සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

2.2.7. අට්ඨක සුත්තං

2.2.7. වේදනාව පිළිබඳ අට කරුණකින් වදාළ දෙසුම

එදා බොහෝ භික්‍ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ඒ භික්‍ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. ස්වාමීනී, වේදනාව යනු කුමක්ද? වේදනාවේ හටගැනීම යනු කුමක්ද? වේදනාව නිරුද්ධ වීම යනු කුමක්ද? වේදනාව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යනු කුමක්ද? වේදනාවේ ආශ්වාදය කුමක්ද? වේදනාවේ ආදීනවය කුමක්ද? වේදනාවේ නිස්සරණය කුමක්ද?

පින්වත් මහණෙනි, මේ වේදනා තුනක් තියෙනවා. සැප වේදනාව, දුක් වේදනාව හා දුක් සැප රහිත වේදනාවයි. පින්වත් මහණෙනි, වේදනාව කියන්නේ මෙයටයි. ස්පර්ශය හටගැනීමෙනුයි වේදනාව හටගන්නේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු වේදනාව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාවයි. ඒ කියන්නේ: සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි. වේදනාව නිසා යම් සැපයක්, සොම්නසක් උපදිනවා නම්, මේක තමයි වේදනාවේ ආශ්වාදය. යම් වේදනාවක් අනිත්‍යයි ද, දුකයි ද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි ද, මේක වේදනාවේ ආදීනවයයි. වේදනාව කෙරෙහි ඇති ඡන්දරාගයේ යම් දුරු වීමක් ඇද්ද, ඡන්දරාගයේ ප්‍රහාණයක් ඇද්ද මේක වේදනාවේ නිස්සරණයයි.

එනමුදු පින්වත් මහණෙනි, මා විසින් සංස්කාරයන්ගේ පිළිවෙළින් වන නිරෝධයක් ගැනත් පවසලා තියෙනවා. පළමුවෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට වචනය නිරුද්ධ වෙලා තියෙන්නේ. …(පෙ)…. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදී සිටින කෙනාට සඤ්ඤාත්, වේදනාත් නිරුද්ධ වෙලා තියෙන්නේ. ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්ෂුවට රාගය නිරුද්ධ වෙලා තියෙන්නේ. ද්වේෂය නිරුද්ධ වෙලා තියෙන්නේ. මෝහය නිරුද්ධ වෙලා තියෙන්නේ.

එනමුදු පින්වත් මහණෙනි, මා විසින් සංස්කාරයන්ගේ පිළිවෙළින් වන සංසිඳීමක් ගැනත් පවසලා තියෙනවා. පළමුවෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට වචනය සංසිඳිලා තියෙන්නේ. ….(පෙ)…. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදී සිටින කෙනාට සඤ්ඤාත්, වේදනාත් සංසිඳිලා තියෙන්නේ. ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්ෂුවට රාගය සංසිඳිලා තියෙන්නේ. ද්වේෂය සංසිඳිලා තියෙන්නේ. මෝහය සංසිඳිලා තියෙන්නේ.

පින්වත් මහණෙනි, මේ සංසිඳීම් හයක් තියෙනවා. පළමුවෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට වචනය සංසිඳිලා තියෙන්නේ. දෙවෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට විතක්ක විචාර සංසිඳිලා තියෙන්නේ. තුන්වෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට ප්‍රීතිය සංසිඳිලා තියෙන්නේ. හතරවෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාට ආශ්වාස ප්‍රශ්වාස සංසිඳිලා තියෙන්නේ. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදී සිටින කෙනාට සඤ්ඤාත්, වේදනාත් සංසිඳිලා තියෙන්නේ. ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්ෂුවට රාගය සංසිඳිලා තියෙන්නේ. ද්වේෂය සංසිඳිලා තියෙන්නේ. මෝහය සංසිඳිලා තියෙන්නේ.

සාදු! සාදු!! සාදු!!!

අට්ඨක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M