෙනෙක්ව දකින්ට ලැබෙනවා. කවර තුන් දෙනෙක් ද යත්? පින්වත් ගාමණී, මෙහිලා කම්සැප අනුභව කරන ඇතැම් කෙනෙක් අධාර්මිකවත්, සාහසික ලෙසත් භෝග සම්පත් සොයනවා. අධාර්මිකවත්, සාහසික ලෙසත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරන්නෙත් නෑ. පිනවන්නෙත් නෑ. අනුන්ට බෙදන්නෙත් නෑ. පින් කරන්නෙත් නෑ. පින්වත් ගාමණී, මෙහිලා කම්සැප අනුභව කරන ඇතැම් කෙනෙක් අධාර්මිකවත්, සාහසික ලෙසත් භෝග සම්පත් සොයනවා. අධාර්මිකවත් සාහසික ලෙසත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරනවා. පිනවනවා. නමුත් අනුන්ට බෙදන්නේ නෑ. පින් කරන්නේ නෑ. පින්වත් ගාමණී, මෙහිලා කම්සැප අනුභව කරන ඇතැම් කෙනෙක් අධාර්මිකවත්, සාහසික ලෙසත් භෝග සම්පත් සොයනවා. අධාර්මිකවත්, සාහසිකවත්, භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරනවා. පිනවනවා. අනුන්ටත් බෙදනවා. පිනුත් කරනවා.
පින්වත් ගාමණී, මෙහිලා කම්සැප අනුභව කරන ඇතැම් කෙනෙක් ධාර්මිකවත්, අධාර්මිකවත්, සාහසිකවත්, අසාහසිකවත් භෝග සම්පත් සොයනවා. ධාර්මිකවත්, අධාර්මිකවත්, සාහසිකවත්, අසාහසිකවත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරන්නෙත් නෑ. පිනවන්නෙත් නෑ. අනුන්ට බෙදන්නෙත් නෑ. පින් කරන්නෙත් නෑ. පින්වත් ගාමණී, මෙහිලා කම්සැප අනුභව කරන තව කෙනෙක් ධාර්මිකවත්, අධාර්මිකවත්, සාහසිකවත්, අසාහසිකවත් භෝග සම්පත් සොයනවා. ධාර්මිකවත් අධාර්මිකවත් සාහසිකවත් අසාහසිකවත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරනවා. පිනවනවා. නමුත් අනුන්ට බෙදන්නේ නෑ. පින් කරන්නේ නෑ. පින්වත් ගාමණී, මෙහිලා කම්සැප අනුභව කරන තවත් කෙනෙක් ධාර්මිකවත්, අධාර්මිකවත්, සාහසිකවත්, අසාහසිකවත් භෝග සම්පත් සොයනවා. ධාර්මිකවත්, අධාර්මිකවත්, සාහසිකවත්, අසාහසිකවත්, භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරනවා. පිනවනවා. අනුන්ටත් බෙදනවා. පිනුත් කරනවා.
පින්වත් ගාමණී, මෙහිලා කම්සැප අනුභව කරන ඇතැම් කෙනෙක් ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් සොයනවා. ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරන්නෙත් නෑ. පිනවන්නෙත් නෑ. අනුන්ට බෙදන්නෙත් නෑ. පින් කරන්නෙත් නෑ. පින්වත් ගාමණී, මෙහි කම්සැප අනුභව කරන තව කෙනෙක් ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් සොයනවා. ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරනවා. පිනවනවා. නමුත් අනුන්ට බෙදන්නේ නෑ. පින් කරන්නේ නෑ. පින්වත් ගාමණී, මෙහි කම්සැප අනුභව කරන තවත් කෙනෙක් ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් සොයනවා. ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරනවා. පිනවනවා. අනුන්ටත් බෙදනවා. පිනුත් කරනවා. ඒ වගේම භෝග සම්පත් වලට ඇලිලා මුසපත් වෙලා, ගැලිලා, ආදීනව නොදැක, එයින් නිදහස් වීම දකිනා නුවණ නැතුව තමයි පරිභෝජනය කරන්නේ. පින්වත් ගාමණී, මෙහි කම්සැප අනුභව කරන තවත් කෙනෙක් ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් සොයනවා. ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරනවා. පිනවනවා. අනුන්ටත් බෙදනවා. පිනුත් කරනවා. ඒ වගේම ඒ භෝග සම්පත් වලට ඇලිලා නෑ. මුසපත් වෙලා නෑ. ගැලිල නෑ. ආදීනව දකිනවා. නිදහස් වීමේ නුවණ ඇතිව තමයි ඒවා පරිභෝජනය කරන්නේ.
