සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

7.1.3. දුතිය ඉසිදත්ත සුත්තං

7.1.3. ඉසිදත්ත තෙරුන් වදාළ දෙවෙනි දෙසුම

ඒ දිනවල බොහෝ ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා වැඩසිටියේ මච්ඡිකාසණ්ඩයේ අම්බාටක වනයේ. එදා චිත්ත ගෘහපතිතුමා, ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ස්ථවිර භික්‍ෂූන් වහන්සේලාට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු චිත්ත ගෘහපතිතුමා ස්ථවිර භික්‍ෂූන් හට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, තෙරුන්වහන්සේලා හෙට දවසේ මාගේ දානය ඉවසා වදාරණ සේක්වා” කියලා. ස්ථවිර භික්ෂූන් වහන්සේලා නිශ්ශබ්දව එම ඇරයුම පිළිගත්තා. එවිට චිත්ත ගෘහපතිතුමා ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා නිශ්ශබ්දව ඒ ඇරයුම පිළිගත් බව දැන අසුනෙන් නැගිට ස්ථවිර භික්‍ෂූන්ට වන්දනා කොට, ප්‍රදක්‍ෂිණා කොට පිටත්වුණා.

ඉතින් ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා ඒ රෑ ඇවෑමෙන් පෙරවරුවෙහි සිවුරු හැඳපොරවාගෙන පාසිවුරු ගෙන චිත්ත ගෘහපතිතුමාගේ නිවස වෙත වැඩම කළා. වැඩම කොට පණවන ලද අසුන්හි වැඩසිටියා. එතකොට චිත්ත ගෘහපතිතුමා ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා වෙත පැමිණුනා. පැමිණිලා ස්ථවිර භික්‍ෂූන් වහන්සේලාට වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු චිත්ත ගෘහපතිතුමා ආයුෂ්මත් ස්ථවිර භික්‍ෂු නමකට මෙකරුණ පැවසුවා.

“ස්වාමිනී, ස්ථවිරයන් වහන්ස, ලෝකයෙහි අනේකප්‍රකාර වූ යම් දෘෂ්ටීන් උපදිනවා. ඒ කියන්නේ ලෝකය සදාකාලිකයි කියනවා. ලෝකය අශාශ්වතයි කියනවා. ලෝකය අන්තවත්ය කියනවා. ලෝකය අනන්තවත්ය කියනවා. එයයි ජීවය එයයි ශරීරයත් කියලා කියනවා. ජීවය අනෙකක්ය ශරීරය අනෙකක්ය කියලා කියනවා. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත කියලා කියනවා. තථාගතයන් වහන්සේ මරණින් මතු නැත කියලා කියනවා. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත නැත කියලා කියනවා. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත කියලා කියනවා. ඔය වගේ යම් මේ හැට දෙකක් දෘෂ්ටීන් ගැන බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරළ තියෙනවා නොවැ. ඉතින් ස්වාමීනි, ඔය දෘෂ්ටි ඇති වෙන්නේ කුමක් ඇති කල්හිද? ඔය දෘෂ්ටි ඇති නොවන්නේ කුමක් නැති කල්හිද?”

මෙසේ ඇසූ විට ආයුෂ්මත් ස්ථවිරයන් වහන්සේ නිශ්ශබ්ද වුණා. දෙවනුවත් චිත්ත ගෘහපතිතුමා ….(පෙ)…. තෙවනුවත් චිත්ත ගෘහපතිතුමා ආයුෂ්මත් ස්ථවිර භික්‍ෂු නමට මෙකරුණ පැවසුවා. “ස්වාමිනී, ස්ථවිරයන් වහන්ස, ලෝකයෙහි අනේකප්‍රකාර වූ යම් දෘෂ්ටීන් උපදිනවා. ඒ කියන්නේ ලෝකය සදාකාලිකයි කියනවා. ලෝකය අශාශ්වතයි කියනවා. ලෝකය අන්තවත්ය කියනවා. ලෝකය අනන්තවත්ය කියනවා. එයයි ජීවය එයයි ශරීරයත් කියලා කියනවා. ජීවය අනෙකක්ය ශරීරය අනෙකක්ය කියලා කියනවා. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත කියලා කියනවා. තථාගතයන් වහන්සේ මරණින් මතු නැත කියලා කියනවා. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත නැත කියලා කියනවා. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත කියලා කියනවා. ඔය වගේ යම් මේ හැට දෙකක් දෘෂ්ටීන් ගැන බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරළ තියෙනවා නොවැ. ඉතින් ස්වාමීනි, ඔය දෘෂ්ටි ඇති වෙන්නේ කුමක් ඇති කල්හිද? ඔය දෘෂ්ටි ඇති නොවන්නේ කුමක් නැති කල්හිද?” තෙවනුවත් ආයුෂ්මත් ස්ථවිරයන් වහන්සේ නිශ්ශබ්ද වුණා.

