සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

7.1.6. දුතිය කාමභූ සුත්තං

7.1.6. කාමභූ තෙරුන් වදාළ දෙවන දෙසුම

ඒ දිනවල ආයුෂ්මත් කාමභූ තෙරුන් වහන්සේ වැඩසිටියේ මච්ඡිකාසණ්ඩයේ අම්බාටක වනයේ. එදා චිත්ත ගෘහපතිතුමා, ආයුෂ්මත් කාමභූ තෙරුන් වහන්සේ වැඩසිටි තැනට ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ චිත්ත ගෘහපතිතුමා ආයුෂ්මත් කාමභූ තෙරුන් වහන්සේ හට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, සංස්කාර කීයක් තියෙනවාද?” “පින්වත් ගෘහපතිය, සංස්කාර තුනක් තියෙනවා. කාය සංස්කාර, වචී සංස්කාර හා චිත්ත සංස්කාරයි.” “ස්වාමීනී, ඉතා හොඳයි” කියලා චිත්ත ගෘහපතිතුමා ආයුෂ්මත් කාමභූ තෙරුන්ගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන්ව ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන් ආයෙමත් ප්‍රශ්නයක් ඇසුවා. “ස්වාමීනි, කාය සංස්කාර යනු කුමක්ද? වචී සංස්කාර යනු කුමක්ද? චිත්ත සංස්කාර යනු කුමක්ද?” “පින්වත් ගෘහපතිය, ආශ්වාස ප්‍රශ්වාස යනු කාය සංස්කාරය යි. විතක්ක විචාර යනු වචී සංස්කාරය යි. සඤ්ඤාව ද වේදනාව ද යනු චිත්ත සංස්කාරය යි.” “ස්වාමීනී, ඉතා හොඳයි” කියලා චිත්ත ගෘහපතිතුමා ….(පෙ)…. ආයෙමත් ප්‍රශ්නයක් ඇසුවා.

“ස්වාමීනී, ආශ්වාස ප්‍රශ්වාස කාය සංස්කාර වන්නේ කුමක් නිසාද? විතක්ක විචාර වචී සංස්කාර වන්නේ කුමක් නිසාද? සඤ්ඤාව ද චේතනාව ද චිත්ත සංස්කාර වන්නේ කුමක් නිසාද?” “පින්වත් ගෘහපතිය, ආශ්වාස ප්‍රශ්වාස වනාහී කායිකයි. මේවා කය හා බැඳිල තියෙන්නේ. ඒ නිසයි ආශ්වාස ප්‍රශ්වාස කාය සංස්කාර වන්නේ. පින්වත් ගෘහපතිය, පළමු කොට විතර්ක කරලා විචාර කරලයි පස්සේ වචනය නිකුත් කරන්නේ. ඒ නිසයි විතක්ක විචාර වචී සංස්කාර වන්නේ. සඤ්ඤාවත් වේදනාවත් සිතටයි අයත් වන්නේ. මේවා සිත හා බැඳිලයි තියෙන්නේ. ඒ නිසයි සඤ්ඤාවත් වේදනාවත් චිත්ත සංස්කාර වන්නේ.” “ස්වාමීනී, ඉතා හොඳයි” කියලා චිත්ත ගෘහපතිතුමා ….(පෙ)…. ආයෙමත් ප්‍රශ්නයක් ඇසුවා.

“ස්වාමීනී, සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තිය ඇති වෙන්නේ කොහොමද?” “පින්වත් ගෘහපතිය, සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියට සමවදින්නා වූ භික්ෂුවට මේ අදහස ඇති වන්නේ නෑ. ඒ කියන්නේ, ‘මං සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියට සමවදින්න ඕන’ කියලා හෝ ‘මං සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියට සමවදිමි’ කියලා හෝ ‘මං සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියට සමවැදුනා’ කියලා යන කරුණයි. නමුත් ඒ භික්ෂුවට යම් සිතක් ඒ සඳහා යොමු කරනවා ද, ඒ අයුරින් ඔහුගේ සිත කලින් ම වඩලයි තියෙන්නේ.” “ස්වාමීනී, ඉතා හොඳයි” කියලා චිත්ත ගෘහපතිතුමා ….(පෙ)…. ආයෙමත් ප්‍රශ්නයක් ඇසුවා.

