එදා පඤ්චකංග වඩුවා ආයුෂ්මත් උදායි තෙරුන් වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් උදායි තෙරුන්ට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු පඤ්චකංග වඩුවා ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙහෙම කිව්වා. ස්වාමීනී, උදායි තෙරුනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා කීයක් වදාරළා තියෙනවාද?
පින්වත් ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් වදාරළා තියෙනවා. සැප වේදනාව, දුක් වේදනාව හා දුක් සැප රහිත වේදනාවයි. පින්වත් ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් ඔය වේදනා තුන ගැන තමයි වදාරළා තියෙන්නේ.
එසේ කී විට පඤ්චකංග වඩුවා ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය පැවසුවා. ස්වාමීනී, උදායි තෙරුනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් ගැන නොවෙයි වදාරළා තියෙන්නේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරළා තියෙන්නේ සැප වේදනාව, දුක් වේදනාව යන වේදනා දෙකක් ගැනයි. ස්වාමීනී, යම් මේ දුක් සැප රහිත වේදනාවක් ඇද්ද, මෙය ශාන්ත වූත්, ප්‍රණීත වූත්, සැපයෙහිලා තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරළා තියෙන්නේ.
දෙවෙනි වතාවටත් ආයුෂ්මත් උදායි තෙරුන් පඤ්චකංග වඩුවාට මෙහෙම කිව්වා. පින්වත් ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ වේදනා දෙකක් වදාරළා නෑ. භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනකුයි වදාරළා තියෙන්නේ. සැප වේදනාව, දුක් වේදනාව හා දුක් සැප රහිත වේදනාවයි. පින්වත් ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් ඔය වේදනා තුන ගැන තමයි වදාරළා තියෙන්නේ.
දෙවෙනි වතාවටත් පඤ්චකංග වඩුවා ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය පැවසුවා. ස්වාමීනී, උදායි තෙරුනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් ගැන නොවෙයි වදාරළා තියෙන්නේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරළා තියෙන්නේ සැප වේදනාව, දුක් වේදනාව යන වේදනා දෙකක් ගැනයි. ස්වාමීනී, යම් මේ දුක් සැප රහිත වේදනාවක් ඇද්ද, මෙය ශාන්ත වූ ත්, ප්‍රණීත වූ ත්, සැපයෙහිලා තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරළා තියෙන්නේ.
තුන්වෙනි වතාවටත් ආයුෂ්මත් උදායි තෙරුන් පඤ්චකංග වඩුවාට මෙහෙම කිව්වා. පින්වත් ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ වේදනා දෙකක් වදාරළා නෑ. භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනකුයි වදාරළා තියෙන්නේ. සැප වේදනාව, දුක් වේදනාව හා දුක් සැප රහිත වේදනාවයි. පින්වත් ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් ඔය වේදනා තුන ගැන තමයි වදාරළා තියෙන්නේ.
තුන්වෙනි වතාවටත් පඤ්චකංග වඩුවා ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය පැවසුවා. ස්වාමීනී, උදායි තෙරුනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් ගැන නොවෙයි වදාරළා තියෙන්නේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරළා තියෙන්නේ සැප වේදනාව, දුක් වේදනාව යන වේදනා දෙකක් ගැනයි. ස්වාමීනී, යම් මේ දුක් සැප රහිත වේදනාවක් ඇද්ද, මෙය ශාන්ත වූ ත්, ප්‍රණීත වූ ත්, සැපයෙහිලා තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරළා තියෙන්නේ. ආයුෂ්මත් උදායි තෙරුන්ට පඤ්චකංග වඩුවාව මේ කාරණයෙහි දැනුවත් කරවන්නට නො හැකි වුණා. පඤ්චකංග වඩුවාටත් ආයුෂ්මත් උදායි තෙරුන්ව තම කරුණෙහි දැනුවත් කරවන්නට නො හැකි වුණා.
එතකොට ආයුෂ්මත් ආනන්ද තෙරුන් ආයුෂ්මත් උදායි හා පඤ්චකංග වඩුවා අතර ඇති වුණු මේ කථා සල්ලාපය අසාගෙන හිටියා. ඉන්පසු ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් ආනන්දයන් ආයුෂ්මත් උදායි තෙරුන් හා පඤ්චකංග වඩුවා අතර යම්තාක් කථා සල්ලාපයක් වුණා ද, ඒ සෑම දෙයක් ම භාග්‍යවතුන් වහන්සේට සැළ කළා.
