සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

7.1.4. මහක සුත්තං

7.1.4. මහක තෙරුන්ගේ ඍද්ධිබලය ගැන විස්තර වන දෙසුම

ඒ දිනවල බොහෝ ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා වැඩසිටියේ මච්ඡිකාසණ්ඩයේ අම්බාටක වනයේ. එදා චිත්ත ගෘහපතිතුමා, ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ස්ථවිර භික්‍ෂූන් වහන්සේලාට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු චිත්ත ගෘහපතිතුමා ස්ථවිර භික්‍ෂූන් හට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, තෙරුන්වහන්සේලා හෙට දවසේ මාගේ දානය ඉවසා වදාරණ සේක්වා” කියලා. ස්ථවිර භික්ෂූන් වහන්සේලා නිශ්ශබ්දව එම ඇරයුම පිළිගත්තා. එවිට චිත්ත ගෘහපතිතුමා ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා නිශ්ශබ්දව ඒ ඇරයුම පිළිගත් බව දැන අසුනෙන් නැගිට ස්ථවිර භික්‍ෂූන්ට වන්දනා කොට, ප්‍රදක්‍ෂිණා කොට පිටත්වුණා.

ඉතින් ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා ඒ රෑ ඇවෑමෙන් පෙරවරුවෙහි සිවුරු හැඳපොරවාගෙන පාසිවුරු ගෙන චිත්ත ගෘහපතිතුමාගේ ගවපට්ටිය තිබෙන තැනට වැඩම කළා. වැඩම කොට පණවන ලද අසුන්හි වැඩසිටියා. එතකොට චිත්ත ගෘහපතිතුමා ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා ප්‍රණීත වූ ගිතෙල් මුසු කිරිබතින් සියතින්ම පිළිගැන්වූවා. මැනැවින් පිළිගැන්වූවා. ඉන්පසු දන් වළඳා පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා අසුනෙන් නැගිට වැඩම කළා. චිත්ත ගෘහපතිතුමා ද ඉතුරු දන්පැන් අස් කරන්න යැයි පවසා ස්ථවිර භික්‍ෂූන් වහන්සේලාගේ පසුපසින් ගමන් කළා.

ඒ කාලය කැකෑරෙන අව්රස්නය ඇති කාලයයි. ඒ ස්ථවිර භික්‍ෂූන් වහන්සේලාත් මිහිරි බොජුන් වැළඳූ කලෙක පරිද්දෙන් (කුඩ දැරීමත්, පාවහන් දැරීමත් නැති ඒ යුගයේ පායන කාලයක පොළොවද රත් වී ඇති හෙයින්) අපහසුතාවයකින් යුතු කයින් යුතුව වැඩම කළා. එකල්හී ඒ භික්‍ෂු සංඝයා අතර සියල්ලන්ටම නවක වූ භික්ෂුවක් වශයෙනුයි ආයුෂ්මත් මහක තෙරුන් හිටියේ. එතකොට ආයුෂ්මත් මහක තෙරුන් ආයුෂ්මත් ස්ථවිරයන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනි, ස්ථවිරයන් වහන්ස, සීතල සුළඟත් හමනවා නම්, වැහිවළාකුළුත් පාවෙනවා නම්, වැහිපොදත් එක දෙක වැටෙනවා නම් හොඳයි නේද?” “ප්‍රිය ආයුෂ්මත් මහක, සීතල සුළඟත් හමනවා නම්, වැහිවළාකුළුත් පාවෙනවා නම්, වැහිපොදත් එක දෙක වැටෙනවා නම් හොඳයි නේන්නම්.” එවිට ආයුෂ්මත් මහක තෙරුන් යම් සේ සීතල සුළඟත් හමායයිද, වළාකුළුත් පාවෙනවාද, වැහිපොදත් එක දෙක වැටෙනවා ද එබඳු වූ ඍද්ධි ප්‍රාතිහාර්යයක් කළා.

