සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

4.1.11. ඕඝ සුත්තං

4.1.11. කෙලෙස් සැඩපහර ගැන වදාළ දෙසුම

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, කෙලෙස් සැඩපහර, කෙලෙස් සැඩපහර කියලා කියනවා. ප්‍රිය ආයුෂ්මතුනි, කෙලෙස් සැඩපහර කියන්නේ මොනවාද?” “ආයුෂ්මත, මේ කෙලෙස් සැඩපහරවල් හතරක් තියෙනවා. කාමය නම් වූ කෙලෙස් සැඩපහර, භවය නම් වූ කෙලෙස් සැඩපහර, දෘෂ්ටි නම් වූ කෙලෙස් සැඩපහර හා අවිද්‍යාව නම් වූ කෙලෙස් සැඩපහරයි. ආයුෂ්මත, මේ තමයි කෙලෙස් සැඩපහරවල් හතර.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය කෙලෙස් සැඩපහරවල් ප්‍රහාණය කිරීම පිණිස මාර්ගයක් තියෙනවාද? ප්‍රතිපදාවක් තියෙනවාද?” “ආයුෂ්මත, මේ කෙලෙස් සැඩපහරවල් ප්‍රහාණය කිරීම පිණිස මාර්ගයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය කෙලෙස් සැඩපහරවල් ප්‍රහාණය කිරීම පිණිස තියෙන මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද?” “ආයුෂ්මත, ඔය කෙලෙස් සැඩපහරවල් ප්‍රහාණය කිරීම පිණිස තියෙන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ; සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි. ආයුෂ්මත, මේ කෙලෙස් සැඩපහරවල් ප්‍රහාණය කිරීම පිණිස පවතින මාර්ගය ඕක තමයි. ප්‍රතිපදාවත් ඕක තමයි.” “ප්‍රිය ආයුෂ්මතුනි, මේ කෙලෙස් සැඩපහරවල් ප්‍රහාණය කිරීම පිණිස පවතින්නා වූ මාර්ගය නම් ඉතා සුන්දරයි. ප්‍රතිපදාව නම් ඉතා සුන්දරයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ගැන අප්‍රමාදී වීම ම යි වටින්නේ.”

සාදු ! සාදු !! සාදු !!!

ඕඝ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_4-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M