සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

2.3.1. මෝළියසීවක සුත්තං

2.3.1. මෝළියසීවක පිරිවැජියාට වදාළ දෙසුම

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයේ. එදා මෝළියසීවක පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුණා. සතුටු විය යුතු වූ පිළිසඳර කතාබහේ යෙදුනා. එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ මෝළියසීවක පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. භවත් ගෞතමයන් වහන්ස, මෙවැනි වාද ඇති, මෙවැනි ආකල්ප දරණ ඇතැම් ශ්‍රමණබ්‍රාහ්මණයන් ඉන්නවා. “මේ පුරුෂ පුද්ගලයා යම් කිසි සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත විඳීමක් වේවා විඳිනවා නම්, ඒ සෑම විඳීමක් ම තමන් පෙර කරපු කර්මයන්ගේ විපාක හේතුවෙන්” කියලා. භවත් ගෞතමයන් වහන්සේ මේ ගැන පවසන්නේ කුමක්ද?

පින්වත් සීවකය, මෙහි පිත නිසා හටගන්නා වූ ඇතැම් වේදනාවන් ද උපදිනවා. පින්වත් සීවකය, යම් අයුරකින් මෙහි පිත නිසා හටගන්නා වූ ඇතැම් වේදනාවන් උපදිනවා ද, එසේ පිත නිසා වේදනා උපදින බව තමන් දැනගත යුතුයි. පින්වත් සීවකය, ලෝකයා අතරත් (පිත නිසා වේදනා හටගන්නා බව) මේ කරුණ සත්‍යයි කියා සම්මතයි. ඒ කියන්නේ මෙහි පිත නිසා හටගන්නා ඇතැම් වේදනා උපදින බවයි. නමුත් සීවකය, ඔය පිළිබඳව ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ වගේ දෙයක් නම් කියන්නේ, මේ වගේ ආකල්පයක් නම් දරන්නේ “මේ පුරුෂ පුද්ගලයා යම් කිසි සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත විඳීමක් වේවා විඳිනවා නම්, ඒ සෑම විඳීමක් ම තමන් පෙර කරපු කර්මයන්ගේ විපාක හේතුවෙන්” කියලා. තමන් විසින් දන්නා වූ යම් කරුණක් ඇද්ද, ඒකටත් එහා දුවනවා. ලෝකයෙහි සත්‍ය යැයි සම්මත යමක් ඇද්ද ඒකටත් එහා දුවනවා. ඒ නිසා ඕවා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ බොරු කතා කියලයි මා කියන්නේ.

පින්වත් සීවකය, මෙහි සෙම නිසා හටගන්නා වූ ….(පෙ)…. පින්වත් සීවකය, මෙහි වාතය නිසා හටගන්නා වූ ….(පෙ)…. පින්වත් සීවකය, මෙහි සන්නිපාතය නිසා හටගන්නා වූ ….(පෙ)…. පින්වත් සීවකය, මෙහි ඍතු විපර්යාසය නිසා හටගන්නා වූ ….(පෙ)…. පින්වත් සීවකය, මෙහි විෂම පරිහරණය නිසා හටගන්නා වූ ….(පෙ)…. පින්වත් සීවකය, මෙහි උපක්‍රම නිසා හටගන්නා වූ ….(පෙ)…. පින්වත් සීවකය, මෙහි කර්ම විපාක නිසා හටගන්නා වූ ඇතැම් වේදනාවන් ද උපදිනවා. පින්වත් සීවකය, යම් අයුරකින් මෙහි කර්ම විපාක නිසා හටගන්නා වූ ඇතැම් වේදනාවන් උපදිනවා ද, තමන් ඒ බව දැනගත යුතුයි. පින්වත් සීවකය, ලෝකයා අතරත් (කර්ම විපාක නිසා වේදනා හටගන්නා බව) මේ කරුණ සත්‍යයි කියා සම්මතයි. ඒ කියන්නේ මෙහි කර්ම විපාක නිසා හටගන්නා ඇතැම් වේදනා උපදින බවයි. නමුත් සීවකය, ඔය පිළිබඳව ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ වගේ දෙයක් නම් කියන්නේ, මේ වගේ ආකල්පයක් නම් දරන්නේ “මේ පුරුෂ පුද්ගලයා යම් කිසි සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත විඳීමක් වේවා විඳිනවා නම්, ඒ සෑම විඳීමක් ම තමන් පෙර කරපු කර්මයන්ගේ විපාක හේතුවෙන්” කියලා. තමන් විසින් දන්නා වූ යම් කරුණක් ඇද්ද, ඒකටත් එහා දුවනවා. ලෝකයෙහි සත්‍ය යැයි සම්මත යමක් ඇද්ද ඒකටත් එහා දුවනවා. ඒ නිසා ඕවා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ බොරු කතා කියලයි මා කියන්නේ.

මෙසේ වදාළ විට මෝළියසීවක පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දරයි ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්සේ, අද පටන් මා දිවිහිමියෙන් සරණ ගිය උපාසකයෙක් වශයෙන් පිළිගන්නා සේක්වා.”

(ගාථාවකි)

පිත නිසාත් වේදනා ඇති වෙනවා. සෙම නිසාත් වේදනා ඇති වෙනවා. වාතය නිසාත් වේදනා ඇති වෙනවා. සන්නිපාතය නිසාත් වේදනා ඇති වෙනවා. සෘතු විපර්යාස නිසාත් වේදනා ඇති වෙනවා. විෂම පැවැත්ම නිසාත් වේදනා ඇති වෙනවා. උපක්‍රම නිසාත් වේදනා ඇති වෙනවා. අට වැනි දේ වශයෙන් කර්ම විපාක නිසාත් වේදනා ඇති වෙනවා.

සාදු! සාදු!! සාදු!!!

මෝළියසීවක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M