සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

7.1.1. සංයෝජන සුත්තං

7.1.1. කෙලෙස් බන්ධන ගැන වදාළ දෙසුම

ඒ දිනවල බොහෝ ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා වැඩසිටියේ මච්ඡිකාසණ්ඩයේ අම්බාටක වනයේ. ඒ දිනවල පිණ්ඩපාතෙන් වැළකුණු සවස් කාලයෙහි රැස්වීම් ශාලාවෙහි වැඩසිටින ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා අතර මේ කථාව ඇතිවුණා. “ප්‍රිය ආයුෂ්මත්නි, කෙලෙස් බන්ධන කියලත්, කෙලෙස් බන්ධන ඇති කරවන දේ කියලත් කියන මේ කාරණා අර්ථ වශයෙනුත් වෙනස් ද? වචන ප්‍රකාශ කිරීම් වශයෙනුත් වෙනස් ද? එහෙම නැත්නම් එකම අර්ථයක් ද? වචන ප්‍රකාශ කිරීම් වල විතරක් ඇති වෙනස්කමක් ද?” කියලා.

එතකොට එහි ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් පිළිතුරු දුන්නේ මේ විදිහටයි. “ප්‍රිය ආයුෂ්මත්නි, කෙලෙස් බන්ධන කියලත්, කෙලෙස් බන්ධන ඇති කරවන දේ කියලත් කියන මේ කාරණය අර්ථ වශයෙනුත් වෙනස්. ප්‍රකාශ කිරීම්වලත් වෙනස්කමක් තියෙනවා” කියලා. එතකොට ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් පිළිතුරු දුන්නේ මේ විදිහටයි. “ප්‍රිය ආයුෂ්මත්නි, කෙලෙස් බන්ධන කියලත්, කෙලෙස් බන්ධන ඇති කරවන දේ කියලත් කියන මේ කාරණය අර්ථ වශයෙන් එකයි. ප්‍රකාශ කිරීම්වල විතරයි වෙනස තියෙන්නේ” කියලා.

ඒ වෙලාව වන විට චිත්ත ගෘහපතිතුමා කිසියම් කටයුත්තකට මිගපථක කියන ගමට පැමිණිලා හිටියා. සවස්වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු රැස්වීම් ශාලාවට රැස්ව සිටින්නා වූ බොහෝ ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා අතර ඇතිවුණ මේ කථාව චිත්ත ගෘහපතිතුමාට අසන්ට ලැබුණා. “ප්‍රිය ආයුෂ්මත්නි, කෙලෙස් බන්ධන කියලත්, කෙලෙස් බන්ධන ඇති කරවන දේ කියලත් කියන මේ කාරණා අර්ථ වශයෙනුත් වෙනස්ද? වචන ප්‍රකාශ කිරීම් වශයෙනුත් වෙනස්ද? එහෙම නැත්නම් එකම අර්ථයක්ද? වචන ප්‍රකාශ කිරීම් වල විතරක් ඇති වෙනස්කමක්ද?” කියලා. එතකොට එහි ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් පිළිතුරු දුන්නේ මේ විදිහටයි කියලා. “ප්‍රිය ආයුෂ්මත්නි, කෙලෙස් බන්ධන කියලත්, කෙලෙස් බන්ධන ඇති කරවන දේ කියලත් කියන මේ කාරණය අර්ථ වශයෙනුත් වෙනස්. ප්‍රකාශ කිරීම්වලත් වෙනස්කමක් තියෙනවා.” එතකොට ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් පිළිතුරු දුන්නේ මේ විදිහටයි කියලා. “ප්‍රිය ආයුෂ්මත්නි, කෙලෙස් බන්ධන කියලත්, කෙලෙස් බන්ධන ඇති කරවන දේ කියලත් කියන මේ කාරණය අර්ථ වශයෙන් එකයි. ප්‍රකාශ කිරීම්වල විතරයි වෙනස තියෙන්නේ” එතකොට චිත්ත ගෘහපතිතුමා ස්ථවිර භික්‍ෂූන් වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ස්ථවිර භික්‍ෂූන්ට වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ චිත්ත ගෘහපතිතුමා ස්ථවිර භික්‍ෂූන්ට මෙකරුණ සැළකළා.