පින්වත් ආනන්ද, පඤ්චකංග වඩුවා උදායි භික්ෂුවගේ ඇත්තා වූ ම දහම් ක්‍රමය යි නොපිළිගත්තේ. ඒ වගේම පින්වත් ආනන්ද, උදායි භික්ෂුවත් පඤ්චකංග වඩුවාගේ ඇත්තා වූ ම දහම් ක්‍රමය යි නොපිළිගත්තේ. පින්වත් ආනන්ද, මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා දෙකක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා තුනක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා පහක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා හයක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා දහඅටක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා තිස්හයක් ගැනත් පවසා තිබෙනවා. මා විසින් දහම් ක්‍රම වශයෙන් වේදනා එකසිය අටක් ගැනත් පවසා තිබෙනවා.
පින්වත් ආනන්ද, ඔය විදියට නොයෙක් ක්‍රම වශයෙනුයි මා විසින් ධර්මය දෙසන ලද්දේ. පින්වත් ආනන්ද, ඔය ආකාරයට නොයෙක් ක්‍රම වශයෙන් මා විසින් දේශනා කරන ලද ධර්මය පිළිබඳව යමෙක් එකිනෙකාගේ සුභාෂිතය, මැනැවින් පැවසූ දෙය එකිනෙකා තේරුම් නොගන්නවා නම්, වටහා නොගන්නවා නම්, අනුමෝදන් නොවනවා නම් ඔවුන් විසින් කැමති විය යුත්තේ මෙයයි. රණ්ඩු කර ගැනීමත්, කෝළාහල කර ගැනීමත්, වාද විවාද කර ගැනීමත්, එකිනෙකාට මුඛය නැමැති ආයුධයෙන් විදගැනීමත් ඇතිව වාසය කිරීම විතරයි.
පින්වත් ආනන්ද, ඔය විදියට නොයෙක් ක්‍රම වශයෙනුයි මා විසින් ධර්මය දෙසන ලද්දේ. පින්වත් ආනන්ද, ඔය ආකාරයට නොයෙක් ක්‍රම වශයෙන් මා විසින් දේශනා කරන ලද ධර්මය පිළිබඳව යමෙක් එකිනෙකාගේ සුභාෂිතය, මැනැවින් පැවසූ දෙය එකිනෙකා තේරුම් ගන්නවා නම්, වටහා ගන්නවා නම්, අනුමෝදන් වෙනවා නම් ඔවුන් විසින් කැමති විය යුත්තේ මෙයයි. සමඟියෙන් සිටීමත්, සතුටුව සිටීමත්, වාද නොකර සිටීමත්, කිරි හා දිය එක් වූ පරිද්දෙන් එකිනෙකා ප්‍රිය ඇසින් බලමින් වාසය කිරීමත් තමයි.
පින්වත් ආනන්ද, කාමගුණ පහක් තියෙනවා. කවර පහක් ද යත්? ඇසින් දතයුතු යහපත්, ලස්සන, මනාප, ප්‍රිය ස්වභාව ඇති, කැමැත්ත ඇති වෙන, කෙලෙස් ඇති වෙන රූප තියෙනවා. කනින් දතයුතු ශබ්ද තියෙනවා. ….(පෙ)…. නාසයෙන් දතයුතු ගඳ-සුවඳ තියෙනවා. ….(පෙ)…. දිවෙන් දතයුතු රස තියෙනවා. ….(පෙ)…. කයෙන් දතයුතු යහපත්, ලස්සන, මනාප, ප්‍රිය ස්වභාව ඇති, කැමැත්ත ඇති වෙන, කෙලෙස් ඇති වෙන පහස තියෙනවා. පින්වත් ආනන්ද, මේ තමයි පඤ්ච කාමගුණ. පින්වත් ආනන්ද, මේ පඤ්ච කාමගුණයන් හේතුවෙන් යම් සැපයක් සොම්නසක් උපදිනවා නම්, මෙයයි කාම සුඛය කියන්නේ. පින්වත් ආනන්ද, යම් කෙනෙක් මෙහෙම කියන්න පුළුවනි. මේක තමයි සුඛ සොම්නස විඳින්නා වූ පරම ශාන්ත සැපය කියලා. ඔවුන්ගේ වචනය මං පිළිගන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් ආනන්දය, ඔය කාම සුඛයට වඩා ඉතා සුන්දර වූ, ඉතා ප්‍රණීත වූ වෙනත් සැපයක් තියෙනවා.