පින්වත් ගාමණී, එහිලා යම් මේ කම්සැප අනුභව කරන කෙනෙක් අධාර්මිකවත්, සාහසික ලෙසත් භෝග සම්පත් සොයනවා නම්, අධාර්මිකවත්, සාහසික ලෙසත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරන්නෙත් නැතිනම්, පිනවන්නෙත් නැතිනම්, අනුන්ට බෙදන්නෙත් නැතිනම්, පින් කරන්නෙත් නැතිනම් පින්වත් ගාමණී, මේ කාමභෝගී පුද්ගලයා කරුණු තුනකින් ගැරහිය යුතු වෙනවා. කවර කරුණු තුනකින් ගැරහිය යුතු ද යත්? අධාර්මිකවත්, සාහසිකවත් තමයි ඔහු භෝග සම්පත් උපයන්නේ. මේ පළමුවෙනි කරුණින් ගැරහිය යුතුයි. ඊළඟට තමාව සුවපත් කරන්නේ නෑ. පිනවන්නේ නෑ. මේ ගැරහිය යුතු දෙවන කරුණයි. ඊළඟට අනුන්ට බෙදන්නේ නෑ. පින් කරන්නේ නෑ. මේ ගැරහිය යුතු තුන්වන කරුණයි. පින්වත් ගාමණී, මේ කාමභෝගී තැනැත්තා මේ කරුණු තුනෙන් ගැරහිය යුතු වෙනවා.
පින්වත් ගාමණී, එහිලා යම් මේ කම්සැප අනුභව කරන කෙනෙක් අධාර්මිකවත්, සාහසික ලෙසත් භෝග සම්පත් සොයනවා නම්, අධාර්මිකවත්, සාහසික ලෙසත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරනවා නම්, පිනවනවා නම්, නමුත් අනුන්ට බෙදන්නෙත් නැතිනම්, පින් කරන්නෙත් නැතිනම් පින්වත් ගාමණී, මේ කාමභෝගී පුද්ගලයා කරුණු දෙකකින් ගැරහිය යුතු වෙනවා. එක් කරුණකින් පැසසිය යුතු වෙනවා. කවර කරුණු දෙකකින්ද ගැරහිය යුත්තේ? අධාර්මිකවත්, සාහසිකවත් තමයි ඔහු භෝග සම්පත් උපයන්නේ. මේ පළමුවෙනි කරුණින් ගැරහිය යුතුයි. ඊළඟට අනුන්ට බෙදන්නේ නෑ. පින් කරන්නේ නෑ. මේ ගැරහිය යුතු දෙවන කරුණයි. පැසසිය යුතු එක කරුණ කුමක්ද? තමාව සුවපත් කරනවා. පිනවනවා. මේ පැසසිය යුතු එක කරුණයි. පින්වත් ගාමණී, මේ කාමභෝගී තැනැත්තා මේ කරුණු දෙකෙන් ගැරහිය යුතු වෙනවා. මේ එක කරුණෙන් පැසසිය යුතු වෙනවා.
