සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

8.1.13. පාටලිය සුත්තං

8.1.13. පාටලිය ගාමණීට වදාළ දෙසුම

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කෝලිය ජනපදයේ උත්තරක නම් කෝලිය වංශිකයන් ගේ නියම්ගමේ. එදා පාටලිය ගාමණී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ පාටලිය ගාමණී භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසා සිටියා. ස්වාමීනි, මට මේ කරුණ අසන්ට ලැබුණා. “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මායා දන්නවා” කියලා. ස්වාමීනී, යම් කෙනෙක් “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මායා දන්නවා” කියලා මෙහෙම කිව්වාද ස්වාමීනී, ඒ උදවිය භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් ම ද කියන්නේ? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක් නැද්ද? ධර්මයට අනුකූල දෙයක් ම ද කියන්නේ? කරුණු සහිතව වාද නංවා ගැරහීමට පත් කරවන දෙයක් නැද්ද? ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න කැමති නෑ.

පින්වත් ගාමණී, යම් ඒ කෙනෙක් “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මායා දන්නවා” කියලා මෙහෙම කිව්වා නම්, ඒ උදවිය කියලා තියෙන්නේ මා කිවූ දෙයක් ම යි. අභූතයෙන් මට චෝදනා කරලත් නෑ. ධර්මයට අනුකූල දෙයක් ම යි කියලා තියෙන්නේ. කරුණු සහිතව වාද නංවා ගැරහිය යුතු දෙයකට පැමිණෙන්නෙත් නෑ. පින්වත්නි, එහෙම නම් අපි “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මායා දන්නවා” කියන ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ සත්‍ය වූ ම කථාව අදහන්නේ නෑ. නමුත් පින්වත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මායා ඇති කෙනෙක් ම යි. පින්වත් ගාමණී, යමෙක් මෙහෙම කියනවා නම්, “මං මායා දන්නවා” කියලා. ඔහු “මං මායා ඇති කෙනෙක්” කියලා මෙහෙම කිව්වා වෙනවාද? භාග්‍යවතුන් වහන්ස, ඒක ඒ විදිහ නේන්නම්. සුගතයන් වහන්ස, ඒක ඒ විදිහ නේන්නම්. එසේ වී නම් පින්වත් ගාමණී, මෙකරුණ ගැන ඔබගෙන් ම විමසන්නම් ඔබට යම් අයුරකින් වැටහේ නම් ඒ විදිහට උත්තර දෙන්න.

පින්වත් ගාමණී, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? පින්වත් ගාමණී, ඔබ කෝලිය රජුන් ගේ ලම්බචූළක භටයන් ගැන දන්නවාද? ස්වාමීනි, මං කෝලිය රජුන්ගේ ලම්බචූළක භටයන් ගැන දන්නවා. පින්වත් ගාමණී, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? ඔය කෝලියයන් ගේ ලම්බචූළක භටයන් ඉන්නේ කුමක් සඳහාද? ස්වාමීනි, කෝලියයන් හට යම් සොරුන් ඉන්නවා නම් ඔවුන්ව වළක්වන්නටත් කෝලියයන්ගේ යම් පණිවිඩපණත් ඇත්නම් ඒවා රැගෙන යාමටත් ය. ස්වාමීනි, කෝලියයන් ගේ ලම්බචූළක භටයන් ඉන්නේ ඔන්න ඔය කාරණය පිණිසයි. පින්වත් ගාමණී, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? කෝලියයන්ගේ ලම්බචූළක භටයන් ගැන ඔබ දන්නේ ඔවුන් සිල්වත් කියලද? දුස්සීලයි කියලද? ස්වාමීනි, කෝලියයන්ගේ ලම්බචූළක භටයන් ගැන මා දන්නේ ඔවුන් දුස්සීල, පවිටු දහම් ඇති අය බවයි. ලෝකයෙහි දුස්සීල වූ පවිටු දහම් ඇති යමෙක් ඇත්නම්, කෝලියයන්ගේ ලම්බචූළක භටයිනුත් ඉන්නේ ඔවුන් අතර තමයි.

එතකොට පින්වත් ගාමණී, යම් කෙනෙක් මෙහෙම කිව්වොත් “පාටලිය ගාමණී කෝලියයන්ගේ දුස්සීල වූ, පවිටු දහම් ඇති ලම්බචූළක භටයන්ව දන්නවා. එනිසා පාටලිය ගාමණීත් දුස්සීලයි. පවිටු දහමින් යුක්තයි” කියලා. ඒ කෙනා හරි දේ කිව්ව වෙනවාද? ස්වාමීනි, එය නොවේමය. ස්වාමීනි, කෝලියයන්ගේ ලම්භචූළක භටයන් වෙන පිරිසක් නොවැ. මං වෙන කෙනෙක් නොවැ. කෝලියයන්ගේ ලම්භචූළක භටයන් වෙන ස්වභාවයකින් යුක්තයි. මං වෙන ස්වභාවයකින් යුක්තයි. එතකොට පින්වත් ගාමණී, “පාටලිය ගාමණී කෝලියයන්ගේ දුස්සීල වූ, පවිටු දහම් ඇති ලම්භචූළක භටයන්ව දන්නවා. නමුත් පාටලිය ගාමණී දුස්සීල කෙනෙක් නොවේ. පවිටු දහම් ඇති කෙනෙක් නොවේ” යන කරුණ ඔබට ලබන්ට පුළුවන් නම්, “තථාගතයන් වහන්සේ මායා දන්නවා. නමුත් තථාගතයන් වහන්සේ මායා ඇති කෙනෙක් නොවේ” යන කරුණ තථාගතයන් වහන්සේ නොලබන්නේ මක් නිසාද?

පින්වත් ගාමණී, මං මායා ගැනත් දන්නවා. මායාවේ ඇති විපාක ගැනත් දන්නවා. යම් අයුරකින් මායා ඇති කෙනෙක් ජීවත් වෙනවා නම්, කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා නම් ඒකත් දන්නවා. පින්වත් ගාමණී, මං සතුන් මැරීම යනු කුමක්ද කියලත් දන්නවා. සතුන් මැරීමේ විපාකත් දන්නවා. යම් අයුරකින් සතුන් මරණ කෙනෙක් ජීවත් වෙනවා නම් කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා නම් ඒකත් දන්නවා. පින්වත් ගාමණී, මං සොරකම් කිරීම යනු කුමක්ද කියලත් දන්නවා. සොරකම් කිරීමේ විපාකත් දන්නවා. යම් අයුරකින් සොරකම් කරන කෙනෙක් ජීවත් වෙනවා නම් කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා නම් ඒකත් දන්නවා. පින්වත් ගාමණී, මං කාමයෙහි වරදවා හැසිරීම යනු කුමක්ද කියලත් දන්නවා. කාමයෙහි වරදවා හැසිරීමේ විපාකත් දන්නවා. යම් අයුරකින් කාමයෙහි වරදවා හැසිරෙන කෙනෙක් ජීවත් වෙනවා නම්, කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා නම් ඒකත් දන්නවා. පින්වත් ගාමණී, මං බොරු කීම යනු කුමක්ද කියලත් දන්නවා. බොරු කීමේ විපාකත් දන්නවා. යම් අයුරකින් බොරු කියන කෙනෙක් ජීවත් වෙනවා නම්, කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා නම් ඒකත් දන්නවා. පින්වත් ගාමණී, මං කේළාම් කීම යනු කුමක්ද කියලත් දන්නවා. කේළාම් කීමේ විපාකත් දන්නවා. යම් අයුරකින් කේළාම් කියන කෙනෙක් ජීවත් වෙනවා නම්, කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා නම් ඒකත් දන්නවා. පින්වත් ගාමණී, මං ඵරුෂ වචන කීම යනු කුමක්ද කියලත් දන්නවා. ඵරුෂ වචන කීමේ විපාකත් දන්නවා. යම් අයුරකින් ඵරුෂ වචන කියන කෙනෙක් ජීවත් වෙනවා නම්, කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා නම් ඒකත් දන්නවා. පින්වත් ගාමණී, මං හිස් වචන කීම යනු කුමක්ද කියලත් දන්නවා. හිස් වචන කීමේ විපාකත් දන්නවා. යම් අයුරකින් හිස් වචන කියන කෙනෙක් ජීවත් වෙනවා නම්, කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා නම් ඒකත් දන්නවා.