පින්වත් ආනන්ද, ඔය කාම සුඛයට වඩා ඉතා සුන්දර වූ, ඉතා ප්‍රණීත වූ වෙනත් සැපය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසල්වලින් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. පින්වත් ආනන්ද, මේක තමයි ඔය කාම සුඛයට වඩා ඉතා සුන්දර වූ, ඉතා ප්‍රණීත වූ, වෙනත් සැපය.
පින්වත් ආනන්ද, යම් කෙනෙක් මෙහෙම කියන්නට පුළුවනි. “පරම ශාන්ත සුඛය වූ මේ සොම්නස තමයි විඳින්ට තියෙන්නේ” කියලා. ඔවුන්ගේ ඒ වචනය මං පිළිගන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් ආනන්ද, ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපයක් තියෙනවා. පින්වත් ආනන්ද, ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව විතක්ක විචාරයන් සංසිඳවාගෙන, තමා තුළ පැහැදීම ඇති කරගෙන, සිතේ එකඟභාවය ඇති කරගෙන, විතර්ක රහිත වූ, විචාර රහිත වූ, සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. පින්වත් ආනන්දය, මේක තමයි ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපය.
පින්වත් ආනන්ද, යම් කෙනෙක් මෙහෙම කියන්නට පුළුවනි. “පරම ශාන්ත සුඛය වූ මේ සොම්නස තමයි විඳින්ට තියෙන්නේ” කියලා. ඔවුන්ගේ ඒ වචනය මං පිළිගන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් ආනන්ද, ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපයක් තියෙනවා. පින්වත් ආනන්ද, ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව ප්‍රීතියටත් නොඇලී, උපේක්ෂාවෙන් ඉන්නවා. සිහිය ඇතිව, නුවණ ඇතිව, කයෙන් සැපයකුත් විඳිනවා. ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුතුව සිහිය ඇතිව, සැපසේ වාසය කිරීම කියා යමකට කියනවා නම්, ඒ තුන්වෙනි ධ්‍යානයටත් පැමිණ වාසය කරනවා. පින්වත් ආනන්දය, මේක තමයි ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපය.
පින්වත් ආනන්ද, යම් කෙනෙක් මෙහෙම කියන්නට පුළුවනි. “පරම ශාන්ත සුඛය වූ මේ සොම්නස තමයි විඳින්ට තියෙන්නේ” කියලා. ඔවුන්ගේ ඒ වචනය මං පිළිගන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් ආනන්ද, ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපයක් තියෙනවා. පින්වත් ආනන්ද, ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව සැපය ද ප්රහාණය කිරීමෙන්, දුක ද ප්රහාණය කිරීමෙන්, කලින්ම සොම්නස් දොම්නස් දෙක දුරු කිරීමෙන්, දුක් සැප රහිත වූ, උපේක්ෂාවෙන් යුතු පිරිසිදු සිහියෙන් යුතු හතරවෙනි ධ්‍යානයටත් පැමිණ වාසය කරනවා. පින්වත් ආනන්දය, මේක තමයි ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපය.
පින්වත් ආනන්ද, යම් කෙනෙක් මෙහෙම කියන්නට පුළුවනි. “පරම ශාන්ත සුඛය වූ මේ සොම්නස තමයි විඳින්ට තියෙන්නේ” කියලා. ඔවුන්ගේ ඒ වචනය මං පිළිගන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් ආනන්ද, ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපයක් තියෙනවා. පින්වත් ආනන්ද, ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූ ත්, ඉතා ප්‍රණීත වූ ත් වෙනත් සැපය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව සියලු රූප සඤ්ඤාවන් ඉක්මවා යෑමෙන්, ගොරෝසු සඤ්ඤාවන්ගේ දුරු වීමෙන්, නොයෙක් සඤ්ඤාවන් මෙනෙහි නොකිරීමෙන්, අනන්ත වූ ආකාසය කියා මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරනවා. පින්වත් ආනන්දය, මේක තමයි ඔය සුඛයට වඩා ….(පෙ)….