පින්වත් ගාමණී, එහිලා යම් මේ කම්සැප අනුභව කරන කෙනෙක් අධාර්මිකවත්, සාහසික ලෙසත් භෝග සම්පත් සොයනවා නම්, අධාර්මිකවත්, සාහසික ලෙසත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරනවා නම්, පිනවනවා නම්, ඒ වගේම අනුන්ට බෙදනවා නම්, පින් කරනවා නම් පින්වත් ගාමණී, මේ කාමභෝගී පුද්ගලයා එක් කරුණකින් ගැරහිය යුතු වෙනවා. දෙකරුණකින් පැසසිය යුතු වෙනවා. කවර එක් කරුණකින්ද ගැරහිය යුත්තේ? අධාර්මිකවත්, සාහසිකවත් තමයි ඔහු භෝග සම්පත් උපයන්නේ. මේ එක් කරුණකින් තමයි ගැරහිය යුත්තේ. පැසසිය යුතු කරුණු දෙක කුමක්ද? තමාව සුවපත් කරනවා. පිනවනවා. මේ පැසසිය යුතු පළමුවෙනි කරුණයි. ඊළඟට අනුන්ට බෙදනවා. පින් කරනවා. මේ පැසසිය යුතු දෙවෙනි කරුණයි. පින්වත් ගාමණී, මේ කාමභෝගී තැනැත්තා මේ එක කරුණෙන් ගැරහිය යුතු වෙනවා. මේ කරුණු දෙකෙන් පැසසිය යුතු වෙනවා.
පින්වත් ගාමණී, එහිලා යම් මේ කම්සැප අනුභව කරන කෙනෙක් ධාර්මිකවත්, අධාර්මිකවත්, සාහසිකවත්, අසාහසිකවත් භෝග සම්පත් සොයනවා. ධාර්මිකවත්, අධාර්මිකවත්, සාහසිකවත්, අසාහසිකවත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරන්නෙත් නෑ. පිනවන්නෙත් නෑ. අනුන්ට බෙදන්නෙත් නෑ. පින් කරන්නෙත් නෑ. පින්වත් ගාමණී, මේ කාමභෝගී පුද්ගලයා එක් කරුණකින් පැසසිය යුතුයි. කරණු තුනකින් ගැරහිය යුතුයි. කවර එක් කරුණකින් ද පැසසිය යුත්තේ? ධාර්මිකවත්, අසාහසිකවත් භෝග ඉපයීම ගැනයි. ඔය එක් කරුණෙන් තමයි පැසසිය යුත්තේ. ගැරහිය යුතු කරුණු තුන කුමක්ද? අධාර්මිකවත්, සාහසිකවත් භෝග සම්පත් උපයනවා. මේ ගැරහිය යුතු පළමු කරුණයි. තමා සුවපත් කරන්නෙත් නෑ. පිනවන්නෙත් නෑ. මේ ගැරහිය යුතු දෙවෙනි කරුණයි. අනුන්ට බෙදන්නෙත් නෑ. පින් කරන්නෙත් නෑ. මේ ගැරහිය යුතු තුන්වෙනි කරුණයි. පින්වත් ගාමණී, මේ කාමභෝගී පුද්ගලයා මේ එක් කරුණින් පැසසිය යුතුයි. මේ කරුණු තුනෙන් ගැරහිය යුතුයි.
පින්වත් ගාමණී, එහිලා යම් මේ කම්සැප අනුභව කරන කෙනෙක් ධාර්මිකවත් අධාර්මිකවත්, සාහසිකවත් අසාහසිකවත් භෝග සම්පත් සොයනවා. ධාර්මිකවත් අධාර්මිකවත්, සාහසිකවත් අසාහසිකවත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරනවා. පිනවනවා. අනුන්ට බෙදන්නෙත් නෑ. පින් කරන්නෙත් නෑ. පින්වත් ගාමණී, මේ කාමභෝගී පුද්ගලයා දෙකරුණකින් පැසසිය යුතුයි. දෙකරුණකින් ගැරහිය යුතුයි. කවර දෙකරුණකින්ද පැසසිය යුත්තේ? ධාර්මිකවත්, අසාහසිකවත් භෝග ඉපයීම ගැනයි. ඔය පළමු කරුණෙන් තමයි පැසසිය යුත්තේ. තමාව සුවපත් කරනවා. පිනවනවා. මේ දෙවෙනි කරුණෙන් තමයි පැසසිය යුත්තේ. ගැරහිය යුතු කරුණු දෙක කුමක්ද? අධාර්මිකවත්, සාහසිකවත් භෝග සම්පත් උපයනවා. මේ ගැරහිය යුතු පළමු කරුණයි. අනුන්ට බෙදන්නෙත් නෑ. පින් කරන්නෙත් නෑ. මේ ගැරහිය යුතු දෙවෙනි කරුණයි. පින්වත් ගාමණී, මේ කාමභෝගී පුද්ගලයා මේ දෙකරුණෙන් පැසසිය යුතුයි. මේ දෙකරුණෙන් ගැරහිය යුතුයි.