පින්වත් ගාමණී, මං විෂම ලෝභය යනු කුමක්ද කියලත් දන්නවා. විෂම ලෝභයේ විපාකත් දන්නවා. යම් අයුරකින් විෂම ලෝභය ඇති කෙනෙක් ජීවත් වෙනවා නම්, කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා නම් ඒකත් දන්නවා. පින්වත් ගාමණී, මං කෝප වී ද්වේෂ සහිත වීම යනු කුමක්ද කියලත් දන්නවා. කෝප වී ද්වේෂ සහිත වීමේ විපාකත් දන්නවා. යම් අයුරකින් කෝප වී ද්වේෂයෙන් යුතු කෙනෙක් ජීවත් වෙනවා නම්, කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා නම් ඒකත් දන්නවා. පින්වත් ගාමණී, මං මිත්‍යා දෘෂ්ටිය යනු කුමක්ද කියලත් දන්නවා. මිත්‍යා දෘෂ්ටියේ විපාකත් දන්නවා. යම් අයුරකින් මිත්‍යා දෘෂ්ටික කෙනෙක් ජීවත් වෙනවා නම්, කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා නම් ඒකත් දන්නවා.

පින්වත් ගාමණී, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් මෙහෙමයි කියන්නේ. මෙහෙම දෘෂ්ටියකයි ඉන්නේ. යම් කිසි කෙනෙක් සතුන් මරණවා නම්, ඒ සියලු දෙනා මෙලොවදී ම දුක් දොම්නස් විඳිනවා කියල. යම් කිසි කෙනෙක් සොරකම් කරනවා නම්, ඒ සියලු දෙනා මෙලොවදී ම දුක් දොම්නස් විඳිනවා කියල. යම් කිසි කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙනවා නම්, ඒ සියලු දෙනා මෙලොවදී ම දුක් දොම්නස් විඳිනවා කියල. යම් කිසි කෙනෙක් බොරු කියනවා නම්, ඒ සියලු දෙනා මෙලොවදී ම දුක් දොම්නස් විඳිනවා කියල.

නමුත් පින්වත් ගාමණී, මෙහි ඇතැම් කෙනෙක්ව දකින්ට ලැබෙනවා මල් මාලා දාල, කන කර ආභරණ පැළඳගෙන, හොඳට වතුර නාල, සුවඳ විලවුන් දාල, කොණ්ඩා මෝස්තර දාල, රජෙක් වගේ ස්ත්‍රී කාමයන් සහිතව ඉඳුරන් පිනවනවා. ඔහු ගැන මෙහෙම අහනවා. “භවත්නි, මේ පුරුෂයා කුමක් කරලද මල් මාලා දාල, කන කර ආභරණ පැළඳගෙන, හොඳට වතුර නාල, සුවඳ විලවුන් දාල, කොණ්ඩා මෝස්තර දාල. රජෙක් වගේ ස්ත්‍රී කාමයන් සහිතව ඉඳුරන් පිනවන්නේ?” එතකොට ඔහුට මෙහෙම කියනවා. “භවත්නි, මේ පුරුෂයා රජ්ජුරුවන්ගේ සතුරෙක්ව යටත් කරල මරල දැම්මා. ඔහුට රජතුමා සතුටු වෙලා තෑගිභෝග දුන්නා. ඒ නිසයි මේ පුරුෂයා මල් මාලා දාල, කන කර ආභරණ පැළඳගෙන, හොඳට වතුර නාල, සුවඳ විලවුන් දාල, කොණ්ඩා මෝස්තර දාල. රජෙක් වගේ ස්ත්‍රී කාමයන් සහිතව ඉඳුරන් පිනවන්නේ.”

පින්වත් ගාමණී, මෙහි ඇතැම් කෙනෙකුව දකින්ට ලැබෙනවා. ඔහුව දැඩි රැහැන් පටින් අත් පිටුපසට කරල දැඩි ලෙස බැඳලා, හිස මුඩු කරලා, රළු හඬ නඟන බෙරයෙන් යුතුව පාරක් පාරක් ගානේ, හතරමං හංදියක් ගානේ අරගෙන ගිහින් දකුණු දොරෙන් නික්මිලා නගරයෙන් දකුණු දිශාවේ හිස ගසනු ලබනවා. එතකොට ඔහු ගැන මෙහෙම අහනවා. “භවත්නි, මේ පුරුෂයා මොකක්ද කළේ? දැඩි රැහැන් පටින් අත් පිටුපසට කරල දැඩි ලෙස බැඳලා, හිස මුඩු කරලා, රළු හඬ නඟන බෙරයෙන් යුතුව පාරක් පාරක් ගානේ, හතරමං හංදියක් ගානේ අරගෙන ගිහින් දකුණු දොරෙන් නික්මිලා නගරයෙන් දකුණු දිශාවේ හිස ගසනු ලබන්නේ?” එතකොට ඔහුට මෙහෙම කියනවා. “භවත්නි, මේ පුරුෂයා රජතුමාගේ සතුරෙක්. ස්ත්‍රියකව හරි පුරුෂයෙකුව හරි මරල දාල. ඒ නිසයි රජතුමා මෙයාව අල්ලගෙන ඔය විදිහට වධවේදනා දෙන්නේ.” පින්වත් ගාමණී, ඒ ගැන ඔබ මොකක්ද හිතන්නේ? මෙබඳු වූ දේවල් ගැන ඔබ අහල හෝ දැකල හෝ තියෙනවාද? ස්වාමීනි, අපට දකින්ට ලැබිල තියෙනවා. අසන්ට ලැබිලත් තියෙනවා. ඉදිරියෙදිත් අසාවි.

පින්වත් ගාමණී, එහිලා යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මෙහෙම කියනවා නම්, මෙහෙම දෘෂ්ටියකින් ඉන්නවා නම්, “යම් කිසිවෙක් ප්‍රාණඝාතයේ යෙදෙනවා නම්, ඒ සියලු දෙනාම මේ ජීවිතයේදී ම දුක් දොම්නස් විඳිනවා.” කියලා. ඔවුන් කියලා තියෙන්නේ ඇත්තක් ද? බොරුවක් ද? ස්වාමීනි, බොරුවක් ම යි. යම් ඒ කෙනෙක් වනාහී හිස් බොරු දොඩවනවා නම්, ඔවුන් සිල්වත් ද? දුස්සීලයි ද? ස්වාමීනි, දුස්සීලයි. යම් ඒ කෙනෙක් වනාහී දුස්සීල නම්, පවිටු දහමින් යුතු නම්, ඔවුන් වැරදියට ද පිළිපදින්නේ? හරියට ද පිළිපදින්නේ? ස්වාමීනි, ඔවුන් වැරදියටයි පිළිපදින්නේ. යම් ඒ කෙනෙක් වනාහී වැරදියට පිළිපදිනවා නම් ඔවුන් මිත්‍යා දෘෂ්ටිකයි ද? සම්‍යක් දෘෂ්ටිකයි ද? ස්වාමීනි, මිත්‍යා දෘෂ්ටිකයි. යම් ඒ කෙනෙක් වනාහී මිත්‍යා දෘෂ්ටිකයි නම් ඔවුන්ට පහදින්ට වටිනවා ද? ස්වාමීනි, එය නොවේ ම ය.

ඒ වගේම පින්වත් ගාමණී, මෙහි ඇතැම් කෙනෙක්ව දකින්ට ලැබෙනවා. මල් මාලා දාල, කන කර ආභරණ පැළඳගෙන ….(පෙ)…. රජෙක් වගේ ස්ත්‍රී කාමයන් සහිතව ඉඳුරන් පිනවනවා. ඔහු ගැන මෙහෙම අහනවා. “භවත්නි, මේ පුරුෂයා කුමක් කරලද මල් මාලා දාල, කන කර ආභරණ පැළඳගෙන ….(පෙ)…. රජෙක් වගේ ස්ත්‍රී කාමයන් සහිතව ඉඳුරන් පිනවන්නේ?” එතකොට ඔහුට මෙහෙම කියනවා. “භවත්නි, මේ පුරුෂයා රජ්ජුරුවන්ගේ සතුරෙක්ව යටත් කරලා, මැණික් බලෙන් පැහැර ගත්තා. ඔහුට රජතුමා සතුටු වෙලා තෑගිභෝග දුන්නා. ඒ නිසයි මේ පුරුෂයා මල් මාලා දාල, කන කර ආභරණ පැළඳගෙන ….(පෙ)…. රජෙක් වගේ ස්ත්‍රී කාමයන් සහිතව ඉඳුරන් පිනවන්නේ.”

