ඒ දිනවල නිගණ්ඨනාතපුත්ත මහත් වූ නිගණ්ඨ පිරිසක් සමඟ මච්ඡිකාසණ්ඩයට පැමිණිලා හිටියා. එතකොට චිත්ත ගෘහපතිතුමාට නිගණ්ඨනාතපුත්ත මහත් වූ නිගණ්ඨ පිරිසක් සමඟ මච්ඡිකාසණ්ඩයට පැමිණ සිටින බවට අසන්ට ලැබුණා. ඉතින් චිත්ත ගෘහපතිතුමා බොහෝ උපාසක පිරිසක් සමඟ නිගණ්ඨනාතපුත්ත සිටි තැනට පැමිණුනා. පැමිණ නිගණ්ඨනාතපුත්ත සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කථාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩි වුණ චිත්ත ගෘහපතිතුමා ගෙන් නිගණ්ඨනාතපුත්ත මෙකරුණ පැවසුවා. “එම්බා ගෘහපතිය, විතර්ක රහිත, විචාර රහිත සමාධියක් තියෙනවා. විතර්ක විචාරයන්ගේ නිරුද්ධ වීමක් තියෙනවා යන ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රකාශය ඔබ අදහනවාද?”
“ස්වාමීනි, විතර්ක රහිත, විචාර රහිත සමාධියක් තියෙනවා. විතර්ක විචාරයන්ගේ නිරුද්ධ වීමක් තියෙනවා යන ප්‍රකාශය පිළිබඳව මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හුදු ඇදහීමකට යන්නේ නෑ.” එසේ කී විට නිගණ්ඨනාතපුත්ත ස්වකීය පිරිස දෙස හිස ඔසවා බලා මෙහෙම කිව්වා. “භවත්හූ, මෙය දකිත්වා. මේ චිත්ත ගෘහපතිතුමා කොයිතරම් ඍජු ද! මේ චිත්ත ගෘහපතිතුමා කොයිතරම් නො කපටි ද! මේ චිත්ත ගෘහපතිතුමා කොයිතරම් රැවටිලි රහිත ද! යමෙක් විතර්ක විචාර නිරුද්ධ කළ යුතුයි කියා සිතනවා නම්, ඔහු දැලින් සුළං බැඳිය යුතු යැයි සිතනවා වගේ. යමෙක් විතර්ක විචාර නිරුද්ධ කළ යුතුයි කියා සිතනවා නම්, ඔහු තමන්ගේ අත මිට මොලවා ගංගානදී සැඩපහර වැළැක්විය යුතු යැයි සිතනවා වගේ නොවැ.”
“ස්වාමීනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? වඩාත්ම ප්‍රණීත මොකක්ද? ඤාණය ද, ඇදහීම ද?” “එම්බා ගෘහපතිය, ඇදහීමට වඩා ඤාණය ම නොවැ ප්‍රණීත වන්නේ.”
“ස්වාමීනි, මං කැමති තාක්කල් කාමයන්ගෙන් වෙන්ව අකුසල් දහමින් වෙන්ව විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන එයට පැමිණ වාසය කරන කෙනෙක්. ස්වාමීනි, මං කැමති තාක්කල් විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන කෙනෙක්. ස්වාමීනි, මං කැමති තාක්කල් ප්‍රීතියට නොඇලීමෙන් ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන කෙනෙක්. ස්වාමීනි, මං කැමති තාක්කල් සැපයද ප්‍රහාණය කිරීමෙන්, දුකද ප්‍රහාණය කිරීමෙන්, කලින්ම සොම්නස් දොම්නස් ඉක්මවා යෑමෙන් දුක් සැප රහිත වූ උපේක්‍ෂාවෙන් යුතු පාරිශුද්ධ සිහි ඇති හතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන කෙනෙක්. ස්වාමීනි, ඔය ආකාරයෙන් මං මෙය දන්නා විට, ඔය ආකාරයෙන් දකිනා විට ‘අවිතක්ක අවිචාර සමාධියක් ඇත. විතර්ක විචාරයන්ගේ නිරුද්ධ වීමක් ඇත’ යන කරුණට වෙන කවර නම් ශ්‍රමණයෙකුගේ හෝ බ්‍රාහ්මණයෙකුගේ හෝ ඇදහීමකට යන්ටද?”