පින්වත් ගාමණී, එහිලා යම් මේ කම්සැප අනුභව කරන කෙනෙක් ධාර්මිකවත් අධාර්මිකවත්, සාහසිකවත් අසාහසිකවත් භෝග සම්පත් සොයනවා. ධාර්මිකවත් අධාර්මිකවත්, සාහසිකවත් අසාහසිකවත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරනවා. පිනවනවා. අනුන්ටත් බෙදනවා. පිනුත් කරනවා. පින්වත් ගාමණී, මේ කාමභෝගී පුද්ගලයා තුන් කරුණකින් පැසසිය යුතුයි. එක් කරුණකින් ගැරහිය යුතුයි. කවර තුන් කරුණකින්ද පැසසිය යුත්තේ? ධාර්මිකවත්, අසාහසිකවත් භෝග ඉපයීම ගැනයි. ඔය පළමු කරුණෙන් තමයි පැසසිය යුත්තේ. තමාව සුවපත් කරනවා. පිනවනවා. මේ දෙවෙනි කරුණෙන් තමයි පැසසිය යුත්තේ. අනුන්ට බෙදනවා. පිනුත් කරනවා. මේ පැසසිය යුතු තුන්වෙනි කරුණයි. ගැරහිය යුතු එක් කරුණ කුමක්ද? අධාර්මිකවත්, සාහසිකවත් භෝග සම්පත් උපයනවා. මේ ගැරහිය යුතු එක් කරුණයි. පින්වත් ගාමණී, මේ කාමභෝගී පුද්ගලයා මේ තුන් කරුණෙන් පැසසිය යුතුයි. මේ එක් කරුණෙන් ගැරහිය යුතුයි.
පින්වත් ගාමණී, එහිලා යම් මේ කම්සැප අනුභව කරන කෙනෙක් ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් සොයනවා. ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරන්නෙත් නෑ. පිනවන්නෙත් නෑ. අනුන්ට බෙදන්නෙත් නෑ. පින් කරන්නෙත් නෑ. පින්වත් ගාමණී, මේ කාමභෝගී පුද්ගලයා එක් කරුණකිනුයි පැසසුම් ලබන්නේ. දෙකරුණකින් ගැරහිය යුතු වෙනවා. කවර එක් කරුණකින් ද පැසසිය යුත්තේ? ධාර්මිකවත්, අසාහසිකවත් භෝග සම්පත් ඉපයීම ගැනයි. මේ එක් කරුණෙන් තමයි පැසසිය යුත්තේ. ගැරහිය යුතු කරුණු දෙක කුමක්ද? තමාව සැපවත් කරන්නේ නෑ. පිනවන්නේ නෑ. මේ ගැරහිය යුතු පළමු කරුණයි. අනුන්ට බෙදන්නෙත් නෑ. පින් කරන්නෙත් නෑ. මේ ගැරහිය යුතු දෙවන කරුණයි. පින්වත් ගාමණී, මේ කාමභෝගී පුද්ගලයා මේ එක් කරුණෙන් පැසසිය යුතුයි. මේ කරුණු දෙකෙන් ගැරහිය යුතුයි.