ඒ වගේම පින්වත් ගාමණී, මෙහි ඇතැම් කෙනෙක්ව දකින්ට ලැබෙනවා. ඔහුව දැඩි රැහැන් පටින් ….(පෙ)…. නගරයෙන් දකුණු දිශාවේ හිස ගසනු ලබනවා. එතකොට ඔහු ගැන මෙහෙම අහනවා. “භවත්නි, මේ පුරුෂයා මොකක්ද කළේ? දැඩි රැහැන් පටින් ….(පෙ)…. නගරයෙන් දකුණු දිශාවේ හිස ගසනු ලබන්නේ?” එතකොට ඔහුට මෙහෙම කියනවා. “භවත්නි, මේ පුරුෂයා ගමකින් හරි, අරණකින් හරි නොදුන් දෙයක් සොර සිතින් අරගත්තා. ඒ නිසයි රජතුමා මෙයාව අල්ලගෙන ඔය විදිහට වධවේදනා දෙන්නේ.” පින්වත් ගාමණී, ඒ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මෙබඳු වූ දේවල් ගැන ඔබ අහල හෝ දැකල හෝ තියෙනවාද? ස්වාමීනි, අපට දකින්ට ලැබිල තියෙනවා. අසන්ට ලැබිලත් තියෙනවා. ඉදිරියේදීත් අසාවි. පින්වත් ගමණී, එහිලා යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මෙහෙම කියනවා නම්, මෙහෙම දෘෂ්ටියකින් ඉන්නවා නම්, “යම් කිසිවෙක් සොරකමේ යෙදෙනවා නම්, ඒ සියලු දෙනා ම මේ ජීවිතයේදී ම දුක් දොම්නස් විඳිනවා” කියල. ඔවුන් කියලා තියෙන්නේ ඇත්තක්ද? බොරුවක්ද? ….(පෙ)…. ඔවුන්ට පහදින්ට වටිනවාද? ස්වාමීනි, එය නොවේමය.

ඒ වගේම පින්වත් ගාමණී, මෙහි ඇතැම් කෙනෙක්ව දකින්ට ලැබෙනවා. මල් මාලා දාල, කන කර ආභරණ පැළඳගෙන ….(පෙ)…. රජෙක් වගේ ස්ත්‍රී කාමයන් සහිතව ඉඳුරන් පිනවනවා. ඔහු ගැන මෙහෙම කියනවා. “භවත්නි, මේ පුරුෂයා කුමක් කරලද මල් මාලා දාල, කන කර ආභරණ පැළඳගෙන ….(පෙ)…. රජෙක් වගේ ස්ත්‍රී කාමයන් සහිතව ඉඳුරන් පිනවන්නේ?” එතකොට ඔහුට මෙහෙම කියනවා. “භවත්නි, මේ පුරුෂයා රජ්ජුරුවන් ගේ සතුරෙකුගේ බිරින්දෑවරුන් දූෂණය කළා. ඔහුට රජතුමා සතුටු වෙලා තෑගිභෝග දුන්නා. ඒ නිසයි මේ පුරුෂයා මල් මාලා දාල, කන කර ආභරණ පැළඳගෙන ….(පෙ)…. රජෙක් වගේ ස්ත්‍රී කාමයන් සහිතව ඉඳුරන් පිනවන්නේ.

ඒ වගේම පින්වත් ගාමණී, මෙහි ඇතැම් කෙනෙක්ව දකින්ට ලැබෙනවා. ඔහුව දැඩි රැහැන් පටින් ….(පෙ)…. නගරයෙන් දකුණු දිශාවේ හිස ගසනු ලබනවා. එතකොට ඔහු ගැන මෙහෙම අහනවා. “භවත්නි, මේ පුරුෂයා මොකක්ද කළේ? දැඩි රැහැන් පටින් ….(පෙ)…. නගරයෙන් දකුණු දිශාවේ හිස ගසනු ලබන්නේ?” එතකොට ඔහුට මෙහෙම කියනවා. “භවත්නි මේ පුරුෂයා කුල ස්ත්‍රීන් කෙරෙහි, කුල කුමරියන් කෙරෙහි වරදවා පිළිපැදලා. ඒ නිසයි රජතුමා මෙයාව අල්ලගෙන ඔය විදිහට වධවේදනා දෙන්නේ.” පින්වත් ගාමණී, ඒ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මෙබඳු වූ දේවල් ගැන ඔබ අහල හෝ දැකල හෝ තියෙනවාද? ස්වාමීනි, අපට දකින්ට ලැබිල තියෙනවා. අසන්ට ලැබිලත් තියෙනවා. ඉදිරියේදීත් අසාවි. පින්වත් ගාමණී, එහිලා යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මෙහෙම කියනවා නම්, මෙහෙම දෘෂ්ටියකින් ඉන්නවා නම්, “යම් කිසිවෙක් කාමයෙහි වරදවා හැසිරෙනවා නම්, ඒ සියලු දෙනා ම මේ ජීවිතයේදී ම දුක් දොම්නස් විඳිනවා” කියල. ඔවුන් කියලා තියෙන්නේ ඇත්තක්ද? බොරුවක්ද? ….(පෙ)…. ඔවුන්ට පහදින්ට වටිනවාද? ස්වාමීනි, එය නොවේමය.

ඒ වගේ ම පින්වත් ගාමණී, මෙහි ඇතැම් කෙනෙක්ව දකින්ට ලැබෙනවා. මල් මාලා දාල, කන කර ආභරණ පැළඳගෙන, හොඳට වතුර නාල, සුවඳ විලවුන් දාල, කොණ්ඩා මෝස්තර දාල, රජෙක් වගේ ස්ත්‍රී කාමයන් සහිතව ඉඳුරන් පිනවනවා. ඔහු ගැන මෙහෙම අහනවා. “භවත්නි, මේ පුරුෂයා කුමක් කරලද මල් මාලා දාල, කන කර ආභරණ පැළඳගෙන, හොඳට වතුර නාල, සුවඳ විලවුන් දාල, කොණ්ඩා මෝස්තර දාල, රජෙක් වගේ ස්ත්‍රී කාමයන් සහිතව ඉඳුරන් පිනවන්නේ?” එතකොට ඔහුට මෙහෙම කියනවා. “භවත්නි, මේ පුරුෂයා රජ්ජුරුවන්ට බොරු කියලා හිනැස්සුවා. ඔහුට රජතුමා සතුටු වෙලා තෑගිභෝග දුන්නා. ඒ නිසයි මේ පුරුෂයා මල් මාලා දාල, කන කර ආභරණ පැළඳගෙන, හොඳට වතුර නාල, සුවඳ විලවුන් දාල, කොණ්ඩා මෝස්තර දාල, රජෙක් වගේ ස්ත්‍රී කාමයන් සහිතව ඉඳුරන් පිනවන්නේ.

පින්වත් ගාමණී, මෙහි ඇතැම් කෙනෙකුව දකින්ට ලැබෙනවා. ඔහුව දැඩි රැහැන් පටින් අත් පිටුපසට කරල දැඩි ලෙස බැඳලා, හිස මුඩු කරලා, රළු හඬ නඟන බෙරයෙන් යුතුව පාරක් පාරක් ගානේ, හතරමං හංදියක් ගානේ අරගෙන ගිහින් දකුණු දොරෙන් නික්මිලා නගරයෙන් දකුණු දිශාවේ හිස ගසනු ලබනවා. එතකොට ඔහු ගැන මෙහෙම අහනවා. “භවත්නි, මේ පුරුෂයා මොකක්ද කළේ? දැඩි රැහැන් පටින් අත් පිටුපසට කරල දැඩි ලෙස බැඳලා, හිස මුඩු කරලා, රළු හඬ නඟන බෙරයෙන් යුතුව පාරක් පාරක් ගානේ, හතරමං හංදියක් ගානේ අරගෙන ගිහින් දකුණු දොරෙන් නික්මිලා නගරයෙන් දකුණු දිශාවේ හිස ගසනු ලබන්නේ?” එතකොට ඔහුට මෙහෙම කියනවා. “භවත්නි, මේ පුරුෂයා ගෘහපතියෙකුට හරි ගෘහපති පුත්‍රයෙකුට හරි බොරුවෙන් ධන හානි කරලා. ඒ නිසයි රජතුමා මෙයාව අල්ලගෙන ඔය විදිහට වධවේදනා දෙන්නේ.” පින්වත් ගාමණී, ඒ ගැන ඔබ මොකක්ද හිතන්නේ? මෙබඳු වූ දේවල් ගැන ඔබ අහල හෝ දැකල හෝ තියෙනවාද? ස්වාමීනි, අපට දකින්ට ලැබිල තියෙනවා. අසන්ට ලැබිලත් තියෙනවා. ඉදිරියේදිත් අසාවි.

