සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

6.1.8. නේවසඤ්ඤානාසඤ්ඤායතන සුත්තං

6.1.8. නේවසඤ්ඤානාසඤ්ඤායතනය ගැන වදාළ දෙසුම

නේවසඤ්ඤානාසඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය කියලා කියනවා. නේවසඤ්ඤානාසඤ්ඤායතනය යනු කුමක්ද? එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ අදහස ඇති වුණා. මෙහිලා භික්ෂුව සියලු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා යෑමෙන්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරනවා. මේකට තමයි නේවසඤ්ඤානාසඤ්ඤායතනය කියලා කියන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ මමත් සියලු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා යෑමෙන්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරනවා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ විහරණයෙන් වාසය කරද්දී ආකිඤ්චඤ්ඤායතන සහගත සඤ්ඤා මනසිකාරයන් ඇති වෙනවා.

එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධි බලයෙන් මා වෙත වැඩම කරලා මෙකරුණ වදාළා. “පින්වත් මොග්ගල්ලාන, පින්වත් මොග්ගල්ලාන, පින්වත් බ්‍රාහ්මණය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය ප්‍රමාද කරගන්ට එපා. නේවසඤ්ඤානාසඤ්ඤායතනය තුළ සිත පිහිටුවා ගන්න. නේවසඤ්ඤානාසඤ්ඤායතනය තුළ සිත එකඟ කරන්න. නේවසඤ්ඤානාසඤ්ඤායතනය තුළ සිත තැන්පත් කරන්න” කියලා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, මං පස්සෙ කාලෙක සියලු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා යෑමෙන්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කළා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් කෙනෙක් සඳහා මනාකොට කියද්දී ….(පෙ)…. මහා අභිඤ්ඤා සහිත බවට පත්වුණා” කියලා මනාකොට කියන්නේ මා ගැනයි.

සාදු ! සාදු !! සාදු !!!

නේවසඤ්ඤානාසඤ්ඤායතන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_6-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M