පින්වත් ගාමණී, එහිලා යම් මේ කම්සැප අනුභව කරන කෙනෙක් ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් සොයනවා. ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරනවා. පිනවනවා. අනුන්ට බෙදන්නෙත් නෑ. පින් කරන්නෙත් නෑ. පින්වත් ගාමණී, මේ කාමභෝගී පුද්ගලයා දෙකරුණකිනුයි පැසසුම් ලබන්නේ. එක් කරුණකින් ගැරහිය යුතු වෙනවා. කවර දෙකරුණකින්ද පැසසිය යුත්තේ? ධාර්මිකවත්, අසාහසිකවත් භෝග සම්පත් ඉපයීම ගැනයි. මේ පළමු කරුණෙන් තමයි පැසසිය යුත්තේ. තමාව සැපවත් කරනවා. පිනවනවා. මේ පැසසිය යුතු දෙවන කරුණයි. ගැරහිය යුතු එක් කරුණ කුමක්ද? අනුන්ට බෙදන්නෙත් නෑ. පින් කරන්නෙත් නෑ. මේ ගැරහිය යුතු එක් කරුණයි. පින්වත් ගාමණී, මේ කාමභෝගී පුද්ගලයා මේ දෙකරුණින් පැසසිය යුතුයි. මේ එක් කරුණෙන් ගැරහිය යුතුයි.
පින්වත් ගාමණී, එහිලා යම් මේ කම්සැප අනුභව කරන කෙනෙක් ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් සොයනවා. ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරනවා. පිනවනවා. අනුන්ටත් බෙදනවා. පිනුත් කරනවා. ඒ වගේම ඒ භෝග සම්පත් වලට ඇලිලා මුසපත් වෙලා, ගැලිලා, ආදීනව නොදැක, එයින් නිදහස් වීම දකිනා නුවණ නැතුව තමයි පරිභෝජනය කරන්නේ. පින්වත් ගාමණී, මේ කාමභෝගී පුද්ගලයා තුන් කරුණකින් පැසසිය යුතුයි. එක් කරුණකින් ගැරහිය යුතුයි. කවර තුන් කරුණකින්ද පැසසිය යුත්තේ? ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් ඉපයීම ගැනයි. මේ පළමු කරුණෙන් තමයි පැසසිය යුත්තේ. තමාව සැපවත් කරනවා පිනවනවා. මේ පැසසිය යුතු දෙවන කරුණයි. අනුන්ටත් බෙදනවා. පිනුත් කරනවා. මේ පැසසිය යුතු තුන්වන කරුණයි. ගැරහිය යුතු එක් කරුණ කුමක්ද? නමුත් ඔහු ඒ භෝග සම්පත් වලට ඇලිලා මුසපත් වෙලා, ගැලිලා, ආදීනව නොදැක, එයින් නිදහස් වීම දකිනා නුවණ නැතුව තමයි පරිභෝජනය කරන්නේ. මේ එක් කරුණෙන් ගැරහිය යුතුයි. පින්වත් ගාමණී, මේ කාමභෝගී පුද්ගලයා මේ කරුණු තුනෙන් පැසසිය යුතුයි. මේ එක් කරුණෙන් ගැරහිය යුතුයි.
පින්වත් ගාමණී, එහිලා යම් මේ කම්සැප අනුභව කරන කෙනෙක් ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් සොයනවා. ධාර්මිකවත්, අසාහසික ලෙසත් භෝග සම්පත් සොයලා තමාව සැපවත් කරනවා. පිනවනවා. අනුන්ටත් බෙදනවා. පිනුත් කරනවා. ඒ වගේම ඒ භෝග සම්පත් වලට ඇලිලා නෑ. මුසපත් වෙලා නෑ. ගැලිලා නෑ. ආදීනව දකිනවා. එයින් නිදහස් වීම දකිනා නුවණ ඇතිව තමයි පරිභෝජනය කරන්නේ. පින්වත් මහණෙනි, මේ කාමභෝගී පුද්ගලයා සතර කරුණකින් පැසසිය යුතුයි. කවර සතර කරුණකින්ද පැසසිය යුත්තේ? ධාර්මිකවත්, අසාහසිකවත් භෝග සම්පත් ඉපයීම ගැනයි. මේ පළමු කරුණෙන් තමයි පැසසිය යුත්තේ. තමාව සැපවත් කරනවා පිනවනවා. මේ පැසසිය යුතු දෙවන කරුණයි. අනුන්ටත් බෙදනවා. පිනුත් කරනවා. මේ පැසසිය යුතු තුන්වන කරුණයි. ඒ වගේම ඒ භෝග සම්පත් වලට ඇලිලා නෑ. මුසපත් වෙලා නෑ. ගැලිලා නෑ. ආදීනව දකිනවා. එයින් නිදහස් වීම දකිනා නුවණ ඇතිව තමයි පරිභෝජනය කරන්නේ. මේ පැසසිය යුතු සතරවන කරුණයි. පින්වත් ගාමණී, මේ කාමභෝගී පුද්ගලයා මේ සතර කරුණෙන් පැසසිය යුතුයි.