ස්වාමීනී, මට මෙකරුණ අසන්ට ලැබුණා. ඒ කියන්නේ සවස් වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු රැස්වීම් ශාලාවට රැස්ව සිටින්නා වූ බොහෝ ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා අතර මේ කථාව ඇතිවුණා. “ප්‍රිය ආයුෂ්මත්නි, කෙලෙස් බන්ධන කියලත්, කෙලෙස් බන්ධන ඇති කරවන දේ කියලත් කියන මේ කාරණා අර්ථ වශයෙනුත් වෙනස්ද? වචන ප්‍රකාශ කිරීම් වශයෙනුත් වෙනස්ද? එහෙම නැත්නම් එකම අර්ථයක්ද? වචන ප්‍රකාශ කිරීම් වල විතරක් ඇති වෙනස්කමක් ද?” කියලා. එතකොට එහි ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් පිළිතුරු දුන්නේ මේ විදිහටයි කියලා. “ප්‍රිය ආයුෂ්මත්නි, කෙලෙස් බන්ධන කියලත්, කෙලෙස් බන්ධන ඇති කරවන දේ කියලත් කියන මේ කාරණය අර්ථ වශයෙනුත් වෙනස්. ප්‍රකාශ කිරීම්වලත් වෙනස්කමක් තියෙනවා” එතකොට ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් පිළිතුරු දුන්නේ මේ විදිහටයි කියලා. “ප්‍රිය ආයුෂ්මත්නි, කෙලෙස් බන්ධන කියලත්, කෙලෙස් බන්ධන ඇති කරවන දේ කියලත් කියන මේ කාරණය අර්ථ වශයෙන් එකයි. ප්‍රකාශ කිරීම්වල විතරයි වෙනස තියෙන්නේ” කියලා. “එසේය ගෘහපතිය”

“ස්වාමීනී, කෙලෙස් බන්ධන කියලත්, කෙලෙස් බන්ධන ඇති කරවන දේ කියලත් කියන කාරණය අර්ථ වශයෙනුත් වෙනස්. ප්‍රකාශ කිරීම්වලත් වෙනස්කමක් තියෙනවා. එහෙමනම් ස්වාමීනි, ඔය කාරණාව ගැන මං ඔබ වහන්සේලාට උපමාවක් කියන්නම්. මෙහි ඇතැම් නුවණැති පුරුෂයින් උපමාවකින් වුණත් දේශනාවෙහි ඇති අරුත දැන ගන්නවා. ස්වාමීනි, ඒක මේ වගේ දෙයක්. කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි තනි කඹයකින් හරි, යොතකින් හරි ඈඳලා තියෙන විට, කෙනෙක් මේ විදියට කියන්න පුළුවනි. ඔය කළු ගොනා තමයි සුදු ගොනාගේ බන්ධනය. එහෙම නැත්නම්, සුදු ගොනා තමයි කළු ගොනාගේ බන්ධනය කියලා. එතකොට ඔහු ඒ කියන්නේ හරි දෙයක්ද?” “පින්වත් ගෘහපතිය, ඒක හරි දෙයක් නොවේ.

පින්වත් ගෘහපතිය, කළු ගොනා සුදු ගොනාට බැඳිල නැහැ. සුදු ගොනා කළු ගොනාට බැඳිලත් නැහැ. නමුත් ඔවුන් දෙන්නා යම් කඹයකින් හරි, යොතකින් හරි එකට ඈඳලා තියෙනවා නම්, ඒක තමයි එතන ඇති බන්ධනය.” “ස්වාමීනි, ඔන්න ඔය විදිහම යි. ඇස රූප වලට බැඳිල නැහැ. රූප ඇසට බැඳිලත් නැහැ. ඔය දෙක නිසා එතන යම් ඡන්දරාගයක් උපදිනවා නම්, ඒක තමයි එතන ඇති බන්ධනය.

කන ශබ්ද වලට බැඳිල නැහැ. ශබ්ද කනට බැඳිලත් නැහැ. ඔය දෙක නිසා එතන යම් ඡන්දරාගයක් උපදිනවා නම්, ඒක තමයි එතන ඇති බන්ධනය.

නාසය ගඳ-සුවඳට බැඳිල නැහැ. ගඳ-සුවඳ නාසයට බැඳිලත් නැහැ. ඔය දෙක නිසා එතන යම් ඡන්දරාගයක් උපදිනවා නම්, ඒක තමයි එතන ඇති බන්ධනය.

දිව රසයට බැඳිල නැහැ. රසය දිවට බැඳිලත් නැහැ. ඔය දෙක නිසා එතන යම් ඡන්දරාගයක් උපදිනවා නම්, ඒක තමයි එතන ඇති බන්ධනය.

කය පහසට බැඳිල නැහැ. පහස කයට බැඳිලත් නැහැ. ඔය දෙක නිසා එතන යම් ඡන්දරාගයක් උපදිනවා නම්, ඒක තමයි එතන ඇති බන්ධනය.

මනස, මනසට අරමුණුවන දේවල් වලට බැඳිල නැහැ. මනසට අරමුණුවන දේවල්, මනසට බැඳිලත් නැහැ. ඔය දෙක නිසා එතන යම් ඡන්දරාගයක් උපදිනවා නම්, ඒක තමයි එතන ඇති බන්ධනය.” “පින්වත් ගෘහපතිය, ඔබට ලාභයක් ම යි. පින්වත් ගෘහපතිය, ඔබට සොඳුරු ලාභයක් ම යි. ගම්භීර වූ බුද්ධ වචනය පිළිබඳව ඒ ඔබට ප්‍රඥා ඇස තියෙනවා.”

සාදු ! සාදු !! සාදු !!!

සංයෝජන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_7-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M