පින්වත් ආනන්ද, යම් කෙනෙක් මෙහෙම කියන්නට පුළුවනි. “පරම ශාන්ත සුඛය වූ මේ සොම්නස තමයි විඳින්ට තියෙන්නේ” කියලා. ඔවුන්ගේ ඒ වචනය මං පිළිගන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් ආනන්ද, ඔය සුඛයට වඩා ….(පෙ)…. පින්වත් ආනන්ද, ඔය සුඛයට වඩා වෙනත් සැපය කුමක්ද? ….(පෙ)…. පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව සියලු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවා යෑමෙන්, අනන්ත වූ විඤ්ඤාණය කියා මෙනෙහි කිරීමෙන් විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරනවා. පින්වත් ආනන්දය, මේක තමයි ඔය සුඛයට වඩා ….(පෙ)….
පින්වත් ආනන්ද, යම් කෙනෙක් මෙහෙම කියන්නට පුළුවනි. “පරම ශාන්ත සුඛය වූ මේ සොම්නස තමයි විඳින්ට තියෙන්නේ” කියලා. ඔවුන්ගේ ඒ වචනය මං පිළිගන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් ආනන්ද, ඔය සුඛයට වඩා ….(පෙ)…. පින්වත් ආනන්ද, ඔය සුඛයට වඩා වෙනත් සැපය කුමක්ද? ….(පෙ)…. පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා යෑමෙන්, ‘කිසිවක් නැත’ කියා මෙනෙහි කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරනවා. පින්වත් ආනන්දය, මේක තමයි ඔය සුඛයට වඩා ….(පෙ)….
පින්වත් ආනන්ද, යම් කෙනෙක් මෙහෙම කියන්නට පුළුවනි. “පරම ශාන්ත සුඛය වූ මේ සොම්නස තමයි විඳින්ට තියෙන්නේ” කියලා. ඔවුන්ගේ ඒ වචනය මං පිළිගන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් ආනන්ද, ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපයක් තියෙනවා. පින්වත් ආනන්ද, ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව සියලු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා යෑමෙන්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරනවා. පින්වත් ආනන්දය, මේක තමයි ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපය.
පින්වත් ආනන්ද, යම් කෙනෙක් මෙහෙම කියන්නට පුළුවනි. “පරම ශාන්ත සුඛය වූ මේ සොම්නස තමයි විඳින්ට තියෙන්නේ” කියලා. ඔවුන්ගේ ඒ වචනය මං පිළිගන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් ආනන්ද, ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපයක් තියෙනවා. පින්වත් ආනන්ද, ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව සියලු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා යෑමෙන්, සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරනවා. පින්වත් ආනන්දය, මේක තමයි ඔය සුඛයට වඩා ඉතා සුන්දර වූත්, ඉතා ප්‍රණීත වූත් වෙනත් සැපය.
පින්වත් ආනන්ද, අන්‍යාගමික පිරිවැජියන් මේ ආකාරයට කියනවා යන කරුණත්, සිදුවිය හැකි දෙයක්. ඒ කියන්නේ “ශ්‍රමණ ගෞතමයන් සඤ්ඤාවේදයිත නිරෝධයක් ගැන පවසනවා. එය සැපයෙහිලා පණවනවා. මොකක්ද ඒක? කොහොමද ඒක ඇතිකරගන්නේ?” කියලා. පින්වත් ආනන්ද, ඔවැනි දේ කියන අන්‍යාගමික පිරිවැජියන්ට පිළිතුරු දිය යුත්තේ මෙහෙමයි. “එම්බා ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ සුඛ වූ වේදනාව පමණක් ම සැපයෙහිලා පණවන්නේ නෑ. එම්බා ආයුෂ්මතුනි, යම් යම් තැනක සුවයක් ලැබෙයි ද, යම් යම් වූ සුවයක් ඇද්ද, ඒ ඒ සුවය තථාගතයන් වහන්සේ සැපයෙහිලා පණවන සේක” කියලා.
සාදු! සාදු!! සාදු!!!
පඤ්චකංග සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M