“ස්වාමීනී, සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියට සමවදින්නා වූ භික්ෂුවගේ කුමන දේවල් ද ඉස්සෙල්ලා ම නිරුද්ධ වෙන්නේ. ඒ කියන්නේ, කාය සංස්කාර ද? නැත්නම් වචී සංස්කාර ද? එහෙමත් නැත්නම් චිත්ත සංස්කාර ද?” “පින්වත් ගෘහපතිය, සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියට සමවදින්නා වූ භික්ෂුවගේ වචී සංස්කාරයි පළමුවෙන්ම නිරුද්ධ වෙන්නේ. ඊට පස්සේ කාය සංස්කාරත්, ඊට පස්සේ චිත්ත සංස්කාරත් නිරුද්ධ වෙනවා.” “ස්වාමීනී, ඉතා හොඳයි” කියලා චිත්ත ගෘහපතිතුමා ….(පෙ)…. ආයෙමත් ප්‍රශ්නයක් ඇසුවා.

“ස්වාමීනී, යම් කෙනෙක් මැරුණා ද, කළුරිය කළා ද, යම් මේ භික්ෂුවක් සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියට සමවැදිල ඉන්නව ද, මේ අයගේ ඇති වෙනස්කම මොකක්ද?” “පින්වත් ගෘහපතිය, යම් කෙනෙක් මැරුණා නම්, කළුරිය කළා නම්, ඔහුගේ කාය සංස්කාර නිරුද්ධයි, සංසිඳිලා. වචී සංස්කාර නිරුද්ධයි, සංසිඳිලා. චිත්ත සංස්කාර නිරුද්ධයි, සංසිඳිලා. ආයුෂත් ඉවර වෙලා. උණුසුම සංසිඳිලා. ඉන්ද්‍රියයන් විනාශ වෙලා. නමුත් පින්වත් ගෘහපතිය, යම් මේ භික්ෂුවක් සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියට සමවැදිලා ඉන්නවා ද, ඔහුගේත් කාය සංස්කාර නිරුද්ධයි, සංසිඳිලා. වචී සංස්කාර නිරුද්ධයි, සංසිඳිලා. චිත්ත සංස්කාර නිරුද්ධයි, සංසිඳිලා. ආයුෂ ඉවර වෙලා නෑ. උණුසුම සංසිඳිලා නෑ. ඉන්ද්‍රියයන් ඉතා ප්‍රසන්නයි. පින්වත් ගෘහපතිය, යම් කෙනෙක් මැරුණා ද, කළුරිය කළා ද, යම් මේ භික්ෂුවක් සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියට සමවැදිල ඉන්නව ද, මේ අයගේ ඇති වෙනස්කම මේකයි.” “ස්වාමීනී, ඉතා හොඳයි” කියලා චිත්ත ගෘහපතිතුමා ….(පෙ)…. ආයෙමත් ප්‍රශ්නයක් ඇසුවා.

“ස්වාමීනී, සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියෙන් නැගිටින්නේ කොහොමද?” “පින්වත් ගෘහපතිය, සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියෙන් නැගිටින්නා වූ භික්ෂුවට මෙහෙම හිතෙන්නේ නෑ. ඒ කියන්නේ, ‘මං සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියෙන් නැගිටින්න ඕන’ කියලා හෝ ‘මං සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියෙන් නැගිටිමි’ කියලා හෝ ‘මං සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියෙන් නැගිට්ටා’ කියලා යන කරුණයි. නමුත් ඒ භික්ෂුවට යම් සිතක් ඒ සඳහා යොමු කරනවා ද ඒ අයුරින් ඔහුගේ සිත කලින් ම වඩලයි තියෙන්නේ.” “ස්වාමීනී, ඉතා හොඳයි” කියලා චිත්ත ගෘහපතිතුමා ….(පෙ)…. ආයෙමත් ප්‍රශ්නයක් ඇසුවා.

