සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

7.1.10. ගිලාන සුත්තං

7.1.10. ගිලන් වූ චිත්ත ගෘහපති පිළිබඳ දෙසුම

ඒ දිනවල චිත්ත ගෘහපතිතුමා අසනීප වෙලා, දුකට පැමිණිලා, බලවත්ව ගිලන් වෙලා හිටියා. එතකොට බොහෝ ආරාමවාසී දෙවිවරු, වන දේවතාවරු, රුක්දේවතාවරු, ඖෂධ, තණ, සුවිසල් රුක් වලට අරක්ගත් දෙවිවරු රැස් වෙවී, චිත්ත ගෘහපතිතුමාට මෙහෙම කිව්වා. “පින්වත් ගෘහපතිතුමනි, අනාගතයෙහි සක්විති රජෙකු වන්නට සිත පිහිටුවාගත මැනැව” කියලා. එතකොට චිත්ත ගෘහපතිතුමා ඒ ආරාමවාසී දෙවිවරුන්ට, වන දේවතාවරුන්ට, රුක්දේවතාවරුන්ට, ඖෂධ, තණ, සුවිසල් රුක් වලට අරක්ගත් දෙවිවරුන්ට මෙහෙම කිව්වා. “ඒකත් අනිත්‍යයි. ඒකත් අස්ථිරයි. ඒවත් අතහැරලා යා යුතුයි නොවැ” කියලා. එසේ කී විට චිත්ත ගෘහපතියාගේ යහළු මිතුරන්, නෑදෑයින්, ලේ ඤාතීන් චිත්ත ගෘහපතිතුමාට මෙහෙම කිව්වා. “ආර්ය පුත්‍රයෙනි, සිහිය පිහිටුවාගත මැනැව. නිකරුණේ නොදොඩනු මැනැව” කියලා.

“මං ඔබලාට කුමක් කියලද ඔබලා මට ‘ආර්ය පුත්‍රයෙනි, සිහිය පිහිටුවාගත මැනැව. නිකරුණේ නොදොඩනු මැනැව’ කියලා කියන්නේ?” “ආර්ය පුත්‍රයෙනි, ඔබ මෙහෙම කිව්වා නොවැ. ‘ඒකත් අනිත්‍යයි. ඒකත් අස්ථිරයි. ඒවත් අතහැරලා යා යුතුයි නොවැ’ කියලා.” “ඒක ඇත්ත. ආරාමවාසී දෙවිවරු, වන දේවතාවරු, රුක්දේවතාවරු, ඖෂධ, තණ, සුවිසල් රුක්වලට අරක්ගත් දෙවිවරු රැස්වෙවී මට මෙහෙම කිව්වා. ‘පින්වත් ගෘහපතිතුමනි, අනාගතයෙහි සක්විති රජෙකු වන්නට සිත පිහිටුවාගත මැනැව’ කියලා. මං ඔවුන්ටයි මෙහෙම කියන්නේ. ‘ඒකත් අනිත්‍යයි. ඒකත් අස්ථිරයි. ඒවත් අතහැරලා යා යුතුයි නොවැ’ කියලා.” “ආර්ය පුත්‍රයෙනි, ඒ ආරාමවාසී දෙවිවරු, වන දේවතාවරු, රුක්දේවතාවරු, ඖෂධ, තණ, සුවිසල් රුක්වලට අරක්ගත් දෙවිවරු රැස්වෙවී ‘පින්වත් ගෘහපතිතුමනි, අනාගතයෙහි සක්විති රජෙකු වන්නට සිත පිහිටුවාගත මැනැව’ කියලා ඔය විදිහට කිව්වේ කවර ප්‍රයෝජනයක් දැකල ද?”

