සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

7.1.9. අචේල සුත්තං

7.1.9. අචේලකස්සප සමඟ ඇති වූ සාකච්ඡාව ගැන දෙසුම

ඒ දිනවල චිත්ත ගෘහපතිතුමාගේ පැරණි ගිහි යාළුවෙකු වූ අචේල කස්සප නම් වූ නිරුවත් තවුසා මච්ඡිකාසණ්ඩයට පැමිණිලා හිටියා. එතකොට චිත්ත ගෘහපතිතුමාට අපගේ පැරණි ගිහි යහළුවෙකු වූ අචේල කස්සප නම් වූ නිරුවත් තවුසා මච්ඡිකාසණ්ඩයට පැමිණිලා සිටින බව අසන්ට ලැබුණා. ඉතින් චිත්ත ගෘහපතිතුමා අචේල කස්සප නම් වූ නිරුවත් තවුසා සිටි තැනට පැමිණුනා. පැමිණිලා අචේල කස්සප නම් වූ නිරුවත් තවුසා සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කථාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු චිත්ත ගෘහපතිතුමා අචේල කස්සප නම් වූ නිරුවත් තවුසාගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, කස්සපයෙනි, පැවිදිවෙලා සෑහෙන කාලයක් ගත වෙනවාද?” “ගෘහපතිතුමනි, මගේ පැවිදි ජීවිතයට අවුරුදු තිහක් විතර වෙනවා.” “ඉතින් ස්වාමීනි, ඔය තිස් අවුරුද්දක් පමණ කාලය තුළදී උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් වන උතුම් ඤාණ දර්ශන විශේෂයක් සාක්‍ෂාත් කරගෙන පහසුවෙන් වාසය කිරීමක් තියෙනවාද?” “අනේ ගෘහපතිතුමනි, මේ තිස් අවුරුද්දක් පමණ කාලය තුළ මේ හෙළුවත්, හිස මුඩු බවත්, වැලිපිස දෑමට ගන්නා මොණරපිල් කළඹත් හැර උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් වන උතුම් ඤාණදර්ශන විශේෂයක් සාක්‍ෂාත් කරගෙන පහසුවෙන් වාසය කිරීමක් නම් මට ලැබුණේ නෑ.”

මෙසේ පැවසූ විට චිත්ත ගෘහපතිතුමා අචේල කස්සප නිරුවත් තවුසා හට මෙහෙම කිව්වා. “යම් හෙයකින් ඔබ තිස් අවුරුද්දක් පමණ කාලයක් මුළුල්ලේ හෙළුවැල්ලත්, හිස මුඩු බවත්, වැලි පිසදාන මොණරපිල් කළඹත් හැර උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් වන කිසිදු උතුම් ඤාණදර්ශන විශේෂයක් සාක්‍ෂාත් කරගෙන පහසුවෙන් වාසය කිරීම නොලැබුණා නම්, අහෝ පින්වත, (මා සරණ ගිය) ධර්මය මැනවින් දේශනා කොට වදාළ බව නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යයක්. ඒකාන්තයෙන් ම පුදුම සහගතයි.”