පින්වත් ගාමණී, ලෝකයේ සිටිනා කටුක ජීවිත ගෙවන තවුසන් තුන් දෙනෙක් දකින්ට ලැබෙනවා. කවර තුන් දෙනෙක්ද යත්? පින්වත් ගාමණී, මෙහිලා කටුක දිවියක් ගෙවන ඇතැම් තාපසයෙක් ඉන්නවා. “කුසල් දහම් අවබෝධ කරගන්ට ඇත්නම් කොයිතරම් හොඳද. මිනිස් දහමට වඩා උතුම් වූ ආර්ය ඤාණ දර්ශන විශේෂයක් සාක්ෂාත් කරන්ට ඇත්නම් කොයිතරම් හොඳද” කියලා ශ්‍රද්ධාවෙන් ගිහිගෙය අතහැරලා සසුනෙහි පැවිදි වෙනවා. ඔහු තමාව පීඩාවට පත් කරගන්නවා. හාත්පසින් තවා ගන්නවා. කුසල් දහමක අවබෝධයකුත් නෑ. මිනිස් දහමට වඩා උතුම් වූ ආර්ය ඤාණ දර්ශන විශේෂයක් සාක්ෂාත් කිරීමකුත් නෑ.
පින්වත් ගාමණී, මෙහිලා කටුක දිවියක් ගෙවන ඇතැම් තාපසයෙක් ඉන්නවා. “කුසල් දහම් අවබෝධ කරගන්ට ඇත්නම් කොයිතරම් හොඳද. මිනිස් දහමට වඩා උතුම් වූ ආර්ය ඤාණ දර්ශන විශේෂයක් සාක්ෂාත් කරන්ට ඇත්නම් කොයිතරම් හොඳද” කියලා ශ්‍රද්ධාවෙන් ගිහිගෙය අතහැරලා සසුනෙහි පැවිදි වෙනවා. ඔහු තමාව පීඩාවට පත් කරගන්නවා. හාත්පසින් තවා ගන්නවා. කුසල් දහමක අවබෝධයකුත් ගන්නවා. නමුත් මිනිස් දහමට වඩා උතුම් වූ ආර්ය ඤාණ දර්ශන විශේෂයක් සාක්ෂාත් කිරීමක් නෑ.
පින්වත් ගාමණී, මෙහිලා කටුක දිවියක් ගෙවන ඇතැම් තාපසයෙක් ඉන්නවා. “කුසල් දහම් අවබෝධ කරගන්ට ඇත්නම් කොයිතරම් හොඳද. මිනිස් දහමට වඩා උතුම් වූ ආර්ය ඤාණ දර්ශන විශේෂයක් සාක්ෂාත් කරන්ට ඇත්නම් කොයිතරම් හොඳද” කියලා ශ්‍රද්ධාවෙන් ගිහිගෙය අතහැරලා සසුනෙහි පැවිදි වෙනවා. ඔහු තමාව පීඩාවට පත් කරගන්නවා. හාත්පසින් තවා ගන්නවා. කුසල් දහමක අවබෝධයකුත් ගන්නවා. මිනිස් දහමට වඩා උතුම් වූ ආර්ය ඤාණ දර්ශන විශේෂයකුත් සාක්ෂාත් කරනවා.