ඒ වෙලාවේදී ආයුෂ්මත් ඉසිදත්ත තෙරුන් සිටියේ ඒ භික්‍ෂු සංඝයා අතර සියල්ලට නවක භික්ෂුව වශයෙනුයි. ඉතින් ආයුෂ්මත් ඉසිදත්ත තෙරුන් ආයුෂ්මත් ස්ථවිරයන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ස්ථවිරයන් වහන්ස, චිත්ත ගෘහපතිතුමාගේ මේ ප්‍රශ්නය මං විසඳන්ටද?” “ප්‍රිය ආයුෂ්මත් ඉසිදත්ත, චිත්ත ගෘහපතිතුමාගේ ඔය ප්‍රශ්නය ඔබ විසඳන්ට.”

“පින්වත් ගෘහපතිය, ඔබ මේ අයුරින් නොවැ අහන්නේ? ‘ස්වාමිනී, ස්ථවිරයන් වහන්ස, ලෝකයෙහි අනේකප්‍රකාර වූ යම් දෘෂ්ටීන් උපදිනවා. ඒ කියන්නේ ලෝකය සදාකාලිකයි කියනවා ….(පෙ)…. ඉතින් ස්වාමීනි, ඔය දෘෂ්ටි ඇති වෙන්නේ කුමක් ඇති කල්හිද? ඔය දෘෂ්ටි ඇති නොවන්නේ කුමක් නැති කල්හිද?’ කියලා.” “එසේය ස්වාමීනි.” “පින්වත් ගෘහපතිය, ලෝකයෙහි අනේකප්‍රකාර වූ යම් දෘෂ්ටීන් උපදිනවා. ඒ කියන්නේ ලෝකය සදාකාලිකයි කියනවා. ලෝකය අශාශ්වතයි කියනවා. ලෝකය අන්තවත්ය කියනවා. ලෝකය අනන්තවත්ය කියනවා. එයයි ජීවය එයයි ශරීරයත් කියලා කියනවා. ජීවය අනෙකක්ය ශරීරය අනෙකක්ය කියලා කියනවා. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත කියලා කියනවා. තථාගතයන් වහන්සේ මරණින් මතු නැත කියලා කියනවා. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත නැත කියලා කියනවා. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත කියලා කියනවා. ඔය වගේ යම් මේ හැට දෙකක් දෘෂ්ටීන් ගැන බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරළ තියෙනවා නොවැ. පින්වත් ගෘහපතිය, ඔය දෘෂ්ටි ඇති වෙන්නේ සක්කාය දිට්ඨිය තියෙන කොටයි. ඔය දෘෂ්ටි ඇති නොවන්නේ සක්කාය දිට්ඨිය නැති විටයි.”

“ස්වාමීනි, සක්කාය දිට්ඨිය ඇති වන්නේ කොහොමද?” “පින්වත් ගෘහපතිය, මේ ලෝකයේ අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා නොදකින කෙනෙක්. ආර්ය ධර්මය තේරුම් ගන්ට අදක්‍ෂ කෙනක්. ආර්ය ධර්මයෙහි නොහික්මුන කෙනෙක්. ඒ වගේම ඔහු සත්පුරුෂයන් වහන්සේලා නොදකින කෙනෙක්. සත්පුරුෂ ධර්මය තේරුම් ගන්ට අදක්‍ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුන කෙනෙක්. ඒ නිසා ඔහු (සතර මහා ධාතූන්ගෙන් හටගන්නා වූ) රූපය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුළාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුළාවෙන් දකින්නේ ආත්මය රූපයෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුළාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි රූපය තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුළාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ රූපය තුළයි කියලා. වේදනාව ආත්මය වශයෙන් දකිනවා ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුළාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුළාවෙන් දකින්නේ ආත්මය විඤ්ඤාණයෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුළාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි විඤ්ඤාණය තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුළාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ විඤ්ඤාණය තුළයි කියලා. පින්වත් ගෘහපතිය, සක්කාය දිට්ඨිය ඇති වන්නේ ඔය විදිහටයි.”