පින්වත් ගාමණී, එහිලා යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මෙහෙම කියනවා නම්, මෙහෙම දෘෂ්ටියකින් ඉන්නවා නම්, “යම් කිසිවෙක් බොරු කියනවා නම්, ඒ සියලු දෙනා ම මේ ජීවිතයේදී ම දුක් දොම්නස් විඳිනවා.” කියලා. ඔවුන් කියලා තියෙන්නේ ඇත්තක්ද? බොරුවක්ද? ස්වාමීනි, බොරුවක් ම යි. යම් ඒ කෙනෙක් වනාහී හිස් බොරු දොඩවනවා නම්, ඔවුන් සිල්වත්ද? දුස්සීලයිද? ස්වාමීනි, දුස්සීලයි. යම් ඒ කෙනෙක් වනාහී දුස්සීල නම්, පවිටු දහමින් යුතු නම්, ඔවුන් වැරදියට ද පිළිපදින්නේ? හරියට ද පිළිපදින්නේ? ස්වාමීනි, ඔවුන් වැරදියටයි පිළිපදින්නේ. යම් ඒ කෙනෙක් වනාහී වැරදියට පිළිපදිනවා නම් ඔවුන් මිත්‍යා දෘෂ්ටිකයිද? සම්‍යක් දෘෂ්ටිකයිද? ස්වාමීනි, මිත්‍යා දෘෂ්ටිකයි. යම් ඒ කෙනෙක් වනාහී මිත්‍යා දෘෂ්ටිකයි නම් ඔවුන්ට පහදින්ට වටිනවාද? ස්වාමීනි, එය නොවේ ම ය.

ස්වාමීනි, ආශ්චර්යයි. ස්වාමීනි, පුදුම සහගතයි. ස්වාමීනි, මට ආවාස ගෙයක් තියෙනවා. ඒ ගෙදර ඇඳනුත් තියෙනවා. ආසනත් තියෙනවා. මහා දිය සැලියකුත් තියෙනවා. තෙල්පහනුත් තියෙනවා. ඒ ගෙදරට යම් ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා නවතින්ට එනවා නම්, මං ශක්ති පමණින්, බල පමණින් ඔහුත් සමඟ බෙදාහදා ගන්නවා. ස්වාමීනි, කලින් වෙච්ච දෙයක් කියන්නම්. නොයෙක් මත දරන්නා වූ, නොයෙක් අදහස් ඇත්තා වූ, නොයෙක් රුචි ඇත්තා වූ ශාස්තෘවරු හතර දෙනෙක් ඒ ආවාස ගෙදර නවතින්ට ආවා. එක ශාස්තෘවරයෙක් මේ විදිහට කියන, මේ විදිහේ මතයක් ගත්තු කෙනෙක්. “දානයෙහි විපාක නැත. පූජාවෙහි විපාක නැත. සේවාවන්හි විපාක නැත. හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක නැත. මෙලොව කියා දෙයක් නැත. පරලොව කියා දෙයක් නැත. මව් කියා කෙනෙක් නැත. පියා කියා කෙනෙක් නැත. ඕපපාතික සතුන් නැත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තමන් ගේ ම විශිෂ්ට නුවණින් අවබෝධ කොට පවසයිද යහපත් ගමනක් ගිය, යහපතෙහි පිළිපන් එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි නැත” කියලා.

එක ශාස්තෘවරයෙක් මේ විදිහට කියන, මේ විදිහේ මතයක් ගත්තු කෙනෙක්. “දානයෙහි විපාක ඇත. පූජාවෙහි විපාක ඇත. සේවාවන්හි විපාක ඇත. හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක ඇත. මෙලොව කියා දෙයක් ඇත. පරලොව කියා දෙයක් ඇත. මව් කියා කෙනෙක් ඇත. පියා කියා කෙනෙක් ඇත. ඕපපාතික සතුන් ඇත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තමන් ගේ ම විශිෂ්ට නුවණින් අවබෝධ කොට පවසයිද යහපත් ගමනක් ගිය, යහපතෙහි පිළිපන් එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ඇත” කියලා.

එක ශාස්තෘවරයෙක් මේ විදිහට කියන, මේ විදිහේ මතයක් ගත්තු කෙනෙක්. “කරන කෙනාට, අනුන් ලවා කරවන කෙනාට, අනුන්ගේ අත් පා සිඳින කෙනාට, අනුන්ගේ අත් පා සිඳවන කෙනාට, අනුන්ව පෙළන කෙනාටත්, පෙළවන කෙනාටත්, අනුන්ව සෝකයට පත් කරන කෙනාටත්, අනුන්ව වෙහෙසන කෙනාටත්, අනුන්ව කම්පා කරන කෙනාටත්, කම්පා කරවන කෙනාටත්, සතුන් මරණ කෙනාටත්, නොදුන් දෙය සොරකම් කරන කෙනාටත්, ගෙවල් බිඳින කෙනාටත්, මං පහරන කෙනාටත්, එක ගෙයක් වට කොට කොල්ලකන කෙනාටත්, මඟරැක සිට කොල්ලකන කෙනාටත්, පර ස්ත්‍රීන් කරා යන කෙනාටත්, බොරු කියන කෙනාටත්, ඒවා කරවන කෙනාටත්, එයින් පවක් නොකෙරෙයි. ඉතා තියුණු මුවහත් ඇති ආයුධයක් ගෙන මේ පොළොවෙහි සියලු සතුන් එකම මස් ගොඩක් බවට, එකම මස් පිණ්ඩයක් බවට පත් කෙරුවත්, ඒ හේතුවෙන් සිදුවෙන පවක් නෑ. පාපයෙහි නැවත පැමිණීමක් නෑ. ඉදින් වනසමින්, ඝාතනය කරමින්, සිඳමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින් දකුණු ගං තෙර දක්වා ගියත්, ඒ හේතුවෙන් සිදුවෙන පවක් නෑ. පාපයෙහි නැවත පැමිණීමක් නෑ. ඉදින් දන් දෙමින්, දෙවමින්, යාග කරමින්, යාග කරවමින්, උතුරු ගං තෙර දක්වා ගියත්, ඒ හේතුවෙන් සිදුවෙන පිනක් නෑ. පිනෙහි නැවත පැමිණීමක් නෑ. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සීල සංවරයෙන්, සත්‍ය වචනයෙන් පිනක් ලැබෙන්නේ නෑ. පිනක ආපසු පැමිණීමක් නෑ.”

එක ශාස්තෘවරයෙක් මේ විදිහට කියන, මේ විදිහේ මතයක් ගත්තු කෙනෙක්. “කරන කෙනාට, අනුන් ලවා කරවන කෙනාට, අනුන්ගේ අත් පා සිඳින කෙනොට, අනුන්ගේ අත් පා සිඳවන කෙනොට, අනුන්ව පෙළන කෙනාටත්, පෙළවන කෙනාටත්, අනුන්ව සෝකයට පත් කරන කෙනාටත්, අනුන්ව වෙහෙසන කෙනාටත්, අනුන්ව කම්පා කරන කෙනාටත්, කම්පා කරවන කෙනාටත්, සතුන් මරණ කෙනාටත්, නොදුන් දෙය සොරකම් කරන කෙනාටත්, ගෙවල් බිඳින කෙනාටත්, මං පහරන කෙනාටත්, එක ගෙයක් වට කොට කොල්ලකන කෙනාටත්, මඟ රැක සිට කොල්ලකන කෙනාටත්, පර ස්ත්‍රීන් කරා යන කෙනාටත්, බොරු කියන කෙනාටත්, ඒවා කරවන කෙනාටත්, එයින් පවක් කෙරෙයි. ඉතා තියුණු මුවහත් ඇති ආයුධයක් ගෙන මේ පොළොවෙහි සියලු සතුන් එකම මස් ගොඩක් බවට, එකම මස් පිණ්ඩයක් බවට පත් කෙරුවත්, ඒ හේතුවෙන් පවක් සිදුවෙනවා. පාපයෙහි නැවත පැමිණීමක් තියෙනවා. ඉදින් වනසමින්, ඝාතනය කරමින්, සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින් දකුණු ගං තෙර දක්වා ගියත්, ඒ හේතුවෙන් පවක් සිදුවෙනවා. පාපයෙහි නැවත පැමිණීමක් තියෙනවා. ඉදින් දන් දෙමින්, දෙවමින්, යාග කරමින්, යාග කරවමින්, උතුරු ගං තෙර දක්වා ගියත්, ඒ හේතුවෙන් පිනක් සිදුවෙනවා. පිනෙහි නැවත පැමිණීමක් තියෙනවා. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සීල සංවරයෙන්, සත්‍ය වචනයෙන් පිනක් ලැබෙනවා. පිනක ආපසු පැමිණීමක් තියෙනවා” කියලා.