පින්වත් ගාමණී, එහිලා යම් මේ කටුක ජීවිත ඇති තාපසයෙක් තමාව පීඩාවට පත් කරගන්නවා නම්, හාත්පසින් තවා ගන්නවා නම්, කුසල් දහමක අවබෝධයකුත් නැතිනම්, මිනිස් දහමට වඩා උතුම් වූ ආර්ය ඤාණ දර්ශන විශේෂයක් සාක්ෂාත් කිරීමකුත් නැතිනම් පින්වත් ගාමණී, මේ කටුක දිවි ගෙවන තාපසයා කරුණු තුනකින් ගැරහිය යුතුයි. කවර කරුණු තුනකින් ද ගැරහිය යුත්තේ? තමාව පීඩාවට පත් කරගන්නවා. හාත්පසින් තවා ගන්නවා. මේ පළමු කරුණෙන් ගැරහිය යුතුයි. කුසල් දහමක අවබෝධයකුත් නෑ. මේ දෙවෙනි කරුණෙන් ගැරහිය යුතුයි. මිනිස් දහමට වඩා උතුම් වූ ආර්ය ඤාණ දර්ශන විශේෂයක් සාක්ෂාත් කිරීමකුත් නෑ. මේ තුන්වෙනි කරුණෙන් ගැරහිය යුතුයි. පින්වත් ගාමණී, මේ කටුක දිවි ගෙවන තවුසා මේ කරුණු තුනෙන් ගැරහිය යුතුයි.
පින්වත් ගාමණී, එහිලා යම් මේ කටුක ජීවිත ඇති තාපසයෙක් තමාව පීඩාවට පත් කරගන්නවා නම්, හාත්පසින් තවා ගන්නවා නම්, කුසල් දහමක අවබෝධයකුත් තියෙනවා නම්, මිනිස් දහමට වඩා උතුම් වූ ආර්ය ඤාණ දර්ශන විශේෂයක් සාක්ෂාත් කිරීමකුත් නැතිනම්, පින්වත් ගාමණී, මේ කටුක දිවි ගෙවන තාපසයා කරුණු දෙකකින් ගැරහිය යුතුයි. එක් කරුණකින් පැසසිය යුතුයි. කවර කරුණු දෙකකින් ද ගැරහිය යුත්තේ? තමාව පීඩාවට පත් කරගන්නවා. හාත්පසින් තවා ගන්නවා. මේ පළමු කරුණෙන් ගැරහිය යුතුයි. මිනිස් දහමට වඩා උතුම් වූ ආර්ය ඤාණ දර්ශන විශේෂයක් සාක්ෂාත් කිරීමකුත් නෑ. මේ දෙවෙනි කරුණෙන් ගැරහිය යුතුයි. පැසසිය යුතු එක් කරුණ කුමක්ද? කුසල් දහමක අවබෝධයක් තියෙනවා. මේ එක් කරුණෙන් පැසසිය යුතුයි. පින්වත් ගාමණී, මේ කටුක දිවි ගෙවන තවුසා මේ කරුණු දෙකෙන් ගැරහිය යුතුයි. මේ එක් කරුණෙන් පැසසිය යුතුයි.
පින්වත් ගාමණී, එහිලා යම් මේ කටුක ජීවිත ඇති තාපසයෙක් තමාව පීඩාවට පත් කරගන්නවා නම්, හාත්පසින් තවා ගන්නවා නම්, කුසල් දහමක අවබෝධයකුත් තියෙනවා නම්, මිනිස් දහමට වඩා උතුම් වූ ආර්ය ඤාණ දර්ශන විශේෂයක් සාක්ෂාත් කිරීමකුත් තියෙනවා නම්, පින්වත් ගාමණී, මේ කටුක දිවි ගෙවන තාපසයා එක් කරුණකින් ගැරහිය යුතුයි. දෙකරුණකින් පැසසිය යුතුයි. කවර එක් කරුණකින් ද ගැරහිය යුත්තේ? තමාව පීඩාවට පත් කරගන්නවා. හාත්පසින් තවා ගන්නවා. මේ එක් කරුණෙන් ගැරහිය යුතුයි. පැසසිය යුතු දෙකරුණ කුමක්ද? කුසල් දහමක අවබෝධයකුත් තියෙනවා. මේ පළමු කරුණෙන් පැසසිය යුතුයි. මිනිස් දහමට වඩා උතුම් වූ ආර්ය ඤාණ දර්ශන විශේෂයක් සාක්ෂාත් කිරීමක් තියෙනවා. මේ දෙවෙනි කරුණෙන් පැසසිය යුතුයි. පින්වත් ගාමණී, මේ කටුක දිවි ගෙවන තවුසා මේ එක් කරුණෙන් ගැරහිය යුතුයි. මේ දෙකරුණෙන් පැසසිය යුතුයි.