“ස්වාමීනි, සක්කාය දිට්ඨිය ඇති නොවන්නේ කොහොමද?” “පින්වත් ගෘහපතිය, මේ ලෝකයෙහි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා දකින කෙනෙක්. ආර්ය ධර්මය තේරුම් ගන්ට දක්‍ෂ කෙනක්. ආර්ය ධර්මයෙහි හික්මුන කෙනෙක්. ඒ වගේම ඔහු සත්පුරුෂයන් වහන්සේලා දකින කෙනෙක්. සත්පුරුෂ ධර්මය තේරුම් ගන්ට දක්‍ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි හික්මුන කෙනෙක්. ඒ නිසා ඔහු (සතර මහා ධාතූන්ගෙන් හටගන්නා වූ) රූපය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුළාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මය රූපයෙන් හැදිච්ච එකක් කියලත් මුළාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි රූපය තියෙන්නේ කියලත් මුළාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ රූපය තුළයි කියලත් මුළාවෙන් දකින්නේ නෑ. වේදනාව ….(පෙ)…. දකින්නේ නෑ. සඤ්ඤාව ….(පෙ)…. දකින්නේ නෑ. සංස්කාර ….(පෙ)…. දකින්නේ නෑ. ඒ වගේම ඔහු (නාම රූපයෙන් හටගන්නා වූ) විඤ්ඤාණය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුළාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මය විඤ්ඤාණයෙන් හැදිච්ච එකක් කියලත් මුළාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි විඤ්ඤාණය තියෙන්නේ කියලත් මුළාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ විඤ්ඤාණය තුළයි කියලත් මුළාවෙන් දකින්නේ නෑ. පින්වත් ගෘහපතිය, සක්කාය දිට්ඨිය ඇති නොවන්නේ ඔය විදිහටයි.”

“ස්වාමීනි, ආර්ය වූ ඉසිදත්තයන් වහන්සේ කොහේ ඉඳලද වැඩියේ?” “පින්වත් ගෘහපතිය, මං එන්නේ අවන්ති ජනපදයේ ඉඳලයි.” “ස්වාමීනි, අවන්තියෙහි, ඉසිදත්ත කියලා අපි දැකපු නැති යහළු වූ අපගේ පැවිදි කුල පුත්‍රයෙක් ඉන්නවා. ආයුෂ්මතුන් වහන්සේ එයාව දැකලා තියෙනවාද?” “එසේය ගෘහපතිය.” “ස්වාමීනි, දැන් ඒ ආයුෂ්මතුන් වහන්සේ වාසය කරන්නේ කොහේද?” මෙසේ කී විට ආයුෂ්මත් ඉසිදත්තයන් වහන්සේ නිශ්ශබ්ද වුණා. “ස්වාමීනි, ආර්යන් වහන්සේ අපගේ ඉසිදත්තයන් වහන්සේද?” “එසේය ගෘහපතිය.” “ස්වාමීනි, ආර්ය වූ ඉසිදත්තයන් වහන්සේ මච්ඡිකා සණ්ඩයෙහි සිත් අලවා වසන සේක්වා. අම්බාටක වනය රමණීයයි. මං ආර්ය වූ ඉසිදත්තයන් වහන්සේට සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර සපයා දෙන්ට උත්සාහවත් වෙන්නම්.” “පින්වත් ගෘහපතිය, කල්‍යාණ වූ වචන කියයි.”

එතකොට චිත්ත ගෘහපතිතුමා ආයුෂ්මත් ඉසිදත්තයන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුණා. ස්ථවිර භික්‍ෂූන් ප්‍රණීත වූ වළඳන අනුභව කළ යුතු දැයින් සියතින්ම පිළිගැන්වූවා. මැනවින් පිළිගැන්වූවා. ඉන්පසු දන් වළඳා පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා අසුනෙන් නැගිට වැඩම කළා.

එතකොට ආයුෂ්මත් ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ඉසිදත්ත තෙරුන්ට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත් ඉසිදත්තයෙනි, ඒ ප්‍රශ්නය ඔබට වැටහුණු අයුරු නම් ඉතා යහපත්. මට ඔය ප්‍රශ්නය වැටහුණේ නෑ නොවැ. එහෙම නම් ප්‍රිය ආයුෂ්මත් ඉසිදත්ත, යම් කලෙක නැවත ඔය ආකාර වූ ප්‍රශ්නයක් ආවොත් එහිලා ඔබටම කරුණු වැටහුණා නම් හොඳයි.” ඉතින් ආයුෂ්මත් ඉසිදත්තයන් වහන්සේ සේනාසනය අස්පස් කොට තබා, පාසිවුරුත් අරගෙන මච්ඡිකාසණ්ඩයෙන් පිටත් වෙලා වැඩියා. මච්ඡිකාසණ්ඩයෙන් යම් අයුරකින් වැඩියා ද, එසේ වැඩියා ම යි. ආයෙමත් පෙරලා වැඩම කළේ නෑ.

සාදු ! සාදු !! සාදු !!!

දුතිය ඉසිදත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_7-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M