සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

7.1.7. ගෝදත්ත සුත්තං

7.1.7. ගෝදත්ත තෙරුන් නැගූ ප්‍රශ්න පිළිබඳ දෙසුම

ඒ දිනවල ආයුෂ්මත් ගෝදත්ත තෙරුන් වහන්සේ වැඩසිටියේ මච්ඡිකාසණ්ඩයේ අම්බාටක වනයේ. එදා චිත්ත ගෘහපතිතුමා, ආයුෂ්මත් ගෝදත්ත තෙරුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් ගෝදත්ත තෙරුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ චිත්ත ගෘහපතිතුමා හට ආයුෂ්මත් ගෝදත්ත තෙරුන් වහන්සේ මෙකරුණ පැවසුවා.

“පින්වත් ගෘහපතිය, යම් මේ අප්‍රමාණ චේතෝ විමුක්තියක් ඇද්ද, යම් ආකිඤ්චඤ්ඤා චේතෝ විමුක්තියක් ඇද්ද, යම් සුඤ්ඤත චේතෝ විමුක්තියක් ඇද්ද, යම් අනිමිත්ත චේතෝ විමුක්තියක් ඇද්ද, මේ ධර්මයන් අර්ථ වශයෙනුත් වෙනස්ද? වචන ප්‍රකාශ කිරීම් වලිනුත් වෙනස්ද? එහෙම නැත්නම්, එකම අර්ථයක් තිබියදී වචන ප්‍රකාශ කිරීම් වලින් විතරක් වෙනස් වෙනවාද?”

“ස්වාමීනී, යම් ක්‍රමයකට පැමිණිලා මේ ධර්මයන් අර්ථ වශයෙනුත් වෙනස් වෙලා, වචන ප්‍රකාශ කිරීම් වලිනුත් වෙනස් වෙනවා නම්, එබඳු ක්‍රමයක් තියෙනවා. ඒ වගේම ස්වාමීනී, යම් ක්‍රමයකට පැමිණිලා මේ ධර්මයන් අර්ථ වශයෙන් එකක්ව තිබියදී ප්‍රකාශ කිරීම් වලින් විතරක් වෙනස් වෙනවා නම්, එබඳු ක්‍රමයකුත් තියෙනවා.

ස්වාමීනී, යම් ක්‍රමයකට පැමිණිලා මේ ධර්මයන් අර්ථ වශයෙනුත් වෙනස් වෙලා, වචන ප්‍රකාශ කිරීම් වලිනුත් වෙනස් වෙනවා නම්, ඒ ක්‍රමය කුමක්ද?

ස්වාමීනී, මෙහිලා භික්ෂුව මෛත්‍රී සහගත සිතින් එක දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවටත්, ඒ වගේම තුන්වෙනි දිශාවටත්, ඒ වගේම හතරවෙනි දිශාවටත්, ඒ වගේම උඩටත්, යටටත්, හරහටත්, සෑම තැනකටම සෑම කෙනෙකුගෙන්ම යුතු සියලු ලෝකයටත්, විපුල වූ, අතිමහත් ලෙස, ප්‍රමාණ රහිත ලෙස, වෛරයෙන් තොරව, තරහෙන් තොරව මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරනවා. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්‍ෂා සහගත සිතින් එක දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවටත්, ඒ වගේම තුන්වෙනි දිශාවටත්, ඒ වගේම හතරවෙනි දිශාවටත්, ඒ වගේම උඩටත්, යටටත්, හරහටත්, සෑම තැනකටම සෑම කෙනෙකුගෙන්ම යුතු සියලු ලෝකයටත්, විපුල වූ, අතිමහත් ලෙස, ප්‍රමාණ රහිත ලෙස, වෛරයෙන් තොරව, තරහෙන් තොරව උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරනවා. ස්වාමීනී, අප්‍රමාණ චේතෝ විමුක්තිය කියන්නේ මෙයටයි.

ස්වාමීනී, ආකිඤ්චඤ්ඤා චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද? ස්වාමීනී, මෙහිලා භික්ෂුව සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා යෑමෙන්, කිසිවක් නැත කියා මෙනෙහි කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරනවා. ස්වාමීනී, මේකට තමයි ආකිඤ්චඤ්ඤා චේතෝ විමුක්තිය කියන්නේ.

ස්වාමීනී, සුඤ්ඤත චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද? ස්වාමීනී, මෙහිලා භික්ෂුව අරණ්‍යකට ගියත්, රුක් සෙවණකට ගියත්. පාළු කුටියකට ගියත් මේ මේ විදියට නුවණින් විමසනවා. ‘මෙය (පඤ්ච උපාදානස්කන්ධ ජීවිතය) වනාහී ආත්මයකින් වේවා, ආත්මයකට අයත් දෙයකින් වේවා, හිස් වූවක්’ කියලා. ස්වාමීනී, මේකට තමයි සුඤ්ඤත චේතෝ විමුක්තිය කියන්නේ.

