සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

7.1.5. කාමභූ සුත්තං

7.1.5. කාමභූ තෙරුන් නැගූ ප්‍රශ්න පිළිබඳ දෙසුම

ඒ දිනවල ආයුෂ්මත් කාමභූ තෙරුන් වහන්සේ වැඩසිටියේ මච්ඡිකාසණ්ඩයේ අම්බාටක වනයේ. එදා චිත්ත ගෘහපතිතුමා, ආයුෂ්මත් කාමභූ තෙරුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් කාමභූ තෙරුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ චිත්ත ගෘහපතිතුමා හට ආයුෂ්මත් කාමභූ තෙරුන් වහන්සේ මෙකරුණ පැවසුවා. “ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරලා තියෙනවා.

‘රථයක් තියෙනවා. දොස් රහිතයි. සුදු වැස්මකින් යුක්තයි. එක් දැවියකින් යුක්තයි. දුක් නැති සිඳුණු සැඩපහර ඇති බැඳුම් රහිතව එන ඒ රථය දෙස බලන්න.’

පින්වත් ගෘහපතිය, සංක්ෂේපයෙන් වදාරණ ලද මේ දේශනාවෙහි අර්ථය විස්තර වශයෙන් දැන ගත යුත්තේ කොහොමද?” “ස්වාමීනී, කිම ඔය දෙසුම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද දෙයක්ද?” “එසේය ගෘහපතිතුමනි.” “එසේ වී නම් ස්වාමීනී, මං අර්ථය නුවණින් විමසා බලනකල් මොහොතක් ඉවසනු මැනව.” ඉතින් චිත්ත ගෘහපතිතුමා මොහොතක් නිශ්ශබ්දව ඉඳලා ආයුෂ්මත් කාමභූ තෙරුන්ට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, නේලංග (දොස් රහිත) කියලා කිව්වේ මේ සීලයට කියන නමක්. ස්වාමීනී, සේතපච්ඡාදෝ (සුදු වැස්මක්) කියලා කිව්වේ විමුක්තියට කියන නමක්. ස්වාමීනී, ඒකාර (එක් දැවියක්) කියලා කිව්වේ සිහියට කියන නමක්. ස්වාමීනී, වත්තති (තියෙනවා) කියලා කිව්වේ ඉදිරිය බලා යෑමත් ආපසු හැරී ඒමත් යන මෙයට කියන නමක්. ස්වාමීනී, රථ (රථය) කියලා කිව්වේ මව්පියන්ගෙන් හටගත්, බත් වෑංජන වලින් වැඩෙන, අනිත්‍ය වූ, ඉලීම් පිරිමැදීම් කරමින් නඩත්තු වෙන, බිඳෙන සුළු, වැනසෙන සුළු, සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයට කියන නමක්. ස්වාමීනී, රාගය යනු (නීඝ) දුකකි. ද්වේෂය යනු (නීඝ) දුකකි. මෝහය යනු (නීඝ) දුකකි. ඒවා ක්ෂීණාශ්‍රව වූ රහත් භික්ෂුවට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින්ම ඉදිරිලයි තියෙන්නේ. මුදුන සිඳුනු තල් ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත්වෙලයි තියෙන්නේ. නැවත නූපදිනා ස්වභාවයෙන් යුක්තවයි තියෙන්නේ. ඒ නිසයි අරහත් භික්ෂුවට අනීඝ (දුක් නෑ) කියලා කියන්නේ. ස්වාමීනී, ආයන්ත (පැමිණෙන කෙනා) කියලා කියන්නේ රහතන් වහන්සේට කියන නමක්. ස්වාමීනී, සෝත (සැඩපහර) කියලා කියන්නේ මේ තණ්හාවට කියන නමක්. එය ක්ෂීණාශ්‍රව වූ රහත් භික්ෂුවට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින්ම ඉදිරිලයි තියෙන්නේ. මුදුන සිඳුන තල්ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත්වෙලයි තියෙන්නේ. නැවත නූපදිනා ස්වභාවයෙන් යුක්තවයි තියෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේටයි ඡින්නසෝත (සැඩපහර සිඳින ලද කෙනා) කියලා කියන්නේ. ස්වාමීනී, රාගය යනු බන්ධනයකි. ද්වේෂය යනු බන්ධනයකි. මෝහය යනු බන්ධනයකි. ඒවා ක්ෂීණාශ්‍රව වූ රහත් භික්ෂුවට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින්ම ඉදිරිලයි තියෙන්නේ. මුදුන සිඳුන තල්ගසක් මෙන් වෙලයි තියෙන්නේ. අභාවයට පත්වෙලයි තියෙන්නේ. නැවත නූපදිනා ස්වභාවයෙන් යුක්තවයි තියෙන්නේ. ඒ නිසා අරහත් භික්ෂුවට අබන්ධන (බැඳුම් නෑ) කියලා කියනවා. ස්වාමීනී, මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඒ යම් දෙයක් වදාරණ ලද්දේ ද,

‘රථයක් තියෙනවා. දොස් රහිතයි. සුදු වැස්මකින් යුක්තයි. එක් දැවියකින් යුක්තයි. දුක් නැති සිඳුණු සැඩපහර ඇති බැඳුම් රහිතව එන ඒ රථය දෙස බලන්න.’

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද මෙම දේශනාවෙහි අර්ථය ඔය ආකාරයෙනුයි විස්තර වශයෙන් මට තේරුණේ.” “පින්වත් ගෘහපතිය, ඔබට ලාභයක් ම යි. පින්වත් ගෘහපතිය, ඔබට සොඳුරු ලාභයක් ම යි. ගම්භීර වූ බුද්ධ වචනය පිළිබඳව ඒ ඔබට ප්‍රඥා ඇස තියෙනවා.”

සාදු ! සාදු !! සාදු !!!

කාමභූ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_7-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M