පින්වත් මහණෙනි, මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා දෙකක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා තුනක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා පහක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා හයක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා දහඅටක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා තිස්හයක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා එකසිය අටක් ගැනත් පවසා තිබෙනවා.
පින්වත් මහණෙනි, ඔය විදියට නොයෙක් ක්‍රම වශයෙනුයි මා විසින් ධර්මය දෙසන ලද්දේ. පින්වත් මහණෙනි, ඔය ආකාරයට නොයෙක් ක්‍රම වශයෙන් මා විසින් දේශනා කරන ලද ධර්මය පිළිබඳව යමෙක් එකිනෙකාගේ සුභාෂිතය, මැනැවින් පැවසූ දෙය එකිනෙකා තේරුම් නොගන්නවා නම්, වටහා නොගන්නවා නම්, අනුමෝදන් නොවනවා නම් ඔවුන් විසින් කැමති විය යුත්තේ මෙයයි. රණ්ඩු කර ගැනීමත්, කෝළාහල කර ගැනීමත්, වාද විවාද කර ගැනීමත්, එකිනෙකාට මුඛය නැමැති ආයුධයෙන් විදගැනීමත් ඇතිව වාසය කිරීම විතරයි.
පින්වත් මහණෙනි, ඔය විදියට නොයෙක් ක්‍රම වශයෙනුයි මා විසින් ධර්මය දෙසන ලද්දේ. පින්වත් මහණෙනි, ඔය ආකාරයට නොයෙක් ක්‍රම වශයෙන් මා විසින් දේශනා කරන ලද ධර්මය පිළිබඳව යමෙක් එකිනෙකාගේ සුභාෂිතය, මැනැවින් පැවසූ දෙය එකිනෙකා තේරුම් ගන්නවා නම්, වටහා ගන්නවා නම්, අනුමෝදන් වෙනවා නම් ඔවුන් විසින් කැමති විය යුත්තේ මෙයයි. සමඟියෙන් සිටීමත්, සතුටුව සිටීමත්, වාද නොකර සිටීමත්, කිරි හා දිය එක් වූ පරිද්දෙන් එකිනෙකා ප්‍රිය ඇසින් බලමින් වාසය කිරීමත් තමයි.
පින්වත් මහණෙනි, කාමගුණ පහක් තියෙනවා. කවර පහක් ද යත්? ඇසින් දතයුතු යහපත්, ලස්සන, මනාප, ප්‍රිය ස්වභාව ඇති, කැමැත්ත ඇති වෙන, කෙලෙස් ඇති වෙන රූප තියෙනවා. කනින් දතයුතු ශබ්ද තියෙනවා. ….(පෙ)…. නාසයෙන් දතයුතු ගඳ-සුවඳ තියෙනවා. ….(පෙ)…. දිවෙන් දතයුතු රස තියෙනවා. ….(පෙ)…. කයෙන් දතයුතු යහපත්, ලස්සන, මනාප, ප්‍රිය ස්වභාව ඇති, කැමැත්ත ඇති වෙන, කෙලෙස් ඇති වෙන පහස තියෙනවා. පින්වත් මහණෙනි, මේ තමයි පඤ්ච කාමගුණ.
පින්වත් මහණෙනි, මේ පඤ්ච කාමගුණයන් හේතුවෙන් යම් සැපයක් සොම්නසක් උපදිනවා නම්, මෙයයි කාම සුඛය කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් මෙහෙම කියන්න පුළුවනි. මේක තමයි සුඛ සොම්නස විඳින්නා වූ පරම ශාන්ත සැපය කියලා. ඔවුන්ගේ වචනය මං පිළිගන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, ඔය කාම සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැප තියෙනවා. පින්වත් මහණෙනි, ඔය කාම සුඛයට වඩා ඉතා සුන්දර වූ ත්, ඉතා ප්‍රණීත වූ ත් වෙනත් සැපය කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසල්වලින් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, මේක තමයි ඔය කාම සුඛයට වඩා ඉතා සුන්දර වූ ත්, ඉතා ප්‍රණීත වූ ත් වෙනත් සැපය.
පින්වත් මහණෙනි, යම් කෙනෙක් මෙහෙම කියන්නට පුළුවනි. “පරම ශාන්ත සුඛය වූ මේ සොම්නස තමයි විඳින්ට තියෙන්නේ” කියලා. ඔවුන්ගේ ඒ වචනය මං පිළිගන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපයක් තියෙනවා. පින්වත් මහණෙනි, ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූ ත්, ඉතා ප්‍රණීත වූ ත් වෙනත් සැපය කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ….(පෙ)…. සියලු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා යෑමෙන්, සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරනවා. පින්වත් මහණෙනි, මේක තමයි ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූ ත්, ඉතා ප්‍රණීත වූ ත් වෙනත් සැපය.
පින්වත් මහණෙනි, අන්‍යාගමික පිරිවැජියන් මේ ආකාරයට කියනවා යන කරුණත්, සිදුවිය හැකි දෙයක්. ඒ කියන්නේ “ශ්‍රමණ ගෞතමයන් සඤ්ඤාවේදයිත නිරෝධයක් ගැන පවසනවා. එය සැපයෙහිලා පණවනවා. මොකක්ද ඒක? කොහොමද ඒක ඇතිකරගන්නේ?” කියලා. පින්වත් මහණෙනි, ඔවැනි දේ කියන අන්‍යාගමික පිරිවැජියන්ට පිළිතුරු දිය යුත්තේ මෙහෙමයි. “එම්බා ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ සුඛ වූ වේදනාව පමණක් ම සැපයෙහිලා පණවන්නේ නෑ. එම්බා ආයුෂ්මතුනි, යම් යම් තැනක සුවයක් ලැබෙයි ද, යම් යම් වූ සුවයක් ඇද්ද, ඒ ඒ සුවය තථාගතයන් වහන්සේ සැපයෙහිලා පණවන සේක” කියලා.
සාදු! සාදු!! සාදු!!!
භික්ඛු සූත්‍රය නිමා විය.
දෙවෙනි රහෝගත වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානයයි.
රහෝගත සූත්‍රය, ආකාස සූත්‍ර දෙක, අගාර සූත්‍රය, සන්තක සූත්‍ර දෙක, අට්ඨක සූත්‍ර දෙක, පඤ්චකංග සූත්‍රය, භික්ඛු සූත්‍රය යන මෙයින් මේ වර්ගය සමන්විතයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M