ස්වාමීනී, අනිමිත්ත චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද? ස්වාමීනී, මෙහිලා භික්ෂුව සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන්, අනිමිත්ත චේතෝ සමාධියට පැමිණ වාසය කරනවා. ස්වාමීනී, මෙයටයි අනිමිත්ත චේතෝ විමුක්තිය කියන්නේ. ස්වාමීනී, යම් ක්‍රමයකට පැමිණිලා මේ ධර්මයන් අර්ථ වශයෙනුත් වෙනස් වෙලා, වචන ප්‍රකාශ කිරීම් වලිනුත් වෙනස් වෙනවා නම්, ඒ ක්‍රමය මෙයයි.

ස්වාමීනී, යම් ක්‍රමයකට පැමිණිලා මේ ධර්මයන් අර්ථ වශයෙන් එකක් වෙලා, වචන ප්‍රකාශ කිරීම් වලින් විතරක් වෙනස් වෙනවා නම්, ඒ ක්‍රමය කුමක්ද?

ස්වාමීනී, රාගය යනු මිම්මකට හසුවන දෙයක්. ද්වේෂය යනු මිම්මකට හසුවෙන දෙයක්. මෝහය යනු මිම්මකට හසුවන දෙයක්. ඒවා ක්ෂීණාශ්‍රව වූ රහත් භික්ෂුවට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින්ම ඉදිරිලයි තියෙන්නේ. මුදුන සිඳුනු තල් ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත්වෙලයි තියෙන්නේ. නැවත නූපදිනා ස්වභාවයෙන් යුක්තවයි තියෙන්නේ. ස්වාමීනී, අප්‍රමාණ චේතෝ විමුක්ති යම්තාක් ඇද්ද, ඒවාට අග්‍රවන්නේ මේ අරහත්ඵල චේතෝ විමුක්තියයි. ඒ අරහත්ඵල චේතෝ විමුක්තිය වනාහී රාගයෙන් හිස් වූවකි. ද්වේෂයෙන් හිස් වූවකි. මෝහයෙන් හිස් වූවකි.

ස්වාමීනී, රාගය යනු කිඤ්චනය (මහා කරදරය) කි. ද්වේෂය යනු කිඤ්චනය (මහා කරදරය) කි. මෝහය යනු කිඤ්චනය (මහා කරදරය) කි. ඒවා ක්ෂීණාශ්‍රව වූ රහත් භික්ෂුවට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින්ම ඉදිරිලයි තියෙන්නේ. මුදුන සිඳුනු තල් ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත්වෙලයි තියෙන්නේ. නැවත නූපදිනා ස්වභාවයෙන් යුක්තවයි තියෙන්නේ. ස්වාමීනී, ආකිඤ්චඤ්ඤා චේතෝ විමුක්ති යම්තාක් ඇද්ද, ඒවාට අග්‍රවන්නේ මේ අරහත්ඵල චේතෝ විමුක්තියයි. ඒ අරහත්ඵල චේතෝ විමුක්තිය වනාහී රාගයෙන් හිස් වූවකි. ද්වේෂයෙන් හිස් වූවකි. මෝහයෙන් හිස් වූවකි.

ස්වාමීනී, රාගය වනාහී කෙලෙසුන්ට නිමිති ඇති කරන්නකි. ද්වේෂය වනාහී කෙලෙසුන්ට නිමිති ඇති කරන්නකි. මෝහය වනාහී කෙලෙසුන්ට නිමිති ඇති කරන්නකි. ඒවා ක්ෂීණාශ්‍රව වූ රහත් භික්ෂුවට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින්ම ඉදිරිලයි තියෙන්නේ. මුදුන සිඳුනු තල් ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත්වෙලයි තියෙන්නේ. නැවත නූපදිනා ස්වභාවයෙන් යුක්තවයි තියෙන්නේ. ස්වාමීනී, අනිමිත්ත චේතෝ විමුක්ති යම්තාක් ඇද්ද, ඒවාට අග්‍රවන්නේ මේ අරහත්ඵල චේතෝ විමුක්තිය යි. ඒ අරහත්ඵල චේතෝ විමුක්තිය වනාහී රාගයෙන් හිස් වූවකි. ද්වේෂයෙන් හිස් වූවකි. මෝහයෙන් හිස් වූවකි. ස්වාමීනී, යම් ක්‍රමයකට පැමිණිලා මේ ධර්මයන් අර්ථ වශයෙන් එකක් වෙලා, වචන ප්‍රකාශ කිරීම් වලින් විතරක් වෙනස් වෙනවා නම්, ඒ ක්‍රමය නම් මෙයයි.”

“පින්වත් ගෘහපතිය, ඔබට ලාභයක් ම යි. පින්වත් ගෘහපතිය, ඔබට සොඳුරු ලාභයක් ම යි. ගම්භීර වූ බුද්ධ වචනය පිළිබඳව ඒ ඔබට ප්‍රඥා ඇස තියෙනවා.”

සාදු ! සාදු !! සාදු !!!

ගෝදත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_7-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M