ස්වාමීනි, මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් කවුරු නම් ඇත්ත කියනවාද? කවුරු නම් බොරු කියනවාදැ? යි කියලා ඒ මට බොහෝ ම සැක ඇති වුණා. විචිකිච්ඡා ඇති වුණා.

පින්වත් ගාමණී, සැක කරන්ට සුදුසු ම යි. විචිකිච්ඡා කරන්ට සුදුසු ම යි. සැක ඇති විය යුතු තැන ම යි ඔබට විචිකිච්ඡාව උපන්නේ. ස්වාමීනි, යම් අයුරකින් මේ සැක දුරු වෙනවා නම් ඒ අයුරින් භාග්‍යවතුන් වහන්සේ මට ධර්ම දේශනා කරන්න දක්ෂ වන සේක් ය කියලා මං මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිලයි ඉන්නේ.

පින්වත් ගාමණී, ධම්ම සමාධිය තියෙනවා. ඔබ අන්න ඒ ගැන චිත්ත සමාධියක් ඇති කර ගන්නවා නම්, ඔය විදිහට යි ඔබ මේ සැක සංකා අත්හරින්නේ. පින්වත් ගාමණී, ධම්ම සමාධිය යනු කුමක්ද? පින්වත් ගාමණී, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සතුන් මැරීම අත්හැරලා, සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා. දඬුමුඟුරු අත්හරිනවා. අවිආයුධ අත්හරිනවා. සතුන් මැරීමෙහි ලැජ්ජා වෙනවා. දයාවන්ත කෙනෙක් වෙනවා. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. සොරකම අත්හරිනවා. සොරකමින් වැළකුණු කෙනෙක් වෙනවා. කාමයෙහි වරදවා හැසිරීම අත්හරිනවා. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණු කෙනෙක් වෙනවා. බොරු කීම අත්හරිනවා. බොරු කීමෙන් වැළකුණු කෙනෙක් වෙනවා. කේළාම් කීම අත්හරිනවා. කේළාම් කීමෙන් වැළකුණු කෙනෙක් වෙනවා. ඵරුෂ වචන කීම අත්හරිනවා. ඵරුෂ වචන කීමෙන් වැළකුණු කෙනෙක් වෙනවා. හිස් වචන කීම අත්හරිනවා. හිස් වචන කීමෙන් වැළකුණු කෙනෙක් වෙනවා. විෂම ලෝභය අත්හරිනවා. විෂම ලෝභයෙන් වැළකුණු කෙනෙක් වෙනවා. කෝප වී ද්වේෂය ඇතිවීම අත්හරිනවා. කෝප වී ද්වේෂය ඇති වීමෙන් වැළකුණු කෙනෙක් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය අත්හරිනවා. සම්මා දිට්ඨියෙන් යුතු කෙනෙක් වෙනවා.

පින්වත් ගාමණී, ඒ මේ ආර්ය ශ්‍රාවකයා මේ අයුරින් විෂම ලෝභය දුරු කොට, ව්‍යාපාදය දුරු කොට, සිහිමුළා නොවී, මනා නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවත්, ඒ වගේම තුන්වෙනි දිශාවත්, ඒ වගේම හතරවෙනි දිශාවත්, ඒ වගේම උඩ, යට, හරහට, සෑම තැනකට ම, සෑම සත්වයෙක් කෙරෙහි ම මේ සකල ලෝකයට ම මෛත්‍රී සහගත සිතින් යුතුව, විපුල වූ මහත් බවට පැමිණි, ප්‍රමාණ රහිත වූ, වෛර නැති, තරහ නැති මෙත් සිත පතුරුවා වාසය කරනවා. ඔහු මේ විදිහට නුවණින් සළකා බලනවා. යම් මේ ශාස්තෘවරයෙක් “දානයෙහි විපාක නැත. පූජාවෙහි විපාක නැත. සේවාවන්හි විපාක නැත. හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක නැත. මෙලොව කියා දෙයක් නැත. පරලොව කියා දෙයක් නැත. මව් කියා කෙනෙක් නැත. පියා කියා කෙනෙක් නැත. ඕපපාතික සතුන් නැත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තමන් ගේම විශිෂ්ට නුවණින් අවබෝධ කොට පවසයි ද, යහපත් ගමනක් ගිය, යහපතෙහි පිළිපන් එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි නැත” කියලා මෙවැනි දේ කියනවාද, මෙවැනි මතයක් දරනවාද, ඉදින් ඒ භවත් ශාස්තෘවරයාගේ වචනය ඇත්තක් වුණත්, යම් බඳු මං තැති ගන්නා වූ හෝ තැති නොගන්නා වූ හෝ කිසි සත්වයෙක් පෙළන්නේ නැත්නම්, එය මාගේ නිරපරාද බවට හේතු වේ. ඒ වගේම මං කයෙන් සංවර වෙනවා නම්, වචනයෙන් සංවර වෙනවා නම්, මනසින් සංවර වෙනවා නම්, ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා යන කරුණක් ඇද්ද, මට මෙහිලා දෙකම ජය ගන්ට පුළුවනි. එතකොට ඔහුට ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය තියෙන කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති සිතක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. කය සංසිඳුන කෙනා සැප විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. පින්වත් ගාමණී, මේක තමයි ඒ ධම්මසමාධිය. ඉදින් ඔබ එහිලා චිත්ත සමාධිය ඇති කර ගන්නවා නම්, එතකොට ඔබ මේ සැකය අත්හරිනවා.

පින්වත් ගාමණී, ඒ මේ ආර්ය ශ්‍රාවකයා මේ අයුරින් විෂම ලෝභය දුරු කොට, ව්‍යාපාදය දුරු කොට, සිහිමුළා නොවී, මනා නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවත්, ඒ වගේම තුන්වෙනි දිශාවත්, ඒ වගේම හතරවෙනි දිශාවත්, ඒ වගේම උඩ, යට, හරහට, සෑම තැනකටම, සෑම සත්වයෙක් කෙරෙහි ම මේ සකල ලෝකයට ම මෛත්‍රී සහගත සිතින් යුතුව, විපුල වූ මහත් බවට පැමිණි, ප්‍රමාණ රහිත වූ, වෛර නැති, තරහ නැති මෙත් සිත පතුරුවා වාසය කරනවා. ඔහු මේ විදිහට නුවණින් සළකා බලනවා. යම් මේ ශාස්තෘවරයෙක් “දානයෙහි විපාක ඇත. පූජාවෙහි විපාක ඇත. සේවාවන්හි විපාක ඇත. හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක ඇත. මෙලොව කියා දෙයක් ඇත. පරලොව කියා දෙයක් ඇත. මව් කියා කෙනෙක් ඇත. පියා කියා කෙනෙක් ඇත. ඕපපාතික සතුන් ඇත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තමන්ගේ ම විශිෂ්ට නුවණින් අවබෝධ කොට පවසයිද, යහපත් ගමනක් ගිය, යහපතෙහි පිළිපන් එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ඇත” කියලා මෙවැනි දේ කියනවාද, මෙවැනි මතයක් දරනවාද, ඉදින් ඒ භවත් ශාස්තෘවරයාගේ වචනය ඇත්තක් වුණත්, යම් බඳු මං තැති ගන්නා වූ හෝ තැති නොගන්නා වූ හෝ කිසි සත්වයෙක් පෙළන්නේ නැත්නම්, එය මාගේ නිරපරාද බවට හේතු වේ. ඒ වගේම මං කයෙන් සංවර වෙනවා නම්, වචනයෙන් සංවර වෙනවා නම්, මනසින් සංවර වෙනවා නම්, ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා යන කරුණක් ඇද්ද, මට මෙහිලා දෙක ම ජය ගන්ට පුළුවනි. එතකොට ඔහුට ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය තියෙන කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති සිතක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. කය සංසිඳුන කෙනා සැප විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. පින්වත් ගාමණී, මේක තමයි ඒ ධම්මසමාධිය. ඉදින් ඔබ එහිලා චිත්ත සමාධිය ඇති කර ගන්නවා නම්, එතකොට ඔබ මේ සැකය අත්හරිනවා.