එසේ කී විට නිගණ්ඨනාතපුත්ත තම පිරිස දෙස හිස ඔසවා බලා මෙහෙම කිව්වා. “භවත්හු මෙය දකිත්වා. මේ චිත්ත ගෘහපතියා මොන තරම් වංක කෙනෙක් ද! මේ චිත්ත ගෘහපතියා මොන තරම් කපටි කෙනෙක් ද! මේ චිත්ත ගෘහපතියා මොන තරම් රැවටිලි කාරයෙක් ද!”
“ස්වාමීනි, මේ දැන්ම ඔබ විසින් කියන ලද කරුණක් අපි මෙහෙම දන්නවා. ‘භවත්හු, මෙය දකිත්වා. මේ චිත්ත ගෘහපතිතුමා කොයිතරම් ඍජු ද! මේ චිත්ත ගෘහපතිතුමා කොයිතරම් නො කපටි ද! මේ චිත්ත ගෘහපතිතුමා කොයිතරම් රැවටිලි රහිත ද!’ කියලා. නමුත් මේ දැන් ස්වාමීනි, ඔබ විසින් කියන ලද මේ කරුණ ද අපි මෙහෙම දන්නවා. ‘භවත්හූ, මෙය දකිත්වා. මේ චිත්ත ගෘහපතියා මොනතරම් වංක කෙනෙක් ද! මේ චිත්ත ගෘහපතියා මොන තරම් කපටි කෙනෙක් ද! මේ චිත්ත ගෘහපතියා මොන තරම් රැවටිලි කාරයෙක් ද!’ කියලා. ඉදින් ස්වාමීනි, ඔබ විසින් කලින් කියන ලද කරුණ සත්‍ය නම්, ඔබ විසින් පසුව කියූ කරුණ මිත්‍යාවක්. ඔබ විසින් පසුව කියන ලද කරුණ සත්‍ය නම්, ඔබ විසින් කලින් කියූ කරුණ මිත්‍යාවක්.
ස්වාමීනි, මෙන්න කරුණු සහිත වූ ප්‍රශ්න දහයක් එනවා. යම් කලෙක ඒවායේ අර්ථය දැන ගන්නවා නම්, එදාට නිගණ්ඨපිරිසත් එක්කම මං ළඟටයි එන්නේ. ඒ තමයි “එක ප්‍රශ්නයකි. මාතෘකා ද එකකි. විසඳුම් ද එකකි. ප්‍රශ්න දෙකකි. මාතෘකා ද දෙකකි. විසඳුම් ද දෙකකි. ප්‍රශ්න තුනකි. මාතෘකා ද තුනකි. විසඳුම් ද තුනකි. ප්‍රශ්න හතරකි. මාතෘකා ද හතරකි. විසඳුම් ද හතරකි. ප්‍රශ්න පහකි. මාතෘකා ද පහකි. විසඳුම් ද පහකි. ප්‍රශ්න හයකි. මාතෘකා ද හයකි. විසඳුම් ද හයකි. ප්‍රශ්න හතකි. මාතෘකා ද හතකි. විසඳුම් ද හතකි. ප්‍රශ්න අටකි. මාතෘකා ද අටකි. විසඳුම් ද අටකි. ප්‍රශ්න නවයකි. මාතෘකා ද නවයකි. විසඳුම් ද නවයකි. ප්‍රශ්න දහයකි. මාතෘකා ද දහයකි. විසඳුම් ද දහයකි” කියලා චිත්ත ගෘහපතිතුමා නිගණ්ඨනාතපුත්තගෙන් කරුණු සහිත වූ මේ ප්‍රශ්න දහය අහලා අසුනෙන් නැගිට පිටත් වුණා.
සාදු ! සාදු !! සාදු !!!
නිගණ්ඨ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_7-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M