එතකොට චිත්ත ගෘහපතිතුමාට, මෙහෙම හිතුනා. මේ භික්‍ෂු සංඝයා අතර සියල්ලන්ටම නවක වූ යම් භික්ෂුවක් වෙත් නම්, මේසා මහත් ඍද්ධි ආනුභාවය උන්වහන්සේගෙයි කියලා. ඉතින් ආයුෂ්මත් මහක තෙරුන් ආරාමයට පැමිණිලා, ආයුෂ්මත් ස්ථවිරයන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනි, ස්ථවිරයන් වහන්ස, මෙපමණකින් ඇති නේද?” “ප්‍රිය ආයුෂ්මත් මහකය, එපමණකින්ම වුණත් කළා නොවැ. ප්‍රිය ආයුෂ්මත් මහකය, එපමණකින්ම වුණත් පිදුවා නොවැ.” ඉක්බිති ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා තම තමන්ගේ වෙහෙරට වැඩියා. ආයුෂ්මත් මහක තෙරුන්ද තම විහාරයට වැඩියා.

එතකොට චිත්ත ගෘහපතිතුමා, ආයුෂ්මත් මහක තෙරුන් වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් මහක තෙරුන්ට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ චිත්ත ගෘහපතිතුමා ආයුෂ්මත් මහක තෙරුන්ට මෙහෙම කිව්වා. “ස්වාමීනි, ආර්ය වූ මහක තෙරුන් වහන්සේ මට උතුරු මිනිස් දහමක් වූ ඍද්ධි ප්‍රාතිහාර්යයක් දක්වන සේක් නම්, ඉතා මැනැවි” කියලා. “එසේ වී නම් පින්වත් ගෘහපතිය, ආලින්දයෙහි උතුරුසළුව බිම එළලා තණකොළ මිටියක් විසුරුවන්න.” “එසේය ස්වාමීනී” කියලා චිත්ත ගෘහපතිතුමා, ආයුෂ්මත් මහක තෙරුන්ට පිළිතුරු දී ආලින්දයෙහි උතුරුසළුව අතුරලා තණකොළ මිටියක් විසිරෙව්වා.

එතකොට ආයුෂ්මත් මහක තෙරුන් කුටියට වැඩලා යතුරු අගුල දමලා යම් සේ යතුරු සිදුරින් අගුල අතරින් ගිනිදළු නිකුත් වෙලා තණකොළ දැවිලා යනවාද, උතුරුසළුව නොදැවී තිබෙනවාද, එබඳු වූ ඍද්ධි ප්‍රාතිහාර්යයක් කළා. එතකොට චිත්ත ගෘහපතිතුමා උතුරුසළුව ගසලා, අරගෙන පුදුමයටත්, ලොමුඩහ ගැනීමටත් පත් වෙලා එකත්පස්ව හිට ගත්තා. ඉතින් ආයුෂ්මත් මහක තෙරුන් කුටියෙන් නික්මිලා චිත්ත ගෘහපතියාට මෙහෙම කිව්වා. “පින්වත් ගෘහපතිය, මෙපමණකින් ඇති නේද?” “ස්වාමීනී, මහකයන් වහන්ස, එපමණකින් ම වුණත් කළා නොවැ. ස්වාමීනී, මහකයන් වහන්ස, එපමණකින් ම වුණත් පිදුවා නොවැ. ස්වාමීනි, ආර්ය වූ මහකයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි සිත් අලවා වසන සේක්වා. අම්බාටක වනය රමණීයයි. මං ආර්ය වූ මහකයන් වහන්සේට සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර සපයා දෙන්ට උත්සාහවත් වෙන්නම්.” පින්වත් ගෘහපතිය, කල්‍යාණ වූ වචන කියයි. ඉතින් ආයුෂ්මත් මහකයන් වහන්සේ සේනාසනය අස්පස් කොට තබා, පාසිවුරුත් අරගෙන මච්ඡිකාසණ්ඩයෙන් පිටත් වෙලා වැඩියා. මච්ඡිකාසණ්ඩයෙන් යම් අයුරකින් වැඩියා ද, එසේ වැඩියා ම යි. ආයෙමත් පෙරලා වැඩම කළේ නෑ.

සාදු ! සාදු !! සාදු !!!

මහක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_7-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M