පින්වත් ගාමණී, ඒ මේ ආර්ය ශ්‍රාවකයා මේ අයුරින් විෂම ලෝභය දුරු කොට, ව්‍යාපාදය දුරු කොට, සිහිමුළා නොවී, මනා නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවත්, ඒ වගේම තුන්වෙනි දිශාවත්, ඒ වගේම හතරවෙනි දිශාවත්, ඒ වගේම උඩ, යට, හරහට, සෑම තැනකට ම, සෑම සත්වයෙක් කෙරෙහි ම මේ සකල ලෝකයට ම මෛත්‍රී සහගත සිතින් යුතුව, විපුල වූ, මහත් බවට පැමිණි, ප්‍රමාණ රහිත වූ, වෛර නැති, තරහ නැති මෙත් සිත පතුරුවා වාසය කරනවා. ඔහු මේ විදිහට නුවණින් සළකා බලනවා. යම් මේ ශාස්තෘවරයෙක් “කරන කෙනාට, අනුන් ලවා කරවන කෙනාට, අනුන්ගේ අත් පා සිඳින කෙනාට, අනුන්ගේ අත් පා සිඳවන කෙනාට, අනුන්ව පෙළන කෙනාටත්, පෙළවන කෙනාටත්, අනුන්ව සෝකයට පත් කරන කෙනාටත්, අනුන්ව වෙහෙසන කෙනාටත්, අනුන්ව කම්පා කරන කෙනාටත්, කම්පා කරවන කෙනාටත්, සතුන් මරණ කෙනාටත්, නොදුන් දෙය සොරකම් කරන කෙනාටත්, ගෙවල් බිඳින කෙනාටත්, මං පහරන කෙනාටත්, එක ගෙයක් වට කොට කොල්ලකන කෙනාටත්, මඟ රැක සිට කොල්ලකන කෙනාටත්, පර ස්ත්‍රීන් කරා යන කෙනාටත්, බොරු කියන කෙනාටත්, ඒවා කරවන කෙනාටත්, එයින් පවක් නො කෙරෙයි. ඉතා තියුණු මුවහත් ඇති ආයුධයක් ගෙන මේ පොළොවෙහි සියලු සතුන් එකම මස් ගොඩක් බවට, එකම මස් පිණ්ඩයක් බවට පත් කෙරුවත්, ඒ හේතුවෙන් සිදුවෙන පවක් නෑ. පාපයෙහි නැවත පැමිණීමක් නෑ. ඉදින් වනසමින්, ඝාතනය කරමින්, සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින් දකුණු ගං තෙර දක්වා ගියත්, ඒ හේතුවෙන් සිදුවෙන පවක් නෑ. පාපයෙහි නැවත පැමිණීමක් නෑ. ඉදින් දන් දෙමින්, දෙවමින්, යාග කරමින්, යාග කරවමින්, උතුරු ගං තෙර දක්වා ගියත්, ඒ හේතුවෙන් සිදුවෙන පිනක් නෑ. පිනෙහි නැවත පැමිණීමක් නෑ. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සීල සංවරයෙන්, සත්‍ය වචනයෙන් පිනක් ලැබෙන්නේ නෑ. පිනක ආපසු පැමිණීමක් නෑ” කියලා මෙවැනි දේ කියනවාද, මෙවැනි මතයක් දරනවාද, ඉදින් ඒ භවත් ශාස්තෘවරයාගේ වචනය ඇත්තක් වුණත්, යම් බඳු මං තැති ගන්නා වූ හෝ තැති නොගන්නා වූ හෝ කිසි සත්වයෙක් පෙළන්නේ නැත්නම්, එය මාගේ නිරපරාද බවට හේතු වේ. ඒ වගේම මං කයෙන් සංවර වෙනවා නම්, වචනයෙන් සංවර වෙනවා නම්, මනසින් සංවර වෙනවා නම්, ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා යන කරුණක් ඇද්ද, මට මෙහිලා දෙකම ජය ගන්ට පුළුවනි. එතකොට ඔහුට ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය තියෙන කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති සිතක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. කය සංසිඳුන කෙනා සැප විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. පින්වත් ගාමණී, මේක තමයි ඒ ධම්මසමාධිය. ඉදින් ඔබ එහිලා චිත්ත සමාධිය ඇති කර ගන්නවා නම්, එතකොට ඔබ මේ සැකය අත්හරිනවා.

පින්වත් ගාමණී, ඒ මේ ආර්ය ශ්‍රාවකයා මේ අයුරින් විෂම ලෝභය දුරු කොට, ව්‍යාපාදය දුරු කොට, සිහිමුළා නොවී, මනා නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවත්, ඒ වගේම තුන්වෙනි දිශාවත්, ඒ වගේම හතරවෙනි දිශාවත්, ඒ වගේම උඩ, යට, හරහට, සෑම තැනකට ම, සෑම සත්වයෙක් කෙරෙහි ම මේ සකල ලෝකයට ම මෛත්‍රී සහගත සිතින් යුතුව, විපුල වූ, මහත් බවට පැමිණි, ප්‍රමාණ රහිත වූ, වෛර නැති, තරහ නැති මෙත් සිත පතුරුවා වාසය කරනවා. ඔහු මේ විදිහට නුවණින් සළකා බලනවා. යම් මේ ශාස්තෘවරයෙක් “කරන කෙනාට, අනුන් ලවා කරවන කෙනාට, අනුන්ගේ අත් පා සිඳින කෙනාට, අනුන්ගේ අත් පා සිඳවන කෙනාට, අනුන්ව පෙළන කෙනාටත්, පෙළවන කෙනාටත්, අනුන්ව සෝකයට පත් කරන කෙනාටත්, අනුන්ව වෙහෙසන කෙනාටත්, අනුන්ව කම්පා කරන කෙනාටත්, කම්පා කරවන කෙනාටත්, සතුන් මරණ කෙනාටත්, නොදුන් දෙය සොරකම් කරන කෙනාටත්, ගෙවල් බිඳින කෙනාටත්, මං පහරන කෙනාටත්, එක ගෙයක් වට කොට කොල්ලකන කෙනාටත්, මඟ රැක සිට කොල්ලකන කෙනාටත්, පර ස්ත්‍රීන් කරා යන කෙනාටත්, බොරු කියන කෙනාටත්, ඒවා කරවන කෙනාටත්, එයින් පවක් කෙරෙයි. ඉතා තියුණු මුවහත් ඇති ආයුධයක් ගෙන මේ පොළොවෙහි සියලු සතුන් එකම මස් ගොඩක් බවට, එකම මස් පිණ්ඩයක් බවට පත් කෙරුවත්, ඒ හේතුවෙන් පවක් සිදුවෙනවා. පාපයෙහි නැවත පැමිණීමක් තියෙනවා. ඉදින් වනසමින්, ඝාතනය කරමින්, සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින් දකුණු ගං තෙර දක්වා ගියත්, ඒ හේතුවෙන් පවක් සිදුවෙනවා. පාපයෙහි නැවත පැමිණීමක් තියෙනවා. ඉදින් දන් දෙමින්, දෙවමින්, යාග කරමින්, යාග කරවමින්, උතුරු ගං තෙර දක්වා ගියත්, ඒ හේතුවෙන් පිනක් සිදුවෙනවා. පිනෙහි නැවත පැමිණීමක් තියෙනවා. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සීල සංවරයෙන්, සත්‍ය වචනයෙන් පිනක් ලැබෙනවා. පිනක ආපසු පැමිණීමක් තියෙනවා” කියලා මෙවැනි දේ කියනවාද, මෙවැනි මතයක් දරනවාද, ඉදින් ඒ භවත් ශාස්තෘවරයාගේ වචනය ඇත්තක් වුණත්, යම් බඳු මං තැති ගන්නා වූ හෝ තැති නොගන්නා වූ හෝ කිසි සත්වයෙක් පෙළන්නේ නැත්නම්, එය මාගේ නිරපරාද බවට හේතු වේ. ඒ වගේම මං කයෙන් සංවර වෙනවා නම්, වචනයෙන් සංවර වෙනවා නම්, මනසින් සංවර වෙනවා නම්, ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා යන කරුණක් ඇද්ද, මට මෙහිලා දෙකම ජය ගන්ට පුළුවනි. එතකොට ඔහුට ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය තියෙන කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති සිතක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. කය සංසිඳුන කෙනා සැප විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. පින්වත් ගාමණී, මේක තමයි ඒ ධම්මසමාධිය. ඉදින් ඔබ එහිලා චිත්ත සමාධිය ඇති කර ගන්නවා නම්, එතකොට ඔබ මේ සැකය අත්හරිනවා.