“ස්වාමීනී, සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියෙන් නැගිටින්නා වූ භික්ෂුවට මොන වගේ දේවල් ද ඉස්සෙල්ලා ම උපදින්නේ? ඒ කියන්නේ, කාය සංස්කාර ද? නැත්නම් වචී සංස්කාර ද? එහෙමත් නැත්නම් චිත්ත සංස්කාර ද?” “පින්වත් ගෘහපතිය, සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියෙන් නැගිටින්නා වූ භික්ෂුවගේ චිත්ත සංස්කාරයි ඉස්සෙල්ලා ම උපදින්නේ. ඊට පස්සේ කාය සංස්කාර, ඊට පස්සේ වචී සංස්කාර.” “ස්වාමීනී, ඉතා හොඳයි” කියලා චිත්ත ගෘහපතිතුමා ….(පෙ)…. ආයෙමත් ප්‍රශ්නයක් ඇසුවා.

“ස්වාමීනී, සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියෙන් නැගී සිටි භික්ෂුවට ස්පර්ශ වන්නේ කවර ස්පර්ශයන් ද?” “පින්වත් ගෘහපතිය, සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියෙන් නැගී සිටි භික්ෂුවට ස්පර්ශ තුනක් ස්පර්ශ වෙනවා. ඒ කියන්නේ, සුඤ්ඤත (අනාත්ම ලක්‍ෂණය වැටහීම මුල් කොට විමුක්තියේ) ස්පර්ශය, අනිමිත්ත (අනිත්‍ය ලක්‍ෂණය වැටහීම මුල් කොට විමුක්තියේ) ස්පර්ශය හා අප්පණිහිත (දුක්ඛ ලක්‍ෂණය වැටහීම මුල් කොට විමුක්තියේ) ස්පර්ශය යි.” “ස්වාමීනී, ඉතා හොඳයි” කියලා චිත්ත ගෘහපතිතුමා ….(පෙ)…. ආයෙමත් ප්‍රශ්නයක් ඇසුවා.

“ස්වාමීනී, සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියෙන් නැගී සිටි භික්ෂුවගේ සිත නැමිලා තියෙන්නේ කුමකටද? නැඹුරු වෙලා තියෙන්නේ කුමකටද? බර වෙලා තියෙන්නේ කුමකටද?” “පින්වත් ගෘහපතිය, සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියෙන් නැගී සිටි භික්ෂුවගේ සිත නැමිලා තියෙන්නේ විවේකයට යි. නැඹුරු වෙලා තියෙන්නේ විවේකයට යි. බර වෙලා තියෙන්නේ විවේකයට යි.” “ස්වාමීනී, ඉතා හොඳයි” කියලා චිත්ත ගෘහපතිතුමා ආයුෂ්මත් කාමභූ තෙරුන්ගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන්ව ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන් ආයෙමත් ප්‍රශ්නයක් ඇසුවා.

“ස්වාමීනී, සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියට බොහෝ සෙයින් උපකාරී වන්නේ කවර දේවල් ද?” “පින්වත් ගෘහපතිය, ඒකාන්තයෙන් ම ඔබ යමක් ඉස්සෙල්ලා ම ඇසිය යුතු නම්, එය තමයි අන්තිමටම ඇසුවේ. එනමුත් මං එයට පිළිතුරු දෙන්නම්. පින්වත් ගෘහපතිය, සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තියට බොහෝ සෙයින් උපකාරී වන්නේ සමථ භාවනාවත්, විදර්ශනා භාවනාවත්ය.”

සාදු ! සාදු !! සාදු !!!

දුතිය කාමභූ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_7-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M