“ගෘහපතිතුමනි, ඔබ උපාසකභාවයට පත්වෙලා සෑහෙන්න කල් ගත වෙනවාද?” “ස්වාමීනි, මටත් උපාසක බවට පත්වෙලා තිස් අවුරුද්දක් පමණ කල් ගෙවුනා.” “ඉතින් ගෘහපතිතුමනි, ඔය තිස් අවුරුද්දක් පමණ කාලය තුළ දී උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් වන කිසියම් උතුම් ඤාණ දර්ශන විශේෂයක් සාක්‍ෂාත් කරගෙන පහසුවෙන් වාසය කිරීමක් තියෙනවාද?” “ස්වාමීනි, මොකද නැත්තේ? ස්වාමීනි, මම නම් කැමති තාක්කල් කාමයන්ගෙන් වෙන්ව අකුසල් දහමින් වෙන්ව විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන එයට පැමිණ වාසය කරන කෙනෙක්. ස්වාමීනි, මං කැමති තාක්කල් විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන කෙනෙක්. ස්වාමීනි, මං කැමති තාක්කල් ප්‍රීතියට නොඇලීමෙන් ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන කෙනෙක්. ස්වාමීනි, මං කැමති තාක්කල් සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන්, කලින්ම සොම්නස් දොම්නස් ඉක්මවා යෑමෙන් දුක් සැප රහිත වූ උපේක්‍ෂාවෙන් යුතු පාරිශුද්ධ සිහි ඇති හතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන කෙනෙක්. ස්වාමීනි, ඉදින් යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේට කලින් මං කළුරිය කළොත් භාග්‍යවතුන් වහන්සේ මං පිළිබඳව ‘චිත්ත ගෘහපතිතුමා යම් කෙලෙස් බන්ධනයකින් බැඳී මේ ලෝකයට ආපසු එනවා නම්, එබඳු සංයෝජනයක් ඔහු තුළ නැතැ’ යි කියන මේ විදිහේ ප්‍රකාශයක් වදාරණ සේක්ය කියන කරුණ ආශ්චර්යයක් නම් නොවේ.

එසේ කී විට අචේල කස්සප නිරුවත් තවුසා චිත්ත ගෘහපතියාට මෙහෙම කිව්වා. “අහෝ පින්වත, ධර්මයෙහි මැනැවින් දේශනා කොට වදාළ බව නම් ඒකාන්තයෙන්ම ආශ්චර්ය ම යි. ඒකාන්තයෙන්ම පුදුමයක් ම යි. යම් ධර්ම විනයක සුදුවත් හඳින ගිහි ශ්‍රාවකයන් ඔය ආකාරයෙන් උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් වන කිසියම් උතුම් ඤාණ දර්ශන විශේෂයක් සාක්‍ෂාත් කරගෙන පහසුවෙන් වාසය කරනවා නම්, ගෘහපතිතුමනි, මේ ධර්ම විනය තුළ මාත් පැවිදි බව ලබා ගන්නම්. උපසම්පදාව ලබා ගන්නම්.”

එතකොට චිත්ත ගෘහපතිතුමා අචේල කස්සප නිරුවත් තවුසාත් රැගෙන ස්ථවිර භික්‍ෂුන් වහන්සේලා වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ස්ථවිර භික්‍ෂූන්ට මෙකරුණ සැළ කළා. “ස්වාමීනි, මේ අපගේ පැරණි ගිහි යහළුවෙකු වන අචේල කස්සපයි. ස්ථවිරයන් වහන්සේලා මොහුව පැවිදි කරන සේක්වා. උපසම්පදා කරන සේක්වා. මං මොහුට සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලබා දෙන්නට උත්සාහ කරන්නම්.”

අචේල කස්සප නිරුවත් තවුසා මේ ධර්මය විනය තුළ (බුදු සසුනෙහි) පැවිදි බව ලැබුවා. උපසම්පදාව ලැබුවා. උපසම්පදාව ලබා ගත් නොබෝ කලකින් ම ආයුෂ්මත් කස්සපයන් වහන්සේ හුදෙකලා වුණා. පිරිසෙන් වෙන් වුණා. අප්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුණා. දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන කොට නොබෝ කලකින් ම යම් කුලපුත්‍රයෝ යම් කිසි ලොව්තුරු අපේක්ෂාවකින් ගිහි ජීවිතය අත්හැරලා මනාකොට බුදු සසුනෙහි පැවිදි වුණා ද, අන්න ඒ උත්තරීතර බඹසර පූර්ණත්වය වන අමා නිවන මේ ජීවිතයෙහි දී ම විශේෂ ඤාණයකින් යුතුව අවබෝධ කරගෙන පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්‍ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කර ගත්තා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතැ’යි අවබෝධ වුණා. ආයුෂ්මත් කස්සපයන් වහන්සේ එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.

සාදු ! සාදු !! සාදු !!!

අචේල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_7-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M