“ඒ ආරාමවාසී දෙවිවරුන්ට, වන දේවතාවරුන්ට, රුක්දේවතාවරුන්ට, ඖෂධ, තණ, සුවිසල් රුක් වලට අරක්ගත් දෙවිවරුන්ට මේ විදිහට හිතෙනවා. ‘මේ චිත්ත ගෘහපතිතුමා සිල්වත්, කල්‍යාණ ධර්මයන්ගෙන් යුක්තයි. ඉදින් අනාගතයෙහි සක්විති රජ කෙනෙක් වෙමියි චේතනාව පිහිටුවා ගන්නේ නම්, සිල්වත් කෙනෙකුගේ ඒ චිත්ත ප්‍රාර්ථනය පිරිසිදු සීලයක් තියෙන නිසා සමෘද්ධිමත් වෙනවා. ධාර්මික වූ දහම් රජු, ධාර්මිකව පුද පූජාවල් පවත්වනවා.’ ඒ කරුණ දකිමින් තමයි ඒ ආරාමවාසී දෙවිවරු, වන දේවතාවරු, රුක්දේවතාවරු, ඖෂධ, තණ, සුවිසල් රුක් වලට අරක්ගත් දෙවිවරු රැස්වෙවී මට මෙහෙම කිව්වේ. ‘පින්වත් ගෘහපතිතුමනි, අනාගතයෙහි සක්විති රජෙකු වන්නට සිත පිහිටුවාගත මැනැව’ කියලා. ඔවුන්ට තමයි මං ඒ විදිහට කිව්වේ. ‘ඒකත් අනිත්‍යයි. ඒකත් අස්ථිරයි. ඒවත් අතහැරලා යා යුතුයි නොවැ’ කියලා.”

“එසේ වී නම් ආර්ය පුත්‍රය, අපටත් අවවාද කළ මැනැව.” “එහෙනම් ඔබලා මේ අයුරින් හික්මිය යුතුයි. මේ මේ අයුරින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ලෙස පැහැදීම ඇති අය වෙනවා. මේ අයුරින් ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත වන සේක, සන්දිට්ඨික වන සේක, අකාලික වන සේක, ඒහිපස්සික වන සේක, ඕපනයික වන සේක, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි වන සේක කියලා ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ලෙස පැහැදීම ඇති අය වෙනවා. මේ අයුරින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්න වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය උජුපටිපන්න වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ඤායපටිපන්න වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සාමීචිපටිපන්න වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය පුරුෂ යුගල වශයෙන් සතරක් ද, පුරුෂ පුද්ගල වශයෙන් අට දෙනෙක් ද වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ආහුනෙය්‍ය වන සේක, පාහුනෙය්‍ය වන සේක, දක්ඛිණෙය්‍ය වන සේක, අංජලිකරණීය වන සේක, ලොවට උතුම් පින්කෙත වන සේක කියලා ආර්ය ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි නොසෙල්වෙන ලෙස පැහැදීම ඇති අය වෙනවා. ඒ වගේම මේ පවුල්වල දාන විෂයෙහි දිය යුතු යමක් ඇත්නම්, ඒ සියල්ල සිල්වත් වූ කල්‍යාණ ධර්ම ඇති උතුමන් හා තෝරා බේරා නො බෙදා දීම වන්නේය කියා ඔය අයුරින්ය ඔබලා හික්මිය යුත්තේ.”

ඉතින් චිත්ත ගෘහපතිතුමා යහළු මිතුරන්ව නෑදෑ ලේ ඤාතීන්ව බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, ශ්‍රී සද්ධර්මය කෙරෙහිත්, ආර්ය සංඝයා කෙරෙහිත් ප්‍රසාදයෙහි පිහිටුවලා, ත්‍යාගයෙහිත් සමාදන් කරවලා කළුරිය කළා.

සාදු ! සාදු !! සාදු !!!

ගිලාන සූත්‍රය නිමා විය.

පළමුවෙනි චිත්ත වර්ගය යි.

එහි පිළිවෙළ උද්දානය යි.

සංයෝජන සූත්‍රය, ඉසිදත්ත සූත්‍ර දෙක, මහක සූත්‍රය, කාමභූ සූත්‍ර දෙක, ගෝදත්ත සූත්‍රය, නිගණ්ඨ සූත්‍රය, අචේල සූත්‍රය, ගිලාන සූත්‍රය යන දෙසුම් වලින් මෙම සංයුක්තය සමන්විත වෙයි.

චිත්ත සංයුත්තය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_7-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M