පින්වත් ගාමණී, ඒ මේ ආර්ය ශ්‍රාවකයා මේ අයුරින් විෂම ලෝභය දුරු කොට, ව්‍යාපාදය දුරු කොට, සිහිමුළා නොවී, මනා නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා ….(පෙ)…. මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා ….(පෙ)….

පින්වත් ගාමණී, ඒ මේ ආර්ය ශ්‍රාවකයා මේ අයුරින් විෂම ලෝභය දුරු කොට, ව්‍යාපාදය දුරු කොට, සිහිමුළා නොවී, මනා නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, උපේක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවත්, ඒ වගේම තුන්වෙනි දිශාවත්, ඒ වගේම හතරවෙනි දිශාවත්, ඒ වගේම උඩ, යට, හරහට, සෑම තැනකට ම, සෑම සත්වයෙක් කෙරෙහි ම මේ සකල ලෝකයට ම උපේක්‍ෂා සහගත සිතින් යුතුව, විපුල වූ මහත් බවට පැමිණි, ප්‍රමාණ රහිත වූ, වෛර නැති, තරහ නැති උපේක්ෂා සිත පතුරුවා වාසය කරනවා. ඔහු මේ විදිහට නුවණින් සළකා බලනවා. යම් මේ ශාස්තෘවරයෙක් “දානයෙහි විපාක නැත. පූජාවෙහි විපාක නැත. සේවාවන්හි විපාක නැත. හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක නැත. මෙලොව කියා දෙයක් නැත. පරලොව කියා දෙයක් නැත. මව් කියා කෙනෙක් නැත. පියා කියා කෙනෙක් නැත. ඕපපාතික සතුන් නැත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තමන්ගේ ම විශිෂ්ඨ නුවණින් අවබෝධ කොට පවසයිද, යහපත් ගමනක් ගිය, යහපතෙහි පිළිපන් එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි නැත” කියලා මෙවැනි දේ කියනවාද, මෙවැනි මතයක් දරනවාද, ඉදින් ඒ භවත් ශාස්තෘවරයාගේ වචනය ඇත්තක් වුණත්, යම් බඳු මං තැති ගන්නා වූ හෝ තැති නොගන්නා වූ හෝ කිසි සත්වයෙක් පෙළන්නේ නැත්නම්, එය මාගේ නිරපරාද බවට හේතුවේ. ඒ වගේම මං කයෙන් සංවර වෙනවා නම්, වචනයෙන් සංවර වෙනවා නම්, මනසින් සංවර වෙනවා නම්, ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා යන කරුණක් ඇද්ද, මට මෙහිලා දෙකම ජය ගන්ට පුළුවනි. එතකොට ඔහුට ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය තියෙන කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති සිතක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. කය සංසිඳුන කෙනා සැප විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. පින්වත් ගාමණී, මේක තමයි ඒ ධම්මසමාධිය. ඉදින් ඔබ එහිලා චිත්ත සමාධිය ඇති කර ගන්නවා නම්, එතකොට ඔබ මේ සැකය අත්හරිනවා.

පින්වත් ගාමණී, ඒ මේ ආර්ය ශ්‍රාවකයා මේ අයුරින් විෂම ලෝභය දුරු කොට, ව්‍යාපාදය දුරු කොට, සිහිමුළා නොවී, මනා නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, උපේක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවත්, ඒ වගේම තුන්වෙනි දිශාවත්, ඒ වගේම හතරවෙනි දිශාවත්, ඒ වගේම උඩ, යට, හරහට, සෑම තැනකට ම, සෑම සත්වයෙක් කෙරෙහි ම මේ සකල ලෝකයට ම උපේක්‍ෂා සහගත සිතින් යුතුව, විපුල වූ, මහත් බවට පැමිණි, ප්‍රමාණ රහිත වූ, වෛර නැති, තරහ නැති උපේක්ෂා සිත පතුරුවා වාසය කරනවා. ඔහු මේ විදිහට නුවණින් සළකා බලනවා. යම් මේ ශාස්තෘවරයෙක් “දානයෙහි විපාක ඇත. පූජාවෙහි විපාක ඇත. සේවාවන්හි විපාක ඇත. හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක ඇත. මෙලොව කියා දෙයක් ඇත. පරලොව කියා දෙයක් ඇත. මව් කියා කෙනෙක් ඇත. පියා කියා කෙනෙක් ඇත. ඕපපාතික සතුන් ඇත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තමන්ගේ ම විශිෂ්ඨ නුවණින් අවබෝධ කොට පවසයි ද, යහපත් ගමනක් ගිය, යහපතෙහි පිළිපන් එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ඇත” කියලා මෙවැනි දේ කියනවාද, මෙවැනි මතයක් දරනවාද, ඉදින් ඒ භවත් ශාස්තෘවරයාගේ වචනය ඇත්තක් වුණත්, යම් බඳු මං තැති ගන්නා වූ හෝ තැති නොගන්නා වූ හෝ කිසි සත්වයෙක් පෙළන්නේ නැත්නම්, එය මාගේ නිරපරාද බවට හේතු වේ. ඒ වගේම මං කයෙන් සංවර වෙනවා නම්, වචනයෙන් සංවර වෙනවා නම්, මනසින් සංවර වෙනවා නම්, ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා යන කරුණක් ඇද්ද, මට මෙහිලා දෙකම ජය ගන්ට පුළුවනි. එතකොට ඔහුට ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය තියෙන කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති සිතක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. කය සංසිඳුන කෙනා සැප විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. පින්වත් ගාමණී, මේක තමයි ඒ ධම්මසමාධිය. ඉදින් ඔබ එහිලා චිත්ත සමාධිය ඇති කර ගන්නවා නම්, එතකොට ඔබ මේ සැකය අත්හරිනවා.

