ඒ දිනවල බොහෝ ස්ථවිර භික්ෂූන් වහන්සේලා වැඩසිටියේ මච්ඡිකාසණ්ඩයේ අම්බාටක වනයේ. එදා චිත්ත ගෘහපතිතුමා, ස්ථවිර භික්ෂූන් වහන්සේලා වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ස්ථවිර භික්ෂූන් වහන්සේලාට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු චිත්ත ගෘහපතිතුමා ස්ථවිර භික්ෂූන් හට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, තෙරුන්වහන්සේලා හෙට දවසේ මාගේ දානය ඉවසා වදාරණ සේක්වා” කියලා. ස්ථවිර භික්ෂූන් වහන්සේලා නිශ්ශබ්දව එම ඇරයුම පිළිගත්තා. එවිට චිත්ත ගෘහපතිතුමා ස්ථවිර භික්ෂූන් වහන්සේලා නිශ්ශබ්දව ඒ ඇරයුම පිළිගත් බව දැන අසුනෙන් නැගිට ස්ථවිර භික්ෂූන්ට වන්දනා කොට, ප්රදක්ෂිණා කොට පිටත්වුණා.
ඉතින් ස්ථවිර භික්ෂූන් වහන්සේලා ඒ රෑ ඇවෑමෙන් පෙරවරුවෙහි සිවුරු හැඳපොරවාගෙන පාසිවුරු ගෙන චිත්ත ගෘහපතිතුමාගේ නිවස වෙත වැඩම කළා. වැඩම කොට පණවන ලද අසුන්හි වැඩසිටියා. එතකොට චිත්ත ගෘහපතිතුමා ස්ථවිර භික්ෂූන් වහන්සේලා වෙත පැමිණුනා. පැමිණිලා ස්ථවිර භික්ෂූන් වහන්සේලාට වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු චිත්ත ගෘහපතිතුමා ආයුෂ්මත් ස්ථවිර භික්ෂු නමකට මෙකරුණ පැවසුවා.
“ස්වාමිනී, ස්ථවිරයන් වහන්ස, ධාතු නානත්වය, ධාතු නානත්වය කියලා කියනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතු නානත්වයක් වදාරණ ලද්දේ කවර කරුණු මතද?” මෙසේ ඇසූ විට ආයුෂ්මත් ස්ථවිරයන් වහන්සේ නිශ්ශබ්ද වුණා. දෙවනුවත් චිත්ත ගෘහපතිතුමා ආයුෂ්මත් ස්ථවිර භික්ෂු නමට මෙකරුණ පැවසුවා. “ස්වාමිනී, ස්ථවිරයන් වහන්ස, ධාතු නානත්වය, ධාතු නානත්වය කියලා කියනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතු නානත්වයක් වදාරණ ලද්දේ කවර කරුණු මතද?” දෙවනුවත් ආයුෂ්මත් ස්ථවිරයන් වහන්සේ නිශ්ශබ්ද වුණා. තෙවනුවත් චිත්ත ගෘහපතිතුමා ආයුෂ්මත් ස්ථවිර භික්ෂු නමට මෙකරුණ පැවසුවා. “ස්වාමිනී, ස්ථවිරයන් වහන්ස, ධාතු නානත්වය, ධාතු නානත්වය කියලා කියනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතු නානත්වයක් වදාරණ ලද්දේ කවර කරුණු මතද?” තෙවනුවත් ආයුෂ්මත් ස්ථවිරයන් වහන්සේ නිශ්ශබ්ද වුණා.
ඒ වෙලාවේදී ආයුෂ්මත් ඉසිදත්ත තෙරුන් සිටියේ ඒ භික්ෂු සංඝයා අතර සියල්ලට නවක භික්ෂුව වශයෙනුයි. ඉතින් ආයුෂ්මත් ඉසිදත්ත තෙරුන් ආයුෂ්මත් ස්ථවිරයන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ස්ථවිරයන් වහන්ස, චිත්ත ගෘහපතිතුමාගේ මේ ප්රශ්නය මං විසඳන්ටද?” “ප්‍රිය ආයුෂ්මත් ඉසිදත්ත, චිත්ත ගෘහපතිතුමාගේ ඔය ප්රශ්නය ඔබ විසඳන්ට.”
“පින්වත් ගෘහපතිය, ‘ස්වාමීනී, ස්ථවිරයන් වහන්ස, ධාතු නානත්වය, ධාතු නානත්වය කියලා කියනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතු නානත්වයක් වදාරණ ලද්දේ කවර කරුණු මතද?’ කියලා ඔබ ඔය විදිහට ඇසුවා නේද?” “එසේය ස්වාමීනි” “පින්වත් ගෘහපතිය, ධාතු නානත්වය ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ මෙයයි. ඇස නම් වූ ධාතු ස්වභාවය, රූප නම් වූ ධාතු ස්වභාවය, ඇසේ විඤ්ඤාණය නම් වූ ධාතු ස්වභාවය, කන නම් වූ ධාතු ස්වභාවය, ශබ්ද නම් වූ ධාතු ස්වභාවය, කනේ විඤ්ඤාණය නම් වූ ධාතු ස්වභාවය, නාසය නම් වූ ධාතු ස්වභාවය, ගඳ සුවඳ නම් වූ ධාතු ස්වභාවය, නාසයේ විඤ්ඤාණය නම් වූ ධාතු ස්වභාවය, දිව නම් වූ ධාතු ස්වභාවය, රස නම් වූ ධාතු ස්වභාවය, දිවේ විඤ්ඤාණය නම් වූ ධාතු ස්වභාවය, කය නම් වූ ධාතු ස්වභාවය, පහස නම් වූ ධාතු ස්වභාවය, කයේ විඤ්ඤාණය නම් වූ ධාතු ස්වභාවය, මනස නම් වූ ධාතු ස්වභාවය, මනසට අරමුණු වන දේ නම් වූ ධාතු ස්වභාවය, මනසේ විඤ්ඤාණය නම් වූ ධාතු ස්වභාවය යන මෙයයි. පින්වත් ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් තමයි ධාතු නානත්වය වදාරණ ලද්දේ.”
එතකොට චිත්ත ගෘහපතිතුමා ආයුෂ්මත් ඉසිදත්තයන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුණා. ස්ථවිර භික්ෂූන් ප්‍රණීත වූ වළඳන අනුභව කළ යුතු දැයින් සියතින් ම පිළිගැන්වූවා. මැනවින් පිළිගැන්වූවා. ඉන්පසු දන් වළඳා පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති ස්ථවිර භික්ෂූන් වහන්සේලා අසුනෙන් නැගිට වැඩම කළා. එතකොට ආයුෂ්මත් ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ඉසිදත්ත තෙරුන්ට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත් ඉසිදත්තයෙනි, ඒ ප්රශ්නය ඔබට වැටහුණු අයුරු නම් ඉතා යහපත්. මට ඔය ප්රශ්නය වැටහුණේ නෑ නොවැ. එහෙම නම් ප්‍රිය ආයුෂ්මත් ඉසිදත්ත, යම් කලෙක නැවත ඔය ආකාර වූ ප්‍රශ්නයක් ආවොත් එහිලා ඔබට ම කරුණු වැටහුණා නම් හොඳයි.”
සාදු ! සාදු !! සාදු !!!
ඉසිදත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_7-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M