සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

6.1.3. සුඛ සුත්තං

6.1.3. සැප සහගත සමාධිය ගැන වදාළ දෙසුම

තුන්වෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය කියලා කියනවා. තුන්වෙනි ධ්‍යානය යනු කුමක්ද? එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ අදහස ඇති වුණා. මෙහිලා භික්ෂුව ප්‍රීතියටත් නොඇලී, උපේක්‍ෂාවෙන් ඉන්නවා. සිහිය ඇතිව, නුවණ ඇතිව, කයෙන් සැපයකුත් විඳිනවා. ආර්යයන් වහන්සේලා උපේක්‍ෂාවෙන් යුතුව සිහි ඇතිව, සැපසේ වාසය කිරීම කියා යමකට කියනවා නම්, ඒ තුන්වෙනි ධ්‍යානයටත් පැමිණ වාසය කරනවා. මේකට තමයි තුන්වෙනි ධ්‍යානය කියන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ මමත් ප්‍රීතියටත් නොඇලී, උපේක්‍ෂාවෙන් ඉන්නවා. සිහිය ඇතිව, නුවණ ඇතිව, කයෙන් සැපයකුත් විඳිනවා. ආර්යයන් වහන්සේලා උපේක්‍ෂාවෙන් යුතුව සිහි ඇතිව, සැපසේ වාසය කිරීම කියා යමකට කියනවා නම්, ඒ තුන්වෙනි ධ්‍යානයටත් පැමිණ වාසය කරනවා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ විහරණයෙන් වාසය කරද්දී ප්‍රීති සහගත සඤ්ඤා මනසිකාරයන් ඇති වෙනවා.

එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධි බලයෙන් මා වෙත වැඩම කරලා මෙකරුණ වදාළා. “පින්වත් මොග්ගල්ලාන, පින්වත් මොග්ගල්ලාන, පින්වත් බ්‍රාහ්මණය, තුන්වෙනි ධ්‍යානය ප්‍රමාද කරගන්ට එපා. තුන්වෙනි ධ්‍යානය තුළ සිත පිහිටුවා ගන්න. තුන්වෙනි ධ්‍යානය තුළ සිත එකඟ කරන්න. තුන්වෙනි ධ්‍යානය තුළ සිත තැන්පත් කරන්න” කියලා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, මං පස්සෙ කාලෙක ප්‍රීතියටත් නොඇලී, උපේක්‍ෂාවෙන් හිටියා. සිහිය ඇතිව, නුවණ ඇතිව, කයෙන් සැපයකුත් වින්ඳා. ආර්යයන් වහන්සේලා උපේක්‍ෂාවෙන් යුතුව සිහි ඇතිව, සැපසේ වාසය කිරීම කියා යමකට කියනවා නම්, ඒ තුන්වෙනි ධ්‍යානයටත් පැමිණ වාසය කළා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් කෙනෙක් සඳහා මනාකොට කියද්දී “ශාස්තෘන් වහන්සේගෙන් අනුග්‍රහය ලැබූ ශ්‍රාවකයා මහා අභිඤ්ඤා සහිත බවට පත්වුණා” කියලා කියනවා නම් “ශාස්තෘන් වහන්සේගෙන් අනුග්‍රහය ලැබූ ශ්‍රාවකයා මහා අභිඤ්ඤා සහිත බවට පත්වුණා” කියලා මනාකොට කියන්නේ මා ගැනයි.

සාදු ! සාදු !! සාදු !!!

සුඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_6-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M