පින්වත් ගාමණී, ඒ මේ ආර්ය ශ්‍රාවකයා මේ අයුරින් විෂම ලෝභය දුරු කොට, ව්‍යාපාදය දුරු කොට, සිහිමුළා නොවී, මනා නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, උපේක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවත්, ඒ වගේම තුන්වෙනි දිශාවත්, ඒ වගේම හතරවෙනි දිශාවත්, ඒ වගේම උඩ, යට, හරහට, සෑම තැනකට ම, සෑම සත්වයෙක් කෙරෙහි ම මේ සකල ලෝකයට ම උපේක්‍ෂා සහගත සිතින් යුතුව, විපුල වූ මහත් බවට පැමිණි, ප්‍රමාණ රහිත වූ, වෛර නැති, තරහ නැති උපේක්ෂා සිත පතුරුවා වාසය කරනවා. ඔහු මේ විදිහට නුවණින් සළකා බලනවා. යම් මේ ශාස්තෘවරයෙක් “කරන කෙනාට, අනුන් ලවා කරවන කෙනාට, අනුන්ගේ අත් පා සිඳින කෙනාට, අනුන්ගේ අත් පා සිඳවන කෙනාට, අනුන්ව පෙළන කෙනාටත්, පෙළවන කෙනාටත්, අනුන්ව සෝකයට පත් කරන කෙනාටත්, අනුන්ව වෙහෙසන කෙනාටත්, අනුන්ව කම්පා කරන කෙනාටත්, කම්පා කරවන කෙනාටත්, සතුන් මරණ කෙනාටත්, නොදුන් දෙය සොරකම් කරන කෙනාටත්, ගෙවල් බිඳින කෙනාටත්, මං පහරන කෙනාටත්, එක ගෙයක් වට කොට කොල්ලකන කෙනාටත්, මඟරැක සිට කොල්ලකන කෙනාටත්, පර ස්ත්‍රීන් කරා යන කෙනාටත්, බොරු කියන කෙනාටත්, ඒවා කරවන කෙනාටත්, එයින් පවක් නො කෙරෙයි. ඉතා තියුණු මුවහත් ඇති ආයුධයක් ගෙන මේ පොළොවෙහි සියලු සතුන් එකම මස් ගොඩක් බවට, එකම මස් පිණ්ඩයක් බවට පත් කෙරුවත්, ඒ හේතුවෙන් සිදුවෙන පවක් නෑ. පාපයෙහි නැවත පැමිණීමක් නෑ. ඉදින් වනසමින්, ඝාතනය කරමින්, සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින් දකුණු ගං තෙර දක්වා ගියත්, ඒ හේතුවෙන් සිදුවෙන පවක් නෑ. පාපයෙහි නැවත පැමිණීමක් නෑ. ඉදින් දන් දෙමින්, දෙවමින්, යාග කරමින්, යාග කරවමින්, උතුරු ගං තෙර දක්වා ගියත්, ඒ හේතුවෙන් සිදුවෙන පිනක් නෑ. පිනෙහි පැමිණීමක් නෑ. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සීල සංවරයෙන්, සත්‍ය වචනයෙන් පිනක් ලැබෙන්නේ නෑ. පිනක ආපසු පැමිණීමක් නෑ” කියලා මෙවැනි දේ කියනවාද, මෙවැනි මතයක් දරනවාද, ඉදින් ඒ භවත් ශාස්තෘවරයාගේ වචනය ඇත්තක් වුණත්, යම් බඳු මං තැති ගන්නා වූ හෝ තැති නොගන්නා වූ හෝ කිසි සත්වයෙක් පෙළන්නේ නැත්නම්, එය මාගේ නිරපරාද බවට හේතු වේ. ඒ වගේම මං කයෙන් සංවර වෙනවා නම්, වචනයෙන් සංවර වෙනවා නම්, මනසින් සංවර වෙනවා නම්, ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා යන කරුණක් ඇද්ද, මට මෙහිලා දෙකම ජය ගන්ට පුළුවනි. එතකොට ඔහුට ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය තියෙන කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති සිතක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. කය සංසිඳුන කෙනා සැප විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. පින්වත් ගාමණී, මේක තමයි ඒ ධම්මසමාධිය. ඉදින් ඔබ එහිලා චිත්ත සමාධිය ඇති කර ගන්නවා නම්, එතකොට ඔබ මේ සැකය අත්හරිනවා.

පින්වත් ගාමණී, ඒ මේ ආර්ය ශ්‍රාවකයා මේ අයුරින් විෂම ලෝභය දුරු කොට, ව්‍යාපාදය දුරු කොට, සිහිමුළා නොවී, මනා නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, උපේක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවත්, ඒ වගේම තුන්වෙනි දිශාවත්, ඒ වගේම හතරවෙනි දිශාවත්, ඒ වගේම උඩ, යට, හරහට, සෑම තැනකට ම, සෑම සත්වයෙක් කෙරෙහි ම මේ සකල ලෝකයට ම උපේක්‍ෂා සහගත සිතින් යුතුව, විපුල වූ, මහත් බවට පැමිණි, ප්‍රමාණ රහිත වූ, වෛර නැති, තරහ නැති උපේක්ෂා සිත පතුරුවා වාසය කරනවා. ඔහු මේ විදිහට නුවණින් සළකා බලනවා. යම් මේ ශාස්තෘවරයෙක් “කරන කෙනාට, අනුන් ලවා කරවන කෙනාට, අනුන්ගේ අත් පා සිඳින කෙනාට, අනුන්ගේ අත් පා සිඳවන කෙනාට, අනුන්ව පෙළන කෙනාටත්, පෙළවන කෙනාටත්, අනුන්ව සෝකයට පත් කරන කෙනාටත්, අනුන්ව වෙහෙසන කෙනාටත්, අනුන්ව කම්පා කරන කෙනාටත්, කම්පා කරවන කෙනාටත්, සතුන් මරණ කෙනාටත්, නොදුන් දෙය සොරකම් කරන කෙනාටත්, ගෙවල් බිඳින කෙනාටත්, මං පහරන කෙනාටත්, එක ගෙයක් වට කොට කොල්ලකන කෙනාටත්, මඟ රැක සිට කොල්ලකන කෙනාටත්, පර ස්ත්‍රීන් කරා යන කෙනාටත්, බොරු කියන කෙනාටත්, ඒවා කරවන කෙනාටත්, එයින් පවක් කෙරෙයි. ඉතා තියුණු මුවහත් ඇති ආයුධයක් ගෙන මේ පොළොවෙහි සියලු සතුන් එකම මස් ගොඩක් බවට, එකම මස් පිණ්ඩයක් බවට පත් කෙරුවත්, ඒ හේතුවෙන් පවක් සිදුවෙනවා. පාපයෙහි නැවත පැමිණීමක් තියෙනවා. ඉදින් වනසමින්, ඝාතනය කරමින්, සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින් දකුණු ගං තෙර දක්වා ගියත්, ඒ හේතුවෙන් පවක් සිදුවෙනවා. පාපයෙහි නැවත පැමිණීමක් තියෙනවා. ඉදින් දන් දෙමින්, දෙවමින්, යාග කරමින්, යාග කරවමින්, උතුරු ගං තෙර දක්වා ගියත්, ඒ හේතුවෙන් පිනක් සිදුවෙනවා. පිනෙහි නැවත පැමිණීමක් තියෙනවා. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සීල සංවරයෙන්, සත්‍ය වචනයෙන් පිනක් ලැබෙනවා. පිනක ආපසු පැමිණීමක් තියෙනවා” කියලා මෙවැනි දේ කියනවාද, මෙවැනි මතයක් දරනවාද, ඉදින් ඒ භවත් ශාස්තෘවරයාගේ වචනය ඇත්තක් වුණත්, යම් බඳු මං තැති ගන්නා වූ හෝ තැති නොගන්නා වූ හෝ කිසි සත්වයෙක් පෙළන්නේ නැත්නම්, එය මාගේ නිරපරාද බවට හේතු වේ. ඒ වගේම මං කයෙන් සංවර වෙනවා නම්, වචනයෙන් සංවර වෙනවා නම්, මනසින් සංවර වෙනවා නම්, ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා යන කරුණක් ඇද්ද, මට මෙහිලා දෙක ම ජය ගන්ට පුළුවනි. එතකොට ඔහුට ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය තියෙන කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති සිතක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. කය සංසිඳුන කෙනා සැප විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. පින්වත් ගාමණී, මේක තමයි ඒ ධම්මසමාධිය. ඉදින් ඔබ එහිලා චිත්ත සමාධිය ඇති කර ගන්නවා නම්, එතකොට ඔබ මේ සැකය අත්හරිනවා.

මෙසේ වදාළ විට පාටලිය ගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළා. ස්වාමීනි, ඉතා සුන්දරයි, ස්වාමීනි, ඉතා සුන්දරයි ….(පෙ)…. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය (උපාසකයෙකු වශයෙන් මා පිළිගන්නා සේක්වා.)

සාදු ! සාදු !! සාදු !!!

පාටලිය සූත්‍රය නිමා විය.

පළමුවෙනි ගාමණී වර්ගය යි.

එහි පිළිවෙළ උද්දානය යි.

චණ්ඩ සූත්‍රය, තාලපුට සූත්‍රය, යෝධාජීව සූත්‍රය, හත්ථාරෝහ සූත්‍රය, අස්සාරෝහ සූත්‍රය, අසිබන්ධක සූත්‍රය, ඛෙත්තූපම සූත්‍රය, සංඛධම සූත්‍රය, කුල සූත්‍රය, මණිචූළක සූත්‍රය, භද්‍රක සූත්‍රය, රාසිය සූත්‍රය, පාටලිය සූත්‍රය, යන සූත්‍ර දහතුනෙන් මෙම වර්ගය සමන්විත ය.

ගාමණී සංයුත්තය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_8-1-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M