සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

2.3.2. අට්ඨසතපරියාය සුත්තං

2.3.2. එකසිය අට වැදෑරුම් දහම් ක්‍රමයක් ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, එකසිය අට වැදෑරුම් ක්‍රමයකින් යුතු දහම් ක්‍රමයක් මා ඔබට දේශනා කරන්ටයි යන්නේ. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, එකසිය අට වැදෑරුම් ක්‍රමයකින් යුතු දහම් ක්‍රමය කුමක්ද? පින්වත් මහණෙනි, මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා දෙකක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා තුනක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා පහක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා හයක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා දහඅටක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා තිස් හයක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා එකසිය අටක් ගැනත් පවසා තිබෙනවා.

පින්වත් මහණෙනි, වේදනා දෙක කුමක්ද? කායික වේදනාවත්, චෛතසික වේදනාවත් ය. පින්වත් මහණෙනි, වේදනා දෙක කියන්නේ මෙයටයි. පින්වත් මහණෙනි, වේදනා තුන කුමක්ද? සැප වේදනාවත්, දුක් වේදනාවත් දුක් සැප රහිත වේදනාවත් ය. පින්වත් මහණෙනි, වේදනා තුන කියන්නේ මෙයටයි. පින්වත් මහණෙනි, වේදනා පහ කුමක්ද? සුඛ ඉන්ද්‍රිය, දුක් ඉන්ද්‍රිය, සොම්නස් ඉන්ද්‍රිය, දොම්නස් ඉන්ද්‍රිය, උපේක්‍ෂා ඉන්ද්‍රිය යන මෙයයි. පින්වත් මහණෙනි, වේදනා පහ කියන්නේ මෙයටයි. පින්වත් මහණෙනි, වේදනා හය කුමක්ද? ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව, කනේ ….(පෙ)…. නාසයේ ….(පෙ)…. දිවේ ….(පෙ)…. කයේ ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව. පින්වත් මහණෙනි, වේදනා හය කියන්නේ මෙයටයි.

පින්වත් මහණෙනි, වේදනා දහඅට කුමක්ද? සොම්නස සමඟ හැසිරෙන සය වැදෑරුම් වේදනාව ය. දොම්නස සමඟ හැසිරෙන සය වැදෑරුම් වේදනාව ය. උපේක්‍ෂාව සමඟ හැසිරෙන සය වැදෑරුම් වේදනාව ය. පින්වත් මහණෙනි, වේදනා දහඅට කියන්නේ මෙයටයි. පින්වත් මහණෙනි, වේදනා තිස්හය කුමක්ද? පඤ්චකාම ගුණය ඇසුරු කළ සොම්නස් වේදනා සයකි. නෙක්ඛම්මය ඇසුරු කළ සොම්නස් වේදනා සයකි. පඤ්චකාම ගුණය ඇසුරු කළ දොම්නස් වේදනා සයකි. නෙක්ඛම්මය ඇසුරු කළ දොම්නස් වේදනා සයකි. පඤ්චකාම ගුණය ඇසුරු කළ උපේක්‍ෂා වේදනා සයකි. නෙක්ඛම්මය ඇසුරු කළ උපේක්‍ෂා වේදනා සයකි. පින්වත් මහණෙනි, වේදනා තිස්හය කියන්නේ මෙයටයි. පින්වත් මහණෙනි, වේදනා එකසිය අට කුමක්ද? අතීත වූ වේදනා තිස්හයයි. අනාගත වූ වේදනා තිස්හයයි. වර්තමාන වූ වේදනා තිස්හයයි. පින්වත් මහණෙනි, වේදනා එකසිය අට කියන්නේ මෙයටයි. පින්වත් මහණෙනි, එකසිය අට වැදෑරුම් ක්‍රමයකින් යුතු දහම් ක්‍රමය යනු මෙයයි.

සාදු! සාදු!! සාදු!!!

අට්ඨසතපරියාය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M