සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

6.1.9. අනිමිත්ත සුත්තං

6.1.9. අනිමිත්ත සමාධිය ගැන වදාළ දෙසුම

අනිමිත්ත චිත්ත සමාධිය, අනිමිත්ත චිත්ත සමාධිය කියලා කියනවා. අනිමිත්ත චිත්ත සමාධිය යනු කුමක්ද? එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ අදහස ඇති වුණා. මෙහිලා භික්ෂුව සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන්, අනිමිත්ත චිත්ත සමාධියට පැමිණ වාසය කරනවා. මේකට තමයි අනිමිත්ත සමාධිය කියලා කියන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ මමත් සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන්, අනිමිත්ත චිත්ත සමාධියට පැමිණ වාසය කරනවා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ විහරණයෙන් වාසය කරද්දී නිමිති ඇසුරු කළ විඤ්ඤාණය ඇති වෙනවා.

එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධි බලයෙන් මා වෙත වැඩම කරලා මෙකරුණ වදාළා. “පින්වත් මොග්ගල්ලාන, පින්වත් මොග්ගල්ලාන, පින්වත් බ්‍රාහ්මණය, අනිමිත්ත චිත්ත සමාධිය ප්‍රමාද කරගන්ට එපා. අනිමිත්ත චිත්ත සමාධිය තුළ සිත පිහිටුවා ගන්න. අනිමිත්ත චිත්ත සමාධිය තුළ සිත එකඟ කරන්න. අනිමිත්ත චිත්ත සමාධිය තුළ සිත තැන්පත් කරන්න” කියලා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, මං පස්සෙ කාලෙක සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන්, අනිමිත්ත චිත්ත සමාධියට පැමිණ වාසය කළා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් කෙනෙක් සඳහා මනාකොට කියද්දී “ශාස්තෘන් වහන්සේගෙන් අනුග්‍රහය ලැබූ ශ්‍රාවකයා මහා අභිඤ්ඤා සහිත බවට පත්වුණා” කියලා කියනවා නම් “ශාස්තෘන් වහන්සේගෙන් අනුග්‍රහය ලැබූ ශ්‍රාවකයා මහා අභිඤ්ඤා සහිත බවට පත්වුණා” කියලා මනාකොට කියන්නේ මා ගැනයි.

සාදු ! සාදු !! සාදු !!!

අනිමිත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_6-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M