පින්වත් ගාමණී, මෙහිදී ම දැක්ක යුතු අකාලික වූ, ඒහිපස්සික වූ, තමා තුලට පමුණුවා ගත යුතු වූ, නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් අවබෝධ කළ යුතු වූ මේ කෙලෙස් දිරවීම් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද?
රාගයෙන් ඇලුනු පුද්ගලයෙක් රාගය නිසා ඇති වෙන ප්‍රශ්න වලින් තමාවත් පෙළීමට සිතනවා. අනුන්වත් පෙළීමට සිතනවා. දෙපස ම පෙළීමට සිතනවා. රාගය ප්‍රහීණ වෙලා ගියොත් තමාව පෙළන්ට සිතන්නෙත් නෑ. අනුන්ව පෙළන්ට සිතන්නෙත් නෑ. දෙපසම පෙළන්න සිතන්නෙත් නෑ. මෙහිදීම දැක්ක යුතු අකාලික වූ, ඒහිපස්සික වූ, තමා තුලට පමුණුවා ගත යුතු වූ, නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් අවබෝධ කළ යුතු මෙය කෙලෙස් දිරවීමකි. ද්වේෂයෙන් දුෂ්ඨ වූ පුද්ගලයෙක් ද්වේෂය නිසා ඇති වෙන ප්‍රශ්න වලින් තමාවත් පෙළීමට සිතනවා. අනුන්වත් පෙළීමට සිතනවා. දෙපස ම පෙළීමට සිතනවා. ද්වේෂය ප්‍රහීණ වෙලා ගියොත් තමාව පෙළන්ට සිතන්නෙත් නෑ. අනුන්ව පෙළන්ට සිතන්නෙත් නෑ. දෙපස ම පෙළන්න සිතන්නෙත් නෑ. මෙහිදීම දැක්ක යුතු අකාලික වූ, ඒහිපස්සික වූ, තමා තුලට පමුණුවා ගත යුතු වූ, නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් අවබෝධ කළ යුතු මෙය කෙලෙස් දිරවීමකි. මෝහයෙන් මුළා වූ පුද්ගලයෙක් මෝහය නිසා ඇති වෙන ප්‍රශ්න වලින් තමාවත් පෙළීමට සිතනවා. අනුන්වත් පෙළීමට සිතනවා. දෙපසම පෙළීමට සිතනවා. මෝහය ප්‍රහීණ වෙලා ගියොත් තමාව පෙළන්ට සිතන්නෙත් නෑ. අනුන්ව පෙළන්ට සිතන්නෙත් නෑ. දෙපසම පෙළන්න සිතන්නෙත් නෑ. මෙහිදීම දැක්ක යුතු, අකාලික වූ, ඒහිපස්සික වූ, තමා තුලට පමුණුවා ගත යුතු වූ, නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් අවබෝධ කළ යුතු මෙය කෙලෙස් දිරවීමකි. පින්වත් ගාමණී, මේ වනාහී මෙහිදීම දැක්ක යුතු, අකාලික වූ, ඒහිපස්සික වූ, තමා තුළට පමුණුවා ගත යුතු වූ, නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් අවබෝධ කළ යුතු වූ කෙලෙස් දිරවීම් තුනයි.
මෙසේ වදාළ විට රාසිය ගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළා. ස්වාමීනි, ඉතා සුන්දරයි. ස්වාමීනි, ඉතා සුන්දරයි ….(පෙ)…. අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මා පිළිගන්නා සේක්වා.
සාදු ! සාදු !! සාදු !!!